මොරටුව නගරාධිපතිගේ ‘නිල නොලත් මහේස්ත්‍රාත්’ තනතුර නීත්‍යනුකූල ද ?

(ශාලික විමලසේන)
කොවිඩ් 19 වසංගත මර්දන රාජකාරිවලට බාධාකරමින් හැසිරුණු මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු විසින් තමන් නිල නොලත් මහේස්ත්‍රාත්වරයෙකු ලෙස හඳුන්වාගැනීම මගින් මෙරට නීති පද්ධතිය කාලීන ලෙස වෙනස් නොවීමේ ගැටළුව අවධාරණය කෙරෙන බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු පෙන්වා දෙති.
නගරාධිපතිවරයා විසින් කොවිඩ් මර්දන එන්නත් ලබාගැනීම සඳහා නිකුත් කරන ලද ‘ටෝකන් එකේ’ සඳහන් වූයේ ‘සමන් ලාල් ප්‍රනාන්දු, නගරාධිපති, සාමදාන විනිශ්චායකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත්’ යනුවෙනි.
ඊයේ (27) මොරටුව, මොරටුමුල්ල ප්‍රදේශයේ සිදුකරන ලද එන්නත්කරණ වැඩසටහනකට පැමිණි නගරාධිපතිවරයා, කලහකාරී ලෙස හැසිරෙමින් තමන් විසින් ‘ටෝකන්’ නිකුත් කරන ලද පුද්ගලයන්ට පමණක් එන්නත ලබාදෙන ලෙස වැඩසටහන මෙහෙයවූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට බලපෑම් කර තිබිණි. මේ අවස්ථාවේදී එහි සිටි පොලිස් නිලධාරීන් නගරාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගැනීම දැඩි විවේචනයට ද ලක්විය. කෙසේ වෙතත් මේ සිද්ධියට අදාළ ව අද (28) ගල්කිස්ස පොලිසියට බාරවීමෙන් පසු, නගරාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ජුනි 11 දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ජනතාව නොමග යැවීමක්

නීතිඥවරයෙකු හෝ අධිකරණ සේවයට සම්බන්ධ පුද්ගලයෙකු නොවන නගරාධිපතිවරයා විසින් නිල නොලත් මහේස්ත්‍රාත් යනුවෙන් භාවිත කිරීම ජනතාව නොමග යැවීමක් සහ වෙනත් සිවිල් බලයක් තමන්ට ඇතැයි ජනතාව රැවටීමට උත්සාහ කිරීමක් බව නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු රජයේ අධිනීතිඥ සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස් ගසාලි හුසේන් අවධාරණය කරයි. ඉංග්‍රීසි පාලන සමයේදී සකස් කරන ලද ආඥා පනතක් මගින් මහ නගර සභාවක නගරාධිපතිවරයාට නිල නොලත් මහේස්ත්‍රාත් යනුවෙන් භාවිත කිරීමට අනුමැතිය දී ඇති බවත්, එය වර්තමානයට කිසිසේත්ම නොගැළපෙන මෙන්ම වර්තමානයේදී කිසිදු බලයක් නැති භාවිතයක් බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

1947 දුන් වරප්‍රසාදය

මහ නගර සභාවලට අදාළ 1947 අංක 29 දරන ආඥාපනතේ තුන්වැනි කොටසේ නගරාධිපතිවරයා සහ නියෝජ්‍ය නගරාධිපතිවරයා සම්බන්ධයෙන් සඳහන් වේ. ඒ යටතේ වන 16 වගන්තිය මෙසේ ය.
‘සෑම මහ නගර සභාවකම නගරාධිපතිවරයාට සහ නියෝජ්‍ය නගරාධිපතිවරයාට ඔහු අදාළ ධුරය දරන කාලය තුළදී, අදාළ මහ නගර සභාව පිහිටි පරිපාලන දිස්ත්‍රික්කය තුළ සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත් යන ධුර දැරිය හැකිය.’
මොරටුව මහ නගර සභාවේ නගරාධිපතිවරයා භාවිත කරන්නේ මේ වගන්තියෙන් තමන්ට ධුරය දරන කාලය සඳහා 1947දී පවරන ලද අයිතියයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන නීතිඥ නිමල් රණසිංහ පෙන්වා දෙන්නේ අදාළ ආඥාපනත ඉදිරිපත් වූ කාලයට සාපේක්ෂව මේ නිල නාමය ලබාදී ඇති බවයි.
‘ඉහත කාලයේ ආණ්ඩුවේ ඒජනත්වරුන් නඩු ඇහුවා. ඒක ඒ කාලයේ තිබුණු ප්‍රතිපාදනයක්. දැන් ක්‍රියාත්මක නෑ. ඉස්සර ගම්සභා උසාවිවල නඩු ඇහුවෙ ගම් සභාවෙ සභාපති. දැං ඒව නෑනෙ. මේකත් ඒ වගේ.’

