කොවිඩ් පාලනය නොකළාට ජනපතිට නඩු ?; බ්‍රසීලයෙන් ලෝකයටම ආදර්ශයක්

(නිලූක සඳුන් පද්මසිරි)
කොරෝනා වසංගතය පාලනය කරගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව විමර්ශනයක් සිදුවෙමින් පවතී.
ලොක්ඩවුන් කිරීමට සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම් නොසලකා හැරීම, කොරෝනා වෛරස වසංගතය පාලනය කරගැනීමට නොහැකි වීම සහ එන්නත්කරණ වැඩසටහන මන්දගාමී කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් එම විමර්ශනය සිදුවෙන බව විදෙස් මාධ්‍ය කියයි.
හිටපු හමුදා නිලධාරීයකු වන ජෙයාර් මෙසියාස් බොල්සොනාරෝ එරට 38 වැනි ජනාධිපතිවරයාය.

ආසාදිතයින් අතින් තුන්වන තැන : මරණ අතින් දෙවැනි තැන

බ්‍රසීලයෙන් කොරෝනා ආසාදිතයින් ලක්ෂ 155කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර බ්‍රසීලය මේ වන විට ලොව තුන්වන තැනට ආසාදිතයින් වාර්තා වූ රටයි. කොවිඩ්-19 මරණ අතින් බ්‍රසීලය ලොව දෙවැනි තැනයි. බොල්සොනාරෝගේ වසංගත පාලනය හා එන්නත් බෙදා හැරීමේ මන්දගාමී ප්‍රතිපත්තිය මේ වන විට දැඩි විරෝධතාවලට සහ විමර්ශනවලට තුඩු දී තිබේ.
වසංගතය මැඩලීම සඳහා සෞඛ්‍ය පහසුකම් සැපයීමට අපොහොසත් වීම, ලොක්ඩවුන් සීමාවන් පැනවීම සඳහා සෞඛ්‍ය අංශ කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම, එන්නත්කරණය ප්‍රමාද කිරීම, විද්‍යානුකුලව තහවරු නොවූ ප්‍රතිකාර ක්‍රම ප්‍රවර්ධනය කිරීම, ෆයිසර් එන්නත ලබා දීමට ෆයිසර් සමාගම කළ යෝජනා ප්‍රතික්ෂේප කිරීම ඇතුළු චෝදනා රැසක් එරට ජනාධිපතිට එරෙහිව එල්ල වී තිබේ.

අවදානම බැහැර කිරීම සහ වැරදි ආදර්ශය

ජනාධිපතිවරයා මීට පෙර වෛරසය “සුළු උණ රෝගයක්” ලෙස හුවාදක්වමින් එහි අවදානම බැහැර කළ අතර එය පැතිරීම වැළැක්වීම සඳහා මහජන සෞඛ්‍ය සීමා පැනවීමේ අවශ්‍යතාවය ද ප්‍රතික්ෂේප කළේය.  වසංගතය රට තුළ දිගින් දිගටම පැතිර ගියද තමා එන්නතක් ලබා නොගන්නා බව පවසමින් ඔහු ජනතාවට වැරදි ආදර්ශයක් ලබාදුන් බව ද එරට මාධ්‍ය වාර්තා ක⁣ර තිබිණි..
බොල්සොනාරෝ, කොවිඩ්-19 යනු “සුළු උණ තත්ත්වයක්” යැයි කියා සිටියා පමණක් නොව, මුඛ අාවරණ පැළඳීමට හෝ සමාජ දුරස්ථභාවය පවත්වාගැනීමට අවශ්‍ය නොවන බවට තම ආධාරකරුවන් දිරිගැන්වීය. ඔහු විශාල රැස්වීම්වලට සහභාගී වූ අතර, පළමු රැල්ලේ උච්චතම අවස්ථාවේ දී පවා මිනිසුන්ව වැළඳ ගත්තේය. වෛරසය පරාජය කිරීමට ඇති හොඳම ක්‍රම පිළිබඳ විද්‍යාත්මක කරුණු නැවත නැවතත් නොසලකා හැරියේය.

