ආසාදිතයන්ගෙන් පැමිණිලි රැසක් – මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ශවේන්ද්‍ර සිල්වාට ලිපියක් !

පරීක්ෂණ මගින් හඳුනාගන්නා කොරෝනා රෝගීන් රැගෙන යන ස්ථානය පිළිබඳව රෝගියාගේ භාරකරු හෝ සමීපතයන් වෙත රෝගියා නිවසින් රැගෙන යන මොහොතේදීම දන්වන්නැයි ද, එම ස්ථානයේ පොදු දුරකතන අංකයක් අදාළ පුද්ගලයන්ට ලබාදෙන්නැයි ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉල්ලා සිටී.
මේ වන විට කොවිඩ්-19 රෝගීන් ඇතුළත් කරගන්නා රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මොනවාද යන්න ප්‍රසිද්ධ කරන ලෙසත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් ඉල්ලා ඇත. වෛරසය ආසාදිත පුද්ගලයන් නිරෝධායනය සඳහා යොමු කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත ලිපියක් යොමු කරමින් ⁣එම කොමිසම මේ බව සඳහන් කර තිබේ.
එම ක්‍රියාවලිය සම්බන්ධයෙන් මතු වූ ගැටළු පිළිබඳව කොමිෂන් සභාව වෙත යොමු වූ පැමිණිලි ගැන අවධානය යොමු කරමින් එම ලිපිය යවා ඇත. මෙම ක්‍රියාවලිය තුළ පවතින යම්-යම් කරුණු විධිමත් කරගැනීම තුළින් වඩාත් හොඳ සේවාවක් රෝගී ජනතාවට ලබාදීමත්, රෝගී තත්ත්වයට පත්නොවූ ජනතාව ආරක්ෂා කරගැනීමටත් හේතුවනු ඇතැයි මානව හිමිකම් කොමිෂන් සභාව විශ්වාසය පළකරයි.
පහත කරුණු කෙරෙහි අවධානය යොමුකරන්නැයි ද එම කොමිසම ශවේන්ද්‍ර සිල්වා මහතාගෙන් ඉල්ලා තිබේ.
  • මේ වන විට කොවිඩ්-19 රෝගීන් ඇතුළත් කරගන්නා රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන මොනවාද යන්න ප්‍රසිද්ධ කිරීම.
  • කොවිඩ්-19 වැළඳී රෝහලක්, ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමේදී රැගෙන යායුතු අත්‍යවශ්‍ය පුද්ගලික පරිහරණ ද්‍රව්‍ය ලැයිස්තුවක් පෙර දැනුවත් කිරීම.
  • හඳුනාගත් රෝගියකු හෝ රෝගී කණ්ඩායමක් රෝහලකට හෝ ප්‍රතිකාර මධ්‍යස්ථානයකට රැගෙන යෑමට පෙරාතුව සාධාරණ, ප්‍රමාණවත් සූදානම් වීමේ කාලයක් ලබාදීම.
  • රෝගියා රැගෙන යන ස්ථානය පිළිබඳව රෝගියාගේ භාරකරු හෝ සමීපතයන් වෙත රෝගියා නිවසින් රැගෙන යන මොහොතේදීම දැනුම්දීම සහ එහි පොදු දුරකථන අංකයක් අදාළ පුද්ගලයන්ට ලබාදීම.
  • රෝගියා රැගෙන යන අවස්ථාවේදී අදාළ පුද්ගලයා නිදන්ගත රෝගී තත්ත්වයක් හෝ දීර්ඝ කාලීන අසනීපයක් සඳහා ප්‍රතිකාර ලබන්නේ නම්, ඊට අදාළ ඖෂධ රෝගියා රැගෙන යන්නේද යන්න නැවත විමසා බලන ලෙස ⁣රෝගියා රැගෙන යන කණ්ඩායමට දැනුම් දීම.
  • රෝගියා ආබාධ සහිත නැතහොත් වයෝවෘද්ධ තැනැත්තකු හෝ ළදරුවකු නම් පුද්ගලයාගේ කටයුතු කරගෙන යෑම සඳහා විකල්ප ක්‍රමවේදයක් සකස් කිරීම.