නිල නොලත් මහේස්ත්‍රාත්ගේ කාර්යභාරය

වර්තමානයේදී නිල නොලත් මහේස්ත්‍රාත් ධුරය පිරිනැමෙන්නේ අධිකරණ අමාත්‍යංශය මගින් ය. එම අමාත්‍යංශයේ වෙබ් අඩවියේ සාමදාන විනිශ්චයකාරවරයාගේ සහ නිල නොලත් මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය මෙසේ සඳහන් වේ.’මහේස්ත්‍රාත්වරයා නොපැමිණි දිනට අධිකරණය මෙහෙයවීමේ බලය සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත් වෙත පවරා ඇත.’
මේ සඳහා ඉල්ලුම් කළ හැක්කේ නීතිඥවරයෙකු ලෙස වසර 15ක පළපුරුද්දක් සහිත අයෙකුට පමණි. අමාත්‍යංශයේ මීට අදාළ විෂය භාර නිලධාරියාගෙන් ලබාගන්නා අයැදුම්පත්‍රයක් පුරවා අමාත්‍යංශ ලේකම්වරයාට එවිය යුතුය. එම අයැදුම්පත්‍රයේ තමන්ගේ වෘත්තීය සුදුසුකම් සියල්ල සහතික කොට තිබිය යුතු වන අතර, ඒවා තහවුරු කෙරෙන සහතිකපත් ද ඇමිණිය යුතුය.
අමාත්‍යංශ වෙබ්අඩවියට අනුව මේ විෂය භාර නිලධාරියා ලෙස වර්තමානයේ කටයුතු කරන්නේ අදාළ අංශය භාර අධ්‍යක්ෂ මධුසංඛ දිසානායක ය. මේ ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩි විස්තර ලබාගැනීමට අධ්‍යක්ෂවරයා සම්බන්ධ කර ගැනීමට අප ගත් උත්සාහය ව්‍යර්ථ විය. ඊට හේතු වූයේ පවතින තත්ත්වය නිසා ඔහු කාර්යාලයේ නොසිටීමත්, කාර්යාල දුරකතනයට පිළිතුරු දුන් පුද්ගලයා ඔහුගේ ජංගම දුරකතන අංකය නොදන්නා බව පැවසීමත් ය.

ජනතාව පීඩාවට පත්කරන හැටි

අමාත්‍යංශ වෙබ්අඩවියේ සඳහන් නිල ක්‍රමවේදයට අනුව නීති සංශෝධනය වන්නේ නම්, මොරටුව නගරාධිපතිවරයාට නිල නොලත් මහේස්ත්‍රාත් ලෙස භාවිත කළ නොහැකිය. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගසාලි හුසේන් පවසන්නේ අදාළ නීති සහ අණ-පනත් සුදුසු වේලාවට සංශෝධනය නොවීම නිසා වක්‍රාකාරව ජනතාව පීඩාවට පත්කිරීමට ඇතැම් පුද්ගලයන්ට ඉඩ ලැබී ඇති බවයි.
‘නීතිපති දෙපාර්තමේන්තුවෙ රජයේ අධිනීතිඥවරයෙක් විදිහට ඉන්නකොට මට ලැබෙන තනතුරක් තමයි, මුළු දිවයිනටම සාම විනිසුරු කියන්නෙ. ඒක නිලයට කරන ගෞරවයක් විතරයි. මං ඒක භාවිතා කරලා කිසිම දිවුරුම් පෙත්සමකට අත්සන් කරලා, සීල් ගහලා නෑ. ඒකට හේතුව තමයි, එහෙම දිවුරුම් පෙත්සමක් නීතිපති දෙපාර්තමෙන්තුව ගොනුකරපු නඩුවක අනෙක් පැත්තෙන් ඉදිරිපත් වුණොත්, මගේ වෘත්තීය ගරුත්වය පිළිබඳව මට දෙන්න තියෙන උත්තරය මොකක්ද. ඒක නිසා මේවා වෙනස් වෙන්න ඕනෙ. ලොකු හානියක් නෑනෙ කියලා නිකම් තියෙන්න දීලා තියෙනවා. ඒත් ඒවගෙන් දේශපාලනඥයො කපටි විදිහට වැඩ ගන්නවා.’