නිල පරීක්ෂණ

432,000 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ එරට කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට එරට රජයට නොහැකි වීම පිළිබඳව බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අනුමත කරන ලද නිල පරීක්ෂණයක් මේ වන විට සිදුවෙමින් පවතී. රටේ ඇමසෝනාස් ‍ප්‍රාන්තයේ අගනුවර වන මනාවුස් හි මාරාන්තික ලෙස කොරෝනා වෛරසය පැතිරීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට එරෙහිව මූලික පරීක්ෂණයක් ද රජයේ නීතිපතිවරයා විසින් ආරම්භ කිරීමට කටයුතු කර තිබිණි. ජනවාරියේදී, නගරයේ රෝහල්වල ඔක්සිජන් හිඟ වූ අතර එම නිසා ෆෙඩරල් රජයට රට පුරා සැපයුම් ප්‍රවාහනය කිරීමට සිදුවිය. එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ සොයාගත් කොරෝනා ප්‍රභේදවලට සමාන – ඉක්මණින් පැතිරෙන නව කොරෝනා වයිරස් ප්‍රභේදයක් මෙම කලාපය තුළ හඳුනා ගැනිණි. සෞඛ්‍ය අමාත්‍ය එඩ්වාඩෝ පැසුවෙලෝටද අදාළ වන මෙම මූලික පරීක්ෂණය මගින් යම් වරදක් සිදුව ඇති බවට සොයා ගනු ලැබුවහොත් වඩාත් විධිමත් පරීක්ෂණයක් (inquerito) පැවැත්වෙනු ඇත.
පැසුවෙලෝගේ ක්‍රියාකලාපය පිළිබඳ නිල විමර්ශනය මාස ගණනක් හෝ වසර ගණනක් ගත වුවද බොහෝ බ්‍රසීල ජාතිකයින් දැනටමත් නිගමනය කර ඇත්තේ වසංගතය පුරාවට බොල්සොනාරෝ සහ ඔහුගේ ඇමතිවරුන්ගේ හැසිරීම අපරාධයට වඩා අඩු දෙයක් නොවන බවයි. සෞඛ්‍ය අර්බුදය පාලනයේදී බොල්සොනාරෝ කළ විනාශකාරී හැසිරවීම සම්බන්ධයෙන් බොල්සොනාරෝට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා මෑත සතිවල දී දහස් සංඛ්‍යාත ජනතාවක් රට පුරා වීදි බැස තිබේ.

