සෞඛ්‍ය බලධාරීන්ට පිටින් හමුදාවෙන් කොවිඩ් එන්නත? ; දෙහිඅත්තකණ්ඩියේ කම්හලක 150කට ආසාත්මිකතා

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුම්වත් නොකර හමුදාවේයැයි කියාගන්නා කණ්ඩායමක් විසින් දෙහිඅත්තකණ්ඩියේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන්ට කොවිඩ් ප්‍රතිශක්තීරණ එන්නතක් ලබාදෙනු ලැබීමෙන් පසු ආසාත්මිකතා ඇතිවූ සියයකට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇතැයි එහි ආරංචි මාර්ග කියයි.
‘අප ආයතනයේ සියලුම සේවක සේවිකාවන්ට හා කාර්ය මඩුල්ල වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා හා යුද හමුදාපතිතුමා ඇතුලු කාර්ය මඬුල්ලට අපගේ හෘදයාංගම ස්තුතිය’ යනුවෙන් දැන්වීමක් එන්නත ලබා දෙන ස්ථානයේ ගසා තිබූ බව එහි සේවකයෙක් MediaLK.com සමග පැවසීය.
සේවකයන් 1500කට පමණ එන්නත ලබා දී ඇති බවත්, එයින් 150කට ආසන්න පිරිසකට අද උදෑසන වන විට ආසාත්මිකතා ඇතිවී තිබෙන බවත්, 100කට ආසන්න පිරිසක් රෝහල් ගත කර ඇති බවත් සෞඛ්‍ය ආරංචිමාර්ගවලින් පැවසේ. මෙය සුළුවෙන් තැකිය නොහැකි බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය බලධාරීහු කියති.
ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ අනුදැනුමක් නැතිව හමුදාවේයැයි කියාගන්නා පිරිසක් විසින් කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබා දෙන බවට ලැබුණු තොරතුරු අනුව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉහළ සෞඛ්‍ය බලධාරීන්ට තොරතුරු දැනුම් දී තිබේ. කෙසේ වෙතත් කිසිම වෙනසකින් හා බාධාවකින් තොරව මෙම වැඩසටහන පවත්වා ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීම සම්බන්ධයෙන්   දැක්වෙන වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවට අනුව ඊයේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 29,327ක් ද, දෙවැනි මාත්‍රාව 20345ක් ද ලබා දී ඇත. මෙම සංඛ්‍යාවට දෙහිඅත්තකණ්ඩියේ විදින ලද එන්නත් ප්‍රමාණය ඇතුළත්දැයි නොදන්නා බව අදාළ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය ප්‍රධානියෙක් පැවසීය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළේ තමා ඒ ගැන නොදන්නා බවයි. කෙසේ වෙතත් තොරතුරු සොයාබලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය.
“අපිට කෙළින්ම වාර්තා වෙන්නේ නෑ. ඉස්සෙල්ලම එන්නේ වසංගත රෝග එකට. එතකොට එයාලා තමයි මට වාර්තා කරන්නේ. මට මේ දක්වා නම් වාර්තා වෙලා නෑ. මම ක්‍රියාත්මක වෙලා පරීක්ෂා කර බලන්නම්.” යැයි හෙතෙම කීවේය.
මේ පිළිබඳ විමසීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළද එය අසාර්ථක විය.
 
Previous articleඅලි පැටවුන් ජාවාරම යළිත් ? : හබරණදී වනජීවී – හමුදා ගැටුමක් !
Next articleමාධ්‍ය සාකච්ඡාවේ කළ ප්‍රකාශයට අසාත් සාලිට නඩු

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here