සාමදාන විනිශ්චයකාරවරුන් වර්ග 4ක්

ඉංග්‍රීසි පාලන කාලයේදී පැවැති මෙවැනි තනතුරු වර්තමානයේදී ප්‍රායෝගික නොවන බවත්, මහ නගර සභා ආඥා පනත යටතේ පවරා ඇති මෙවැනි බලතල නමට පමණක් ඇති ඒවා බවත් නීතිඥ තාරිකා දිශානි පෙන්වා දෙයි. වර්තමානයේදී මෙරට ක්‍රියාත්මක වන සාමදාන විනිශ්චයකාරවරුන් වර්ග 4ක් පිළිබඳව ද නීතිඥවරිය සඳහන් කරයි.
01. සාමදාන විනිශ්චයකාර සහ නිල නොලත් මහේස්ත්‍රාත් – මහේස්ත්‍රාත් අධිකරණවල මහේස්ත්‍රාත්වරයා නොපැමිණෙන අවස්ථාවක එම තනතුරේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් අතරින් නිල නොලත් මහේස්ත්‍රාත්වරුන් පත්කරනු ලබන අතර, ඔවුන්ට සාමදාන විනිශ්චයකාර තනතුරක් ද හිමි වේ.
02. මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාර – සාමදාන විනිශ්චයකාර බලතල මුළු දිවයිනටම බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට මෙකී සාමදාන විනිශ්චයකාරවරුන්ට හැකියාව ඇත.
03. අධිකරණ කලාපයක් සඳහා සාමදාන විනිශ්චයකාර – මෙම සාමදාන විනිශ්චකාරවරුන්ට බලය ඇත්තේ නිශ්චිත අධිකරණ කලාපයක් තුළ සාමදාන විනිශ්චකාර බලතල ක්‍රියාත්මක කිරීමට පමණි.
04. නිල බලයෙන් සාමදාන විනිශ්චයකාර – ඇතැම් රජයේ නිලධාරීන්ට නිල බලයෙන් සාමදාන විනිශ්චයකාර තනතුර හිමි වේ.
මෙසේ පත්කරනු ලබන සාමදාන විනිශ්චයකාරවරුන් අධිකරණ සංවිධාන පනතේ ප්‍රතිපාදනවලට අනුව යොමුකරනු ලබන අධිකරණයක විනිශ්චයකාරවරයෙකු ඉදිරියේ දිව්රුමක් ලබාදිය යුතු බව ද නීතිඥවරිය පවසයි. නීතිඥවරුන්ට ලැබෙන දිව්රුම් කොමසාරිස් තනතුර සාමදාන විනිශ්චයකාරවරුන්ට සමාන බලතල ඇති තනතුරක් බව ද ඇය සඳහන් කර සිටී.
Previous articleමුතුරාජවෙල එල්.එන්.ජීයට යට වෙන පෙදෙසේ ශාක විශේෂ 84ක් ; සත්ත්ව විශේෂ 202ක්
Next article‘එන්නත් ඉල්ලූ විට මර්දනය’ – වැඩ කරන ජන බලය විරෝධය පළ කරයි

1 COMMENT

  1. ඉස්සෙල්ලම බලන්ඩ මේක 8 වත් සමත් එකෙක්ද කියලා. මේ වගේ නූගත් මැරයන්ට තම වටිනා ඡන්දෙ දෙන්ඩ එපා මිනිසුනේ.

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here