ජන සංහාරයක්

එන්නත් ආනයනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමට රජයේ ප්‍රයත්නයන්හි පෙරමුණ ගෙන සිටින සාඕ පවුලෝ හි ආණ්ඩුකාර ජෝඕ ඩෝරියා, බොල්සොනාරෝගේ වසංගත පාලනය “ජන සංහාරයක්” ලෙස  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. ඩෝරියා ඊළඟ ජනාධිපතිවරණයේදී බොල්සොනාරෝට එරෙහිව තරග කරනු ඇතැයි අපේක්ෂා කරයි. මෙම මහජන හදිසි අවස්ථාව හමුවේ ජනාධිපතිවරයාගේ හිතාමතා පැහැරහැරීම “බ්‍රසීලියානු ජනතාවට එරෙහි අපරාධයක්” විය හැකි බවත්, වසංගතය අවසන් වූ වහාම ඔහු “නියුරම්බර්ග් නඩු විභාගයකට” මුහුණ දිය යුතු බවත් විශ්ලේෂකයින් ප්‍රකාශ කර තිබේ.
මේ අතර, ලතින් ඇමරිකාවේ වඩාත් ගෞරවනීය යුක්ති සංවිධානයක් වන සාඕ පවුලෝ සහ කොනෙක්ටාස් මානව හිමිකම් විශ්ව විද්‍යාලය විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ බ්‍රසීලයේ කොරෝනා වෛරසය වේගයෙන් ව්‍යාප්ත වීම හුදෙක් රජයේ “නොසැලකිල්ල සහ අකාර්යක්ෂමතාවයේ” ප්‍රතිඵලයක් පමණක් නොවන බවත් හිතාමතා කරන ලද ආයතනික උපාය මාර්ගයක් බවත් ය.  පසුගිය වසරේ බොල්සොනාරෝගේ ක්‍රියාවන් දෙස බලන විට ඔහු හිතාමතාම හා සාපරාධී ලෙස බ්‍රසීල ජාතිකයින් මෙම මාරාන්තික වෛරසයට නිරාවරණය කිරීමට කටයුතු කර ඇති බව හැර වෙනත් නිගමනයකට එළඹීම දුෂ්කර බව එරට මාධ්‍ය වාර්තා කරයි. බොල්සොනාරෝට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආ යුතු බවට වන ඉල්ලීමට සහය දක්වන බ්‍රසීල කොංග්‍රසයේ නියෝජිතයින් ගණන වැඩි වෙමින් පවතින බැවින් බොල්සොනාරෝට අවසානයේ මෙහි අවදානම දැනී ඇති බව ද එරට මාධ්‍ය පවසයි. රෝගීන් සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව දිගින් දිගටම ඉහළ යමින් පැවතීමත් එන්නත් කිරීමේ උත්සාහයක් පෙනෙන්නට නැති වීමත් හේතුවෙන් ජනාධිපතිවරයාට තම තීරණ සාධාරණීකරණය කිරීම දුෂ්කර වී තිබේ.

විවේචකයින්ට තර්ජන – සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රහාර

ඔහු තමාව විවේචනය කරන්නන් තර්ජනය කිරීම් මගින් වළක්වා ගැනීමට උත්සාහ කර ඇති අතර, තම විරුද්ධවාදීන්ට පහර දීම සඳහා සමාජ මාධ්‍යවල තම ආධාරකරුවන් බලමුලු ගන්වා ඇත. එමෙන්ම විරුද්ධ මාධ්‍ය තම රජයට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට චෝදනා කළේය.
ඔහු තම රජයේ අසාර්ථකත්වයන් වසා ගැනීමට එරට සෞඛ්‍ය අමාත්‍යවරයා වන පැසුලෝ ද තනතුරින් පළවා හැරීමට උත්සාහ කළ අතර එයින් ඇඟවීමට උත්සහ කරනු ලැබුවේ “අර්බුදය විනාශකාරී ලෙස හැසිරවීම සහ එන්නත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමතිවරයා පමණක් වගකිව යුතු බවයි”.
අද බ්‍රසීලය වෛරසය නිසා බිඳ වැටෙමින් ඇති බවත් බොල්සොනාරෝ තමාට බලය අල්ලා ගැනීමට ඇති සෑම දෙයක්ම භාවිත කරමින් උත්සාහ කරමින් සිටියද, ඔහුගේ නොමඟ ගිය ප්‍රතිපත්ති නිසා බ්‍රසීල ජාතිකයන් රැසකට අනවශ්‍ය ලෙස ජීවිත අහිමි වූ බව මාධ්‍ය වාර්තා කළේය.

