බැරිම තැන ! : ගැටළුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය සේවකයෝ උද්ඝෝෂණයක : කොළඹදී සත්‍යග්‍රහයක් 

සෞඛ්‍ය සේවකයින්ගේ ප්‍රවාහන ගැටළුව විසඳීම ඇතුළු ඉල්ලීම් පහක් මුල්කරගනිමින් ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය ඇතුළු සෞඛ්‍ය සේවකයෝ අද (01) දිවයින පුරා රෝහල් කිහිපයක උද්ඝෝෂණ පැවැත්වූහ.
එමෙන්ම ඔවුහු අද කොළඹ ජාතික ⁣රෝහල ඉදිරිපිට සත්‍යග්‍රහයක් ද ආරම්භ කළහ.
සියලු සෞඛ්‍ය සේවකයන්ට කොවිඩ් විශේෂ අවදානම් දීමනාවක් ලබාදීම, දින 180 සම්පූර්ණ කළ සියලු අනියම් හා ආදේශක සෞඛ්‍ය සේවකයින් වහා ස්ථීර කිරීම, සතියේ වැඩකරන අමතර පැය 08ට වැටුපෙන් 1/30ක දීමනාවක් ලබාදීම, සේවක හිඟය වහා පියවීම⁣ සහ ප්‍රවාහන ගැටළු, එන්නත්කරණ ගැටළු හා ආරක්ෂිත උපකරණ ගැටළු වහා විසඳීම යන ඉල්ලීම් ඉල්ලමින් ඔවුන් මෙම උද්ඝෝෂන සහ සත්‍යග්‍රහය ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියන් පැවසූවේ මෙම තත්ත්වය ඇතිවීමට හේතුව ආණ්ඩුවේ අදූරදර්ශි වැඩපිළිවෙළ බවයි.
අවස්ථා ගණනාවක මෙම ගැටළු සම්බන්ධයෙන් ආණ්ඩුවට සහ අමාත්‍යාංශයට දැනුම් දුන් නමුත් ඒවාට මේ වෙනතුරු නිසි පිළිතුරක් නොලැබුණ බවද මෙම ක්‍රියාමාර්ගයට යාමට සිදුවූයේ ප්‍රතිචාරයක් නොමැතිව බැරිම තැන බවයි.
වැඩ වර්ජන ක්‍රියාවලියකට නොයා අඛණ්ඩ සත්‍යග්‍රහයකට යාමට තීරණය කරනු ලැබුවේ රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් වගකීම තිබෙන නිසා බවත් තවදුරටත් ආණ්ඩුව මීට කන් නොදෙන්නේ නම් වර්ජන ක්‍රියාමාර්ගවලට එළැඹීමට සිදුවන බවත් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පැවසූහ.
ඒ හිමියෝ මෙසේද කීහ.
“අද දවසේදී අපි ඉල්ලීම් පහක් මුල්කරගනිමින් කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ රෝහල කෑගල්ල කළුතර නුවරඑලිය ඇතුළු රෝහල් ගණනාවක් ඉදිරිපිට අපි උද්ඝෝෂනයක් පැවැත්වුවා. මේ උද්ඝෝෂන මාලාව පැවැත්වුවේ මේ වෙනකොටත් දින 180 සම්පූර්ණ කරලා අවුරුදු දෙකක් තිස්සේ ස්ථීර නොකර ඉන්න අනියම් ආදේශක සහෝදර සහෝදරියන් ස්ථීර කරන්න කියන ඉල්ලීමත්. ඒ වගේම මේ වෙනකොට කොවිඩ්-19 අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවකයින්ට ලැබෙන්නේ නෑ – මේ සෞඛ්‍ය සේවකයින්ට මෙම අවදානම් දීමනාව ලබාදෙන්න කියන එකත්. මේ වෙනකොට රෝහල්වල දැඩි කාර්ය මණ්ඩල හිඟයක් පවතිනව – මේ පවතින හිඟය පියවන ලෙසටත්, ඒ වගේම ප්‍රවාහනය සම්බන්ධයෙන්, ඒ වගේම එන්නත්කරණය සම්බන්ධයෙන්, ඒ වගේම ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ සම්බන්ධයෙන් ගැටළු ගණනාවක් මතුවෙලා තියෙනවා – ඒ ගැටළු විසඳන්න කියන එක වගේම මේ වෙනකොට අපි රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලය විදියට පැය 48ක් දින හයක් සෙනසුරාදා දිනයක් අපි අපි රාජකාරී කරනවා. නමුත් මේ රාජකාරී කරන දිනයට අදාළ කිසිදු ගෙවීමක් මේ වෙනකම් කරන්නේ නෑ. ඒ නිසා මේ ඉල්ලීම් පහ මුල් කරගෙන තමයි අපි මේ විරෝධතා මාලාව සංවිධානය කරේ.
