‘එන්නත් ඉල්ලූ විට මර්දනය’ – වැඩ කරන ජන බලය විරෝධය පළ කරයි

කෝවිඩ් 19 වසංගත තත්ත්වය තුළ විවිධ ක්ෂේත‍්‍රවල වැඩකරන ජනතාවට ප‍්‍රමුඛතාව ලබා නොදී විවිධ දේශපාලන හිතවත්කම් මත අවිධිමත්ව එන්නත් ලබාදීම මේ වන විට සිදුවෙමින් පවතින බව වැඩ කරන ජනබලය සංවිධානය පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ ක්ෂේත‍්‍ර ගණනාවක වැඩකරන ජනතාව එන්නත් ලබාදෙන ලෙස බල කරමින් විවිධ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවට ප‍්‍රකාශ කරමින් සිටි බවත් එන්නත් ලබාදෙන ලෙස බලකරමින් ග‍්‍රාම නිලධාරීන් කෝවිඩ්-19 රාජකාරිවලින් ඉවත්වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වූ බවත් එවන් අවස්ථාවකදී එම ඉල්ලීම්වලට කන් නොදී එම සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කිරීම වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය කිරීම සඳහා ගන්නා ලද මර්දනීය පියවරක් බවත් එම සංවිධානය ⁣අවධාරණය කරයි.
දැනටමත් කෝවිඩ් මර්දන රාජකාරිවල යෙදෙන හා අත්‍යවශ්‍ය සේවාවල යෙදෙන බැංකු සේවකයන්, ග‍්‍රාම සේවා සේවා නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, බස්රථ සේවකයන්, දුම්රිය සේවකයන්, වරාය හා තැපැල් ආදී සේවාවල කටයුතු කරන සේවකයන් විශාල පිරිසක් කෝවිඩ්-19 ආසාදිතයන් බවට පත් වී ඇතැයි ද මෙම තත්ත්වය මත ඔවුන් තමන්ට එන්නත් ලබාදෙන දෙස ඉල්ලමින් විවිධ බලපෑම් කරමින් සිටින බව ද එම සංවිධානය පෙන්වා දෙයි.
ඔවුන්ගේ එම මානුෂීය ඉල්ලීමට ඇහුම්කන් දී කෝවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙල විධිමත්ව පවත්වාගෙන යෑම වෙනුවට 2021 මැයි 27 දිනැති 2229/8 දරන අති විශේෂ ගැසට්පත‍්‍රය මගින් ජනාධිපතිවරයා විසින් වරාය, ඛනිජතෙල්, ප‍්‍රවාහනය, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල, ග‍්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහාකාර නිලධාරීන් ඇතුළු දිස්ත්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල විසින් ක්ෂේත‍්‍ර මට්ටමේ සිදුකරන සියලු කටයුතු, ශ‍්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු හා පළාත් පාලන ආයතන මගින් සිදුකරන කසල කළමනාකරණ සේවා අත්‍යවශ්‍ය සේවා ලෙස ප‍්‍රකාශයට පත් කිරීම මර්දනකාරී පියවරක් බවත් ඊට විරෝධය පළ කරන බවත් වැඩ කරන ජන බලය පවසයි. මෙම සේවාවල කටයුතු කරන පිරිස් ඍජුවම මහජනතාව හා විවිධ පාර්ශව සමග කටයුතු කරන පිරිස් බවද ඔවුන් කෝවිඞ් 19 අවදානමට ඍජුවම ලක්වන පිරිස් බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එම සේවාවල යෙදෙන පිරිස් සම්බන්ධයෙන් ප‍්‍රමුඛතාව ලබාදී ඔවුන්ට කෝවිඩ්-19 එන්නත් කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසත්, වෘත්තීය ක්‍රියාකාරීත්වයන් මර්දනය සඳහා යොදාගෙන ඇති ඉහත අත්‍යවශ්‍ය සේවා නියෝග වහා ඉවත් කරන ලෙසත් එම සංවිධානය ඉල්ලා සිටී. එමෙන්ම කෝවිඩ්-19 එන්නත්කරණ වැඩපිළිවෙල දේශපාලන මැදිහත්වීම්වලින් හා ඥාති සංග‍්‍රහයන්ගෙන් තොරව විධිමත්ව ක්‍රියාත්මක කරන ලෙසත් වැඩ කරන ජන බලය ආණ්ඩුවට බලකර සිටී.
‘1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ පවතින නීති ප‍්‍රතිපාදන අනුව ඉහත මර්දනකාරී ගැසට් නිවේදනය නිකුත් කර ඇති බැවින් ග‍්‍රාම නිලධාරීන් විසින් තම වෘත්තීය ක්‍රියාමාර්ගය අද දහවල් තාවකාලිකව නරත කරන ලදි. ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා එක්සත් ග‍්‍රාම නිලධාරිවරුන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් එස්.ඒ. අතුල සීලමන් ආරච්චි මහතා සඳහන් කර ඇත්තේ මෙය ශ‍්‍රී ලංකාවේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට වැට බැඳීම සඳහා රජයකට යොදා ගත හැකි ප‍්‍රබලම අවියක් බව නීතිඥයන් ප‍්‍රකාශ කර සිටි බවයි. මේ තත්ත්වය තුළ වෘත්තීය ක්‍රියාමාර්ග මර්දනය සඳහා රජය මෙම අත්‍යවශ්‍ය සේවා නියෝග නිකුත් කර ඇති බව තවදුරටත් පැහැදිලි වේ’ යැයි ද එම සංවිධානය සඳහන් කරයි.
Previous articleමොරටුව නගරාධිපතිගේ ‘නිල නොලත් මහේස්ත්‍රාත්’ තනතුර නීත්‍යනුකූල ද ?
Next articleජුනි 15ට පෙර එන්නත්කරණයට ප්‍රමුඛතා ලේඛනයක් සකස් කරන්න – මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් දෙයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here