දෝෂාභියෝගයට මග

ඉදිරි මාසවලදී බ්‍රසීලයේ කොවිඩ් -19 ව්‍යසනය මීටත් වඩා දරුණු වනු ඇතැයි සෞඛ්‍ය විශේෂඥයින් බිය පළකරන අතර, වසංගතයට රජය දක්වන ප්‍රතිචාරය පිළිබඳ මෙම පාර්ලිමේන්තු පරීක්ෂණය මගින් ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට දේශපාලන බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එන්නත්කරණය අතින් බ්‍රසීලය මන්දගාමී තත්ත්වයක් පවතින අතර එරට තවමත් වසංගතයට ඵලදායී හා සම්බන්ධීකරණ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරයක් නොමැති බව වාර්තා වෙයි.
මෙම පරීක්ෂණය බොල්සොනාරෝට එරෙහි දෝෂාභියෝගයකට මග පෑදිය හැකි බවද 2022 ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන මැතිවරණයේදී එය ඔහුට අවාසිදායක තත්ත්වයක් ඇතිකරනු ඇතැයි ද විශ්ලේෂකයෝ මත පළ කරති. නමුත් බොල්සොනාරෝ පවසා ඇත්තේ පරීක්ෂණය ගැන තමා කණගාටු නොවන බවයි.
මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවලට එරෙහිව බොල්සොනාරෝ නැවත නැවතත් විවේචනාත්මක ප්‍රකාශ කර ඇති අතර වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා වන ඕනෑම ලොක්ඩවුන් ක්‍රියාමාර්ගයකට ඔහු දිගින් දිගටම විරුද්ධ වී තිබේ. බොල්සොනාරෝ මෙම තීරණ බ්‍රසීලයේ දේශපාලන යුධ පිටියක් බවට පත්ව ඇති බව එරට මාධ්‍ය පවසයි.
විශ්ලේෂකයින් පවසා ඇත්තේ මෙවන් පරීක්ෂණයක් සඳහා සාමාන්‍යයෙන් මාස තුනක් පමණ ගතවනු ඇතැයි අපේක්ෂා කරන නමුත් මෙම ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ගතවීමට ඉඩ පවතින බවයි.

ජනගහනයෙන් 15%කට එනනත්

සංඛ්‍යාලේඛනවලට අනුව, මැයි 12 වන විට දළ වශයෙන් මිලියන 211 ක් වන බ්‍රසීලයේ ජනගහනයෙන් 15% කට පමණ අවම වශයෙන් එක් කෝවිඩ් එන්නතක් හෝ ලබාදී ඇත.  මේ අතර, චිලී රාජ්‍යය සිය ජනගහනයෙන් 46% කට ආසන්න සංඛ්‍යාවකට කෝවිඩ් එන්නතේ අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ලබා දී ඇත. එය ලොව වැඩිම එන්නත් අනුපාතයක් පෙන්නුම් කරන රටකි.
බ්‍රසීලයේ එන්නත් කිරීමේ පහළ අනුපාතය නිසා එරට පුරා සහ එහි දේශ සීමාවෙන් ඔබ්බට මිලියන සංඛ්‍යාත ජනතාවක් දැනට රට තුළ සංසරණය වන කොරෝනා වයිරසයේ ප්‍රභේද 90 කට වඩා වැඩි සංඛ්‍යාවකට සහ ඉදිරියේදී ඇතිවිය හැකි නව විකෘතිවලට නිරාවරණය වීමේ අවදානමට ලක්ව ඇතැයි එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
2009 දී එච්1එන් 1 උණ වසංගතයට බ්‍රසීලයේ කෝවිඩ් එන්නත ලබා දීමේ ව්‍යාපෘතිය ඊට හාත්පසින්ම වෙනස් ය. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ මිලියන 92 ක ජනතාවකට එම එන්නත ලබා දී ඇත. වර්තමානයේ  ඇති ප්‍රධාන වෙනස ලෙස එරට මාධ්‍ය වාර්තා කරන්නේ සෞඛ්‍ය අර්බුදයට සෞඛ්‍ය අංශ විසින් යෝජනා කරන විසඳුම් බාර ගැනීම බොල්සොනාරෝ විසින් ප්‍රතික්ෂේප කිරීම බවයි.