අනතුරුව අපි අද තීරණය කරා විශේෂයෙන් කොළඹ ජාතික රෝහල ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කළා මේ ඉල්ලීම් පහ ලබලා දෙන තුරු අපි අඛණ්ඩව මේ සත්‍යග්‍රහය පවත්වාගෙන යනවා. විශේෂයෙන් අපි ආණ්ඩුවට කියනවා ආණ්ඩුවට අමාත්‍යාංශයට අපි මේ පිළිබඳ අවස්ථා ගණනාවක දැනුම් දුන්නා. නමුත් මේවාට මේ වෙනකම් නිසි පිළිතුරක් දැක්වූයේ නෑ. මේ ප්‍රතිචාරයක් දැක්වූයේ නැති නිසා තමයි මේ ක්‍රියාමාර්ගය ගත්තේ. වි⁣⁣ශේෂයෙන් අපි කියනවා වැඩ වර්ජන ක්‍රියාවලියකට නොගිහින් මේ වෙලාවේ අඛණ්ඩ සත්‍යග්‍රහයකට ගියේ මේ වෙලාවේ රෝගීන්ගේ ජීවිත සම්බන්ධයෙන් ඒ වගකීම අපිට තියෙන නිසා. හැබැයි අපි කියනවා අදින් පසුව ආණ්ඩුව මේකට කන් දෙන්නේ නැත්නම් අපිට සිද්ධ වෙනවා වර්ජන ක්‍රියාමාර්ගවලට එළඹෙන්න. ඒ නිසා වහාම මැදිහත් වෙලා මේ ගැටළු විසඳන්න. කොළඹ ජාතික රෝහල ඉදිරිපිට කරන මෙම අඛණ්ඩ සත්‍යග්‍රහය අනිකුත් රෝහල් ඉදිරිපිට පවත්වන්න ආරම්භ කරන්නත් ඉන් එහාට දිනපතා ක්‍රියාමාර්ග ගන්නත් අපි මේ වෙද්දි තීරණය කරලා තියෙනවා.
ඒ වගේම ආණ්ඩුවෙන් බොහෝම කරුණාවෙන් ඉල්ලා සිටිනවා වහාම මැදිහත් වෙලා මේ ගැටළු විසඳන්න. මොකද මේ ගැටළුව විසඳන්නැතුව මේ සේවාව පවත්වාගෙන යාමට හැකියාවක් නැහැ. එක පැත්තකින් කොවිඩ් තත්ත්වය ත්‍රිවුර වෙමින් තියෙනවා. සෞඛ්‍ය සේවකයින් කොවිඩ් ආසාදිතයින් බවට පත්වෙමින් තියෙනවා. එහෙම තත්ත්වයක් යටතේ ආදේශක සේවකයින්ගෙන් යම් කෙනෙක් මිය ගියොත් අනතුරක් වු⁣ණොත් ඒ අය සම්බන්ධයෙන් කවුද වගකීම ගන්නේ. ඒ අය පිළිබඳ කවුරුත් වගකීමක් ගන්නේ නෑ. ඒ වගේම සෞඛ්‍ය සේවකයින්ට ප්‍රවාහනය සම්බන්ධයෙන් තියෙන ගැටළු. මේ වෙනකොට පොල් පටවලා වගේ සෞඛ්‍ය සේවකයින් ප්‍රවාහනය කරන්නේ. ඒ එක්කෙනෙක්ට හෝ කොවිඩ් පොසිටිව් වු⁣ණොත් මුළු රෝහලක්ම අකර්මණ්‍ය වෙන තත්ත්වයක් තියෙන්නේ.
ඒ වගේම ප්‍රවාහනය කඩිනමින් ලබාදෙන්න. ඒ සඳහා විශාල මුදලක් අය කරනවා. ඒ නිසා මේ ප්‍රවාහනය කරන එකට අදාළ වැඩපිළිවෙලක් හදන්න. ඒක නොමිලේ කරන්න කියලා අපි මතක් කරනවා. ඒ වගේම රෝහල් ඇතුළේ මේක කරගෙන යන්න පුළුවන් තත්ත්වයක් නෑ. මොකද තියෙන ලොකු සේවක හිඟය නිසා. ඒ නිසා ඒ හිඟය පියවලා මේ විසඳුම් ලබලා දෙන්න ඕන. නැත්නම් වසංගත තත්ත්වයට මුහුණ දෙන්න ආණ්ඩුවට පුළුවන්කමක් හම්බෙන්නේ නෑ. ඒ නිසා අපි කියනවා මේක ආණ්ඩුවේ අදූරදර්ශි වැඩපිළිවෙළ නිසා තමයි මේ වගේ විශාල ප්‍රශ්න රැසක් රෝහල් තුල ඇතිවෙලා අවසානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් දක්වා යන්න වෙලා තියෙන්නේ. ඒ නිසා ඉක්මණින් මැදිහත් වෙලා මේ ගැටළු ටික විසඳන්න. නැත්නම් අඛණ්ඩ සත්‍යග්‍රහය පවත්වාගෙන යනවා වගේම ⁣මීට අදාළ තව වෘත්තීය ක්‍රියාමාර්ග ගණනාවක් ඉදිරියේදී ගන්නවා.”

Previous articleඅත්‍යවශ්‍ය සේවා ගැසට් කළත් අත්‍යවශ්‍ය පහසුකම් නෑ – ඒකාබද්ධ සංවර්ධන නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගයක් ගැන අනතුරු අඟවති
Next articleරොෂේන් චානක ඝාතනය : යුක්තිය ඉටුනොවූ දසවසරක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here