ළඟම පාසල හොඳම පාසල : පාසල් 700ක වැඩ නවතී : මිලියන 64,950කට මොකද වුණේ? – ගුරු සංගමය ප්‍රශ්න කරයි

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව යටතේ පාසල් සංවර්ධනයේ ප‍්‍රධාන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කරනු ලැබූ ‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ පාසල් 700ක වැඩ නවතා එම ව්‍යාපෘති කාර්යාලය වසා දමා ඇති බව ලංකා ගුරු සංගමය පවසයි.
එම ව්‍යාපෘතිය සඳහා වෙන්කළ රුපියල් මිලියන 64,950කට සිදුවූයේ කුමක්දැයි ද එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රශ්න කරයි.
2016 වසරේ සිට 2020 වසර දක්වා වසර 4ක කාලයක ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ මේ ව්‍යාපෘතිය යටතේ පාසල් 9,063ක ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු ව්‍යාපෘති 18,000ක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ බව ද, වර්තමාන ආණ්ඩුව බලයට පැමිණීමත් සමග මේ ව්‍යාපෘතිය ක‍්‍රමානුකූලව අත්හැර දමා ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි.
මේ වන විට පාසල් 700කට වැඩි සංඛ්‍යාවක ඉදිකිරීම් කටයුතු ඇතුළු සියලු කටයුතු නතර වී ඇති බවත්, මේ වන විට ගොඩනැගිලි කොන්ත‍්‍රාත්කරුවන් පාසල්වලින් තම උපකරණ ද ඉවත් කරගෙන ඇති බවත් පවසන ගුරු සංගමය, එසේ අත්හැර දැමූ ගොඩනැගිලි පාසල්වලට බරපතළ බරක් වී ඇති බව ද වැඩිදුරටත් අවධාරණය කරයි.
‘සමහර ගොඩනැගිලි ඉදිකරන ලද්දේ පැවති ගොඩනැගිලි ඉවත් කිරීමෙන් පසු නව ගොඩනැගිලි ඉදිකිරීම යටතේ ය. ඒ අනුව ඉඩකඩ පිළිබඳ ප‍්‍රශ්න ද පාසල් තුළ මතු වී ඇත. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති කාර්යාලය ද මේ වන විට වසා දමා ඇත.’ යැයි ද එම සංගමය සඳහන් කරයි.
ජනතාවගේ බදු මුදලින් මෙවැනි විශාල ව්‍යාපෘතියකට වෙන් කළ මුදල් මෙසේ අවභාවිත වීමට ඉඩහැරීම බරපතළ ගැටළුවක් බවත්, ආණ්ඩු වෙනස්වීමේදී තම ව්‍යාපෘති ගැන අවධානය යොමුකිරීම හැර, පැවති ව්‍යාපෘති නතර කිරීම හෝ අතහැර දැමීම මහජන මුදල් අවභාවිත කිරීමක් බවත් එම සංගමය පෙන්වා දෙයි. වත්මන් ආණ්ඩුව යටතේ අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට ජාතික පාසල් දහසක් ප‍්‍රතිනිර්මාණය කිරීම නමින් ව්‍යාපෘතියක් පෙරට දමා පාසලකට රුපියල් ලක්ෂ 20කට ආසන්න මුදලක් ලබාදෙන බව පවසා පාසල් පුවරු පමණක් ලබාදෙමින් සිටින්නේ රුපියල් මිලියන 64,950ක ව්‍යාපෘතියක් නිසි ඇගයීමකින් තොරව අතහැර දමා බව ද ලංකා ගුරු සංගමය පවසයි.
කොන්ත‍්‍රාත්කරුවන්ට මුදල් නොගෙවීම් ඇතුළු වෙනත් හේතු මත පාසල්වල ඉදිකිරීම් අතරමග ඇණහිටින තත්ත්වය පිළිබඳව වහාම අවධානය යොමු කළ යුතු බව ද, නිසි ඇගයීමකින් තොර ප‍්‍රචාරණවාදී ව්‍යාපෘති වෙනුවට අධ්‍යාපන පද්ධතියට වඩාත් ඵලදායී ක්‍රියාකාරිත්වයකට යෑම අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීමක් බව ද ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
‘මෙම ව්‍යාපෘතියේ සියයට 40ක මුදලක් 2016 වසරේදීම පළාත් සභාවලට නිදහස් කර තිබිණි. මෙම ව්‍යාපෘතිය තුළ සිදු වූ සමහර වංචා සහගත තත්ත්වයන් සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට ද පැමිණිලි කොට ඇත. නිදසුනක් ලෙස නාච්චාදූව සිංහල ප‍්‍රාථමික විද්‍යාලය නමින් පාසලක් නොමැති අතර, ඒ සඳහා ගොඩනැගිල්ලකට මුදල් වෙන්කිරීම ද, තිරප්පනේ මහානාම විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකට රුපියල් මිලියන 24ක් වෙන්කොට තිබුණ ද මේ වන විට එහි ඇත්තේ මුල්ගලට හාරන ලද වළ පමණක් වීම ද දැක්විය හැකිය. මෙම කරුණු මෙන්ම උතුරු මැද පළාතේ මෙම ව්‍යාපෘතියට අදාළ පාසල් 2,020ක කරුණු සම්බන්ධයෙන් විගණනයක් ද සිදු කොට ඇත.’
Previous article2020 දී රෝහල් ඇඳන් 843ක් විනාශයි – කොවිඩ් ණය මිලියන 8,900කට මොකද වුණේ ?
Next articleFBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here