සිදුවීම මගහැර මාධ්‍යවේදියෙකුට තොරතුරු ලැබුණු ආකාරය සෙවීම බරපතළ තත්ත්වයක් – තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

මාධ්‍යවේදියකුට තොරතුරු ලැබුණු ආකාරය ගැන විමර්ශනය කිරීම බරපතල තත්ත්වයක් බවද එය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය කටයුතු ඉදිරියට කරගෙන යෑමේදී දැවැන්ත බාධාවකට හේතු වන බවද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සඳහන් කරයි.
එම සංගමය මේ බව සඳහන් කර ඇත්තේ Rata.lk නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව එහි සංස්කාරකවරයාට හෙට (17) පොලිසියට පැමිණෙන ලෙස දැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට ලිපියක් යොමු කරමිනි.
එවැනි විමර්ශනයක් සිදු කිරීම මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ද බාධාවක් බවද එම සංගමය පෙන්වා දෙයි.
කොරෝනා වැඩ මගහැර ලකුණු දමාගන්නා දොස්තරලා මැයෙන් 2021 මැයි මස 25 වැනි දා Rata.lk නම් ප්‍රවෘත්ති වෙබ් අඩවියේ පළවූ ලිපියක් සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ සංස්කාරකවරයාට එරෙහිව ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සහ වෛද්‍යවරුන් පිරිසක් ගාල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිහිපයක් කර ඇතැයි එම සංගමය සඳහන් කරයි.
රෝහලේ අභ්‍යන්තරයේ හුවමාරු වූ ලිපියක් මෙම වෙබ් අඩවියට ලැබුණු ආකාරය ගැන විමර්ශනය කරන ලෙසට ගාල්ල කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බවත් සෙසු වෛද්‍යවරුන් කළ පැමිණිලිවල සඳහන් වන්නේ එම ලිපිය කොරෝනා මර්දන රාජකාරිවලට බාධාවක් බැවින් ඒ සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කරන ලෙස බවත් එම සංගමය ප්‍රකාශ කරයි.
වැරදි පෙන්වාදීමට, අඩුපාඩු විවේචනය කිරීමට ඕනෑම පුරවැසියකුට අයිතියක් ඇතැයි ද එම අයිතිය හීන කිරීමට රෝහල් අධ්‍යක්ෂට හෝ වෛද්‍යවරුන්ට නොහැකි බවද ජනමාධ්‍යවේදීන්ට ද එම අයිතිය එලෙසින්ම ඇතැයිද ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පෙන්වා දෙයි.
රෝහල් අධ්‍යක්ෂ කළ යුතුව තිබුණේ ජනමාධ්‍යවේදියා පෙන්වා දෙන කරුණු සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් සිදු කර මාධ්‍යවේදියා පෙන්වා දෙන අඩුපාඩුව නිවැරදි කර ගැනීම බවත් ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සහ ජනමාධ්‍යවේදීන්ගේ නිදහස එකිනෙකට බැඳි පවතින බවත් එම සංගමය අවධාරණය කරයි.
එබැවින් මෙම පැමිණිලි විමර්ශනයේ දී ජනමාධ්‍යවේදියාගේ රාජකාරියට කිසිම බාධාවක් නොකරන ලෙසත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ නොකරන ලෙසත්, ජනමාධ්‍යවේදියාගේ ආරක්ෂාව තහවුරු කරන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
මූලික අයිතිවාසිකම් කඩවීමට අත්‍යාසන්න බැවින් විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් එම ලිපියේ පිටපතක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපතිවරයාටත් වෛද්‍යවරුන්ගේ සහ රෝහල් අධ්‍යක්ෂගේ ක්‍රියාකලාපය පිළිබඳ විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයාට සහ ලේකම්වරයාටත් යොමු කර තිබේ.
Previous articleසජිත් අඩුපාඩු හදාගන්න ඕනෙ කියලා හිතනවා – මනෝ ගනේෂන්
Next articleඇප දීම ප්‍රතික්ෂේප කිරීම නිදහස අහිමි කිරීමක් : ශානි සාක්ෂිකරුවන් බිය ගැන්වූ බවට තොරතුරු නෑ – අභියාචනාධිකරණයේ තීරණාත්මක තීන්දුව මෙන්න !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here