‘පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් මරා දමනවා’ : ‘වෙලේ සුදා’ බන්ධනාගාරයෙන් එළිය⁣ට රැගෙන යෑම තහනම් !

ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” මේ වන විට රඳවාගනු ලැබ සිටින බූස්ස බන්ධනාගාරයෙන් පිටතට රැගෙන නොයන්නැයි අභියාචනාධිකරණය අද (17) බූස්ස බන්ධනාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.
මේ මස 24 වැනිදා තෙක් බලපැවැත්වෙන අයුරින්, එනම් 24 වැනිදා තෙක් ඔහු එම බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑම වළක්වමින් මෙම නියෝගය ලබාදී තිබේ.
ඔහුගේ මව වන ආර්.ජී. මාලනී නමැත්තිය විසින් ඉදිරිපත් කරනු ලැබූ රීට් පෙත්සමක් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කෙරිණි. පෙත්සම්කාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටි අතර, නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මේ දිනවල පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් විවිධ විමර්ශනවලට බව සඳහන් කරමින් පිටතට රැගෙන ගොස් මරාදැමීමේ තත්ත්වයක් ඇති හෙයින් පෙත්සම්කාරියගේ පුත්‍රයාට ද එවැනි ඉරණමක් අත්වනු ඇතැයි ඇය බියෙන් පසුවන බවයි.
මෙවැනි අතුරු නියෝගයක් සම්බන්ධයෙන් සලකාබැලීම සඳහා වගඋත්තරකරුවන් වෙත නොතීසි නිකුත් කළ යුතු යැයි එම අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන් අතර, පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා, බූස්ස බන්ධනාගාර අධිකාරිවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වෙත නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරුවරයා පෙත්සම්කාර පාර්ශ්වයට දැනුම් දුන්නේය.
පෙත්සම යළි ලබන 24 වැනිදා සලකා බැලීමට නියමිත ය.

ආසන්න උදාහරණ දෙකක්

පසුගිය 10 වැනිදා අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයෙන් නිදහස් වූ මබුලාගේ දිනෙත් මබුලා හෙවත් උරු ජුවා, 11 දා පොලිසියෙන් යළිත් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ සඟවා ඇති ආයුධ සොයාගැනීමට බව නවගමුව පොලිසියෙන් තමන්ට පැවසූ බව නීතිවේදියෙකු සහ ඔහුගේ පවුලේ ඥාතීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබිණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා පැවසුවේ එම ප්‍රකාශය බියජනක බවයි. ඊට හේතුව සඟවා තැබූ ආයුධ පෙන්වීමට රැගෙන යෑම යන්නෙන් වෙනත් අර්ථයක් ප්‍රකාශ කරන නිසා බව ද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් පසුගිය 11දා රාත්‍රී 10.30ට නීතිඥ සේනක පෙරේරා සිය ෆේස්බුක් පිටුවේ මෙසේ ලියා තිබේ.
‘බූස්ස බන්ධනාගාරයෙන් ඊයේ ඇප මත නිදහස් වු දිනෙත් මෙලාන් (ඌරු ජුවා) යන සැකකරු නැවත අත්අඩංගුවට ගෙන මේ වන විට නවගමුව පොලිසියේ රඳවා තබාගෙන සිටී. ඔහුගේ නීතිඥයා පොලිසිය විමසී⁣මේදී විමර්ශන සඳහා ගෙනයාමට තිබෙන බවත්, ආයුධ සොයා ගැනීමට තිබෙන බවත් දැනුම් දී තිබේ. ආයුධ සොයන්න රැ⁣ගෙන ගිය බොහෝ සැකකරුවන් අවසන් ගමන් ගිය හැටි අපට අමතක නැත. නීතිය ක්‍රියාත්මක කරන වගකිව යුතු ආයතනය කැලෑ නීතිය අනුව කටයුතු කළහොත් අප පුදුම වන්නේ නැත.’
එදින රාත්‍රියේ අදාළ සැකකරු ඝාතනය කර තිබිණි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ 12දා උදෑසන මාධ්‍යයට පවසා තිබුණේ මෙම සැකකරු නවගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති බවත්, පසුව නවගමුව, වඳුරාමුල්ල ප්‍රදේශයට විමර්ශන කටයුත්තක් සඳහා රැගෙන ගොස් ඇති අතර, එහිදී ඇතිවූ සිදුවීමකදී පොලිසිය විසින් බලය පාවිච්චි කිරීමෙන් පසු රෝහල්ගත කළ ද ඒ වනවිට මරණයට පත්ව සිටි බවත් ය.

