‍එන්නත්කරණය අවුල් ජාලයක් – දිගුකාලීන ප්‍රතිවිපාක ගැන ප්‍රජා වෛද්‍ය විශේෂඥයෝ අනතුරු අඟවති !

තීන්දු-තීරණ අවිධිමත් ලෙස ගැනීමත්, එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හඳුනාගෙන නොතීබිමත් නිසා එන්නත් වැඩසටහන මේ වන විට අවුල් ජාලයක් වී ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය ප්‍රකාශ කරයි.
එන්නත් මුදලට විකිණීම සහ නුසුදුස්සන්ට ලබාදීම වැනි සිදුවීම් ද වාර්තා වී ඇති බව එම සංගමය සඳහන් කරයි. එක් එක් අයගේ පෞද්ගලික අවශ්‍යතා ඉටුකිරීමට යෑමත්, විවිධ අයගේ අදහස්වලට එකඟ වීමත් නිසා ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ්-19 එන්නත් කිරීමේ වැඩසටහනේ ඇතිව තිබෙන ගැටළු කෙටි කාලීන සහ දිගු කාලීන ලෙස අහිතකර ප්‍රතිඵල ගණනාවකට මගපාදනු ඇතැයි ද එම සංගමය අවධාරණය කරයි.
කොවිඩ් 19 එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කරයි.

ප්‍රමුඛතාව දිය යුත්තේ කාටද?

කොවිඩ්-19 වෛරසයට එරෙහිව එන්නත් ලබාදී⁣මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී එය නියමිත වෙලාවට එන්නත් ලබාගැනීම, මූල්‍ය සම්පත් වෙන්කිරීම, මානව සම්පත් පුහුණු කිරීම, එන්නත් බෙදාහැරීම, සැලසුම් කිරීම සහ වඩාත්ම වැදගත් කරුණ ලෙස ප්‍රමුඛතාව දියයුත්තේ කාටද යන්න පිළිබඳව පැහැදිලි සැලැස්මක් තිබිය යුතුව තිබූ බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය එමගින් වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
මෙය ප්‍රමාණවත් මූලික සැලසුමක් සහිතව අවදානම පිළිබඳ හොඳ සන්නිවේදනයක් සහ දැනට කරගෙන යනු ලබන අනෙකුත් කටයුතුවලට බාධාවක් නොවන සේ කාර්යමණ්ඩල සූදානම් කිරීමක් සමග අත්වැල් බැඳ ගත යුතුව තිබූ බවද එම සංගමය කියයි.

දිගුකාලීන ප්‍රතිවිපාක

ඉහත කිසිවක් පිළිපැදීමට අපොහොසත් වීමත්, තීන්දු-තීරණ අවිධිමත් ලෙස ගැනීමත්, එන්නත් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි ක්‍රමවේදයක් හඳුනාගෙන නොතීබිමත් නිසා එම වැඩසටහන මේ වන විට අවුල් ජාලයක් වී ඇතැයි එම සංගමය පෙන්වා දෙයි. දේශපාලකයන් සහ නොයෙකුත් මාධ්‍ය මගින් කරන ප්‍රචාර නිසා මෙතෙක් කලක් සාර්ථකව කරගෙන ආ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අපකීර්තියට පත්වීමට ඉඩ තිබෙන බව ද ඔවුහු අවධාරණය කරති.
ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව බලවත් කණස්සල්ල ප්‍රකාශ කරන බවත්, බාහිර බලපෑම්වලින් තොරව තාක්ෂණික දැනුම ඇති නිලධාරීන්ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් දැඩි ඕනෑකමින් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥවරුන්ගේ සංගමය තම ප්‍රකාශය මගින් වැඩිදුරටත් සඳහන් කර සිටී.

හඳුනාගත් දුර්වලතා

මේ තාක් පැවති කොවිඩ්-19 එන්නත් වැඩසටහනේ ප්‍රධාන ගැටළු ලෙස එම සංගමය පහත කරුණු හඳුනාගෙන ඇත.
  • පැහැදිලි ඉදිරි සැලැස්මක් නොමැතිකම
  • පවතින සීමිත එන්නත් ප්‍රමාණය, සංකූලතා සහ මරණ අවම කිරීමේ අරමුණින් ප්‍රමුඛතාව දීමට කිසිදු උත්සාහයක් නොගැනීම
  • දුර්වල සැලසුම්කරණය හේතුවෙන් ඉල්ලුම හා සැපයුම් නොගැලපීම (මූල්‍යමය හ මානව සම්පත් යන දෙඅංශයෙන්ම)
  • එන්නත් කිරීමේ ව්‍යාපාරයට බාධා වන පරිදි අනවශ්‍ය පාර්ශ්වකරුවන් ඕනෑවට වඩා සම්බන්ධ කරගැනීම
  • අවදානම් සන්නිවේදනය ප්‍රමාණවත් නොවීම
     සෑම මට්ටමකදීම ඇතිකර තිබෙන අවිනිශ්චිතතාව (පුද්ගල, සංවිධාන සහ දේශපාලන)
එහි මෙසේ ද දැක්වෙයි.

කළ යුත්තේ කුමක්ද

‘ඉහත ගැටළු නිසාම එන්නත් ලබාදීමේදී විවිධ සිදුවීම් වාර්තා වී තිබේ. (මුදලට විකිණීම, නුසුදුස්සන්ට ලබාදීම) මේ හැර ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ලබාගත් ලක්ෂ 6කට ආසන්න ජනතාවට තම දෙවන එන්නත ලබාගැනිම පිළිබඳ අවිනිශ්චිතතාවකට මුහුණ දීමට සිදුවී තිබේ. ඊට අමතරව දේශපාලකයන් සහ නොයෙකුත් මාධ්‍ය මගින් කරන ප්‍රචාර නිසා මෙතෙක් කලක් සාර්ථකව කරගෙන ආ ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන අපකීර්තියට පත්වීමට ඉඩ තිබේ.
ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහනට සෘජුවම දායක වී ඇති, එය මෙහෙයවීම පිළිබඳ තාක්ෂණික දැනුම ඇති, ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයන් වන අපි, කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහනට අදාළව ඇති වී තිබෙන මෙම තත්ත්වය පිළිබඳව අපේ බලවත් කණස්සල්ල ප්‍රකාශ කර සිටින අතර, බාහිර බලපෑම්වලින් තොරව තාක්ෂණික දැනුම ඇති නිලධාරීන්ට මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරන ලෙස අදාළ බලධාරීන්ගෙන් දැඩි ඕනෑකමින් ඉල්ලා සිටිමු.
Previous articleFBI වාර්තාව මෙන්න – නවුෆර් මවුලවි ගැන ඇමැති වීරසේකර කියන්නේ ඇත්තම ද ?
Next articleව්‍යාජ කාර්යාල සහ VIP වාහන ගැන මානව හිමිකම් කොමිෂන් සභාවෙන් දැනුවත් කිරීමක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here