  • එක් පවුලක සාමාජිකයන් කිහිපදෙනෙකු රෝගී වූ අවස්ථාවක හැකිතාක් එම පිරිස එකම ස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකිරීමට කටයුතු කිරීම.
  • ප්‍රතිකාර යොමුකිරීමේදී හැකි සෑමවිටම අදාළ පුද්ගලයාගේ ස්ථීර පදිංචියට ආසන්නම ස්ථානය තෝරාගැනීමට හැකි උපරිමයෙන් කටයුතු කිරීම.
  • කුඩා දරුවන් සිටින විට වි⁣⁣⁣ශේෂයෙන්ම මවගෙන් වෙන් නොකිරීමට කටයුතු කිරීම.
  • නිදන්ගත රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයෙකුට ප්‍රතිකාර මධ්‍යස්ථානයේදී අදාළ රෝග සඳහා වූ ප්‍රතිකාර අඛණ්ඩව ලැ⁣බෙන බවට තහවුරු කරගැනීම.
  • විවිධ රෝගී තත්ත්වයන් පදනම්ව ලබාදෙන ආහාර වට්ටෝරු කෙරෙහි අවධානය යොමු කර කටයුතු කිරීම.
එහි වැඩිදුරටත් මෙසේ ද දැක්වේ.
‘කොවිඩ් වසංගත තත්ත්වය තුළ ඉතාමත් අවදානම් සහගත කටයුතුවලට සම්බන්ධ වෙමින් මෙම වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකීය ජනතාව මුදාගැනීම සඳහා ඔබ කාර්ය සාධක බලකාය මගින් සිදුකරනු ලබන කාර්යභාරය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව බෙහෙවින් අගය කරන්නෙමු.
පසුගිය අප්‍රේල් මාසයේ සිට රට තුළ වාර්තා වන රෝගීන් සංඛ්‍යාව වේගයෙන් ඉහළයෑමත් සමග ඉතාමත් ⁣කඩිනමින් රෝගී තත්ත්වයට පත්වූවන් ඔවුන් ජීවත් වන ස්ථානවලින් සුදුසු ආරක්ෂිත ප්‍රතිකාර මධ්‍යස්ථාන හෝ රෝහල් කරා යොමුකිරීම ඉතාමත් කඩිනමින් සිදුකිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව කොමිෂන් සභාවට නිරීක්ෂණය විය.
නමුත් මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක වීමේදී මතු වූ ගැටළු පිළිබඳව කොමිෂන් සභාව වෙත පැමිණිලි යොමුවී ඇති බව ඔබගේ අවධානයට යොමු කරමු. එබැවින් මෙම ක්‍රියාවලිය තුළ පවතින යම්-යම් කරුණු විධිමත් කරගැනීම තුළින් වඩාත් හොඳ සේවාවක් අදාළ රෝගී ජනතාවට ලබාදීම රෝගී තත්ත්වයට පත් නොවූ ජනතාව ආරක්ෂා කරගැනීමට හේතුවනු ඇත යන්න අපගේ විශ්වාසයයි.
මෙම දැන්වීම කරනුයේ 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ බලතල ප්‍රකාරව බව සලකන්න. ඉහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමුකර කටයුතු කරනු ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අපේක්ෂා කරන අතර, මෙමගින් කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමට ගෙනයන ක්‍රියාවලිය වඩාත් විනිවිදභාවයකින් හා ක්‍රමානුකූලව සිදුවනු ඇතැයි කොමිෂන් සභාවේ විශ්වාසයයි.’
Previous articleනිරෝධායන නීති කඩන්නන් අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූලව කරන්න – මානව හිමිකම් කොමිසම පොලිස්පතිට ලියයි !
Next articleකොවිඩ් පාලනය නොකළාට ජනපතිට නඩු ?; බ්‍රසීලයෙන් ලෝකයටම ආදර්ශයක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here