සැකය තහවුරු කිරීම

කොස්ගොඩ තාරක නමින් හැඳින්වෙන ධර්මකීර්තිලාගේ තාරක විජේසේකර පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට රැගෙන ගොස් ඇති නිසා ඔහුගේ ජීවිතය රැකදෙන ලෙස සැකකරුගේ මව වන අගම්පොඩි ජානකී ද සොයිසා විසින් නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි මගින් බලධාරීන්ගෙන් ඉල්ලා තිබිණි. ඒ පසුගිය 12දා ය. මානව හිමිකම් කොමිසමට, පොලිස්පතිවරයාට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට මෙසේ ඉල්ලීම් කර තිබේ.
‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි අංශයේ රඳවා සිටි සැකකරු මේ වන විට පෑලියගොඩ විශේෂ අපරාධ විමර්ශන ඒකකයට බාරදුන් බවට මාහට දැනගන්නට ලැබිණි. මෙකී සැකකරුගේ ජීවිතයට නොයෙකුත් තර්ජන එල්ල වී ඇති බව අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවටත්, ගරු අධිකරණයටත් සැලකර සිටින ලද කරුණකි. සැකකරුගේ පූර්ණ භාරකාරිත්වය මේ වන විට හිමි වී ඇත්තේ ඔබතුමන්ගේ දෙපාර්තමේන්තුවේ අදාළ ඒකකය වෙත ය.’
නීතිඥ අනෝජ් හෙට්ටිආරච්චි විසින් අදාළ සැකකරු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත යවන ලද ලිපියේ එසේ සඳහන් වේ. එදින ම රාත්‍රියේ සැකකරු ඝාතනය කර තිබිණි.

අධිකරණමය නොවන ඝාතන

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මගින් ද කරුණු සඳහන් කර තිබිණි. තම භාරයේ සිටින පුද්ගලයන් ආරක්ෂා කිරීම පොලීසියේ සහ රජයට පැවරුණු යුතුකමක් බව නීතිඥ සංගමයේ සභාපතිවරයා විසින් පොලිස්පතිවරයාට ලිඛිතව අවධාරණය කළ බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බොහෝ තීන්දුවලදී තමන් භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා රජය වෙත වගකීමක් පැවරී ඇති බව නැවත නැවතත් අවධාරණය කර ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.
මෙවැනි මරණ, නීතියේ ආධිපත්‍යයට පටහැනි වන අතර, එය ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් වනු ඇතැයිද මිනීමැරීම ඇතුළු බරපතළ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබාසිටින පුද්ගලයන්ට එරෙහිව නිසි අධිකරණයක් ඉදිරියේ නඩු පවරා වරදකරු කිරීමෙන් අනතුරුව පමණක් එකී අපරාධවලට දඬුවම් ලබාදිය යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දී තිබේ. මෙම මරණවලට අධිකරණමය නොවන (Extra-judicial killings) ඝාතනවල සියලු ලක්ෂණ ඇති බවත්, සිය භාරයේ සිටින පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් එම සංගමය පොලිස්පතිවරයා වෙත අවධාරණය කර තිබිණි.
Previous article‘අවදානම්’ ඇඟළුම් සේවකයින්ට වැඩට එන්න බල කරන්න එපා – සංවිධාන හතරක් ඉල්ලයි
Next articleඅහ්නෆ්,භාෂණයේ නිදහස සහ මානව හිමිකම්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here