අත්‍යවශ්‍ය සේවා ගැසට් කළත් අත්‍යවශ්‍ය පහසුකම් නෑ – ඒකාබද්ධ සංවර්ධන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන අනතුරු අඟවති

අත්‍යවශ්‍ය සේවා ගැසට් කළ ද තවමත් එම සේවාවන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය පහසුකම් ලබාදී නැතැයි ද ගැටළු සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම්වල⁣ට අවම මැදිහත්වීමක් හෝ මෙතෙක් සිදුකර නැතැයි ද ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය පවසයි.
මේ වනවිට කොවිඩ්-19 වෛරසයෙන් සංවර්ධන නිලධාරීන් දෙදෙනෙකු සහ එක් අභ්‍යාසලාභියකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය පවසයි.
පසුගිය 27 වැනිදා නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ මූලිකත්වයෙන් අරලියගහ මන්දිරයේ දී වෘත්තීය සමිති නායකයින් හා සාකච්ඡාවක් කැඳවුවද අද වන තෙක් සේවකයින්ට අවම වශයෙන් මුඛ ආවරණයක් හෝ ලබාදෙන වැඩපිළිවෙළක් මෙතෙක් කි‍්‍රයාත්මක වී නැතැයි ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය කියයි.
ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ සභාපති ලක්මාල් දිසානායක සහ ලේකම් ධම්මික මුණසිංහ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යොමුකරමින් එම මධ්‍යස්ථානය මේ බව සඳහන් කරයි.
අලූතින් බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් හා ඩිප්ලෝමාධාරීන් රාජකාරී සඳහා යොදාගැනීමේ දී දිස්ති‍්‍රක් මට්ටමින් හෝ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් වැඩපිළිවෙළක් නැතැයි ද පාසල් වෙත අනුයුක්ත අභ්‍යාසලාභීන් ඉගැන්වීම් කටයුතු මාර්ගගතව සිදුකරන අතර ඒ සියල්ල පසෙකලා වෙනත් රාජකාරී සඳහා කැඳවමින් සිටින බවද සඳහන් කරන එම මධ්‍යස්ථානය රුපියල් 20000ක් වැනි ‘සොච්චම් දීමනාවක්’ ලබාදෙමින් කාර්යාලගත හා ක්ෂේත‍්‍ර රාජකාරී බොහෝමයක් සඳහා අභ්‍යාසලාභීන් යොදාගනිමින් ඇතැයි ද සඳහන් කරයි. ඔවුන්ට කිසිදු ප‍්‍රවාහන පහසුකමක් ලබානොදෙන බවත් අනෙකුත් නිලධාරීන්ට ලබාදෙන කිසිදු දීමනාවක් හෝ ලබාදෙන්නේ ද නැති බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.
තවත් ප‍්‍රමාද නොකොට කොවිඞ් එන්නත ලබාදෙන්නැයි ද, මුව ආවරණ හා සේදුම් ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබාදෙන්නැයි ද, කාර්යාල හා ක්ෂේත‍්‍රගත ඇතුළු සියලූ සේවකයින්ට ප‍්‍රවාහන පහසුකම් ලබාදෙන්නැයි ද, අත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන සියලූ සේවකයින්ට කොවිඞ් අවදානම් දීමනාවක් ලබාදෙන්නැයි ද, රාජකාරී සඳහා කැඳවීමේ දී කිරිදෙන මව්වරුන්ට යම් සහනයක් ලබාදී දෙන්නැයි ද, අලූතින් බඳවාගත් අභ්‍යාසලාභීන් හදිසි අනුයුක්ත කිරීම් නවත්වන්නැයි ද, ක්ෂේක‍්‍ර රාජකාරී සඳහා යොදාගන්නේනම් විශේෂ දීමනාවක් ලබා දෙන්නැයි ද එම මධ්‍යස්ථානය ඉල්ලා සිටී. මෙම ඉල්ලීම් සම්බන්ධ අවධානය යොමුකොට අත්‍යවශ්‍ය ඉල්ලීම් සේ සලකා කටයුතු කරන මෙන් අවධාරණය කරන එම මධ්‍යස්ථානය තවදුරටත් මේ ඉල්ලීම් සම්බන්ධයෙන් නොසලකා හරින්නේනම් වෘත්තීය කි‍්‍රයාමාර්ග වෙත අවතීර්ණ වීමට සිදුවන බවද සඳහන් කරයි.
වසංගත තත්වය හමුවේ මීට පෙර ද රාජකාරී කිරීමේ දී මතුවන ගැටලූ සම්බන්ධ ලිඛිතව දැනුම්වත් කර ඇති නමුත් ඊට අදාළ අවම මැදිහත්වීමක් හෝ පෙනෙන්නට නොවීම කණගාටුවට කරුණක් බව ද එම මධ්‍යස්ථානය යොමු කළ ලිපියේ දැක්වෙයි. අත්‍යවශ්‍ය සේවා ගැසට් නිවේදනය නිකුත් කර ඇති මොහොතක වුව ද සේවකයින්ගේ ජීවිත වසංගතයට ගොදුරු නොකර රාජ්‍ය සේවය පවත්වාගෙන යාම සම්බන්ධ කිසිවකුට විවාදයක් නැතැයි ද ඔවුහු සඳහන් කරති.
මෙම ලිපියේ පිටපත් ජනාධිපතිවරයාට, අගමැතිවරයා⁣ට, රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයාට,ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයාට, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට,ආර්ථික පුනර්ජීවන සහ දරිද්‍රතාවය තුරන් කිරීමේ ජනාධිපති කාර්ය සාධන බලකායේ ලේකම්වරයාට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට සහ සියලූම දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට යොමු කර තිබේ.
Previous articleහිජාස්ට විරුද්ධව සාක්කි දෙන්නැයි ගුරුවරුන් දෙදෙනකුට බල කරලා?
Next articleබැරිම තැන ! : ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක : කොළඹදී සත්‍යග්‍රහයක් 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here