දැන් පාලනය කළ නොහැකියි

‘පෑන් ඇමරිකා’ සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේ පසුගිය සතියේ වාර්තා වූ ගෝලීය කෝවිඩ් ආශ්‍රිත මරණවලින් 40% ක්ම සිදුව ඇත්තේ ඇමරිකා මහද්වීපවල බවයි. කලාපයේ දැඩි සත්කාර ඒකකවලින් 80% කට ආසන්න ප්‍රමාණයක් දැනට රෝගීන්ගෙන් පිරී ඇති අතර එක්සත් ජනපදයේ හා බ්‍රසීලයේ රෝගීන් වාර්තා වීම අඩු වී ඇති අවස්ථාවකදී පවා වෛරසය පැතිරීම “දැන් පාලනය කළ නොහැකි” බව එම සංවිධානයේ අධ්‍යක්ෂ කැරිසා එටියන් අනතුරු අඟවා ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය.
“මම හිතන්නේ මෑතකදී ඉන්දියාවේ තත්ත්වය සැලකිය යුතු ලෙස නරක අතට හැරී තිබෙනවා වගේම බ්‍රසීලයේ සංඛ්‍යා ඉතා ඉහළ මට්ටමක පවතිනවා. ඇත්ත වශයෙන්ම රටේ සෞඛ්‍යය මාස ගණනක් තිස්සේ කඩා වැටෙමින් පැවතුණා”  යැයි සාඕ පවුලෝ හි ගෙටුලියෝ වර්ගාස් පදනමේ සහකාර මහාචාර්ය ඔලිවර් ස්ටුවෙන්කල්  සීඑන්බීසී වෙත ප්‍රකාශ කර තිබේ.
“මෙහි වඩාත් සිත්ගන්නා සුළු දේ නම් එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යම් තාක් දුරකට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මේ වන විටත් සිය තීරණවලට දේශපාලන ලෙස වන්දි ගෙවමින් සිටීමයි. සාධක එකතුවක් මගින් තරමක් ඉහළ දේශපාලන සහයෝගයක් රඳවා ගැනීමට බොල්සොනාරෝ සමත් වී තිබෙන අතර තවමත් සිය තීරණවලට වන්දි ගෙවීමට සිදුව නැහැ. ඒ සිය වගකීම මග හැරීමේ ඔහුගේ උපායමාර්ගය මේ වන තෙක් කැපී පෙනෙන ලෙස සාර්ථක වී ඇති හෙයින්” යැයි ස්ටුවෙන්කල් ප්‍රකාශ කරයි.
” සාරාංශයක් ලෙස, මෙම විමර්ශනය තීරණාත්මක වෙයි කියලා මම සිතනවා. මොකද, මේ අවස්ථාවේදී මේ විමර්ශනය මගින්වත්, 400,000 ක් මියගිය පසුවත්, මූලික වශයෙන් සෞඛ්‍ය පද්ධතියේ ස්ථිර බිඳවැටීමෙන් පසුවත් මහජන මතය වෙනස් කළ නොහැකි නම් වෙන කිසි දෙයක් කරන්න බෑ. මට එය තීරණාත්මක දෙයක්. මට අනුවනම් මෙය ලබන වසරේ මැතිවරණයට බලපාන කරුණක්.” ඔහු තවදුරටත් සඳහන් කරයි.

විද්‍යානුකූලව තහවුරු නොවූ ප්‍රතිකාර

මැලේරියාවට යොදාගන්නා ඖෂධයක් වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් වැනි ඖෂධ කොරෝනා වෛරසයට එරෙහිව ඵලදායී බවට කිසිදු සාක්ෂියක් නොමැති බවට ලොව පුරා විද්‍යාඥයින් අනතුරු අඟවා තිබියදීත් කොවිඩ්-19 ප්‍රතිකාරයක් ලෙස එම ඖෂධ යොදාගැනීම⁣ට ඔහු වරින්වර බලපෑම් කර තිබිණි. මෙවන් තහවුරු නොකළ ප්‍රතිකාර සඳහා සහාය දීම ප්‍රතික්ෂේප කළ නිසාත් සරල සමාජ දුරස්ථ ක්‍රමවේද හඳුන්වාදීමට උත්සහ කළ නිසාත් ඔහු සෞඛ්‍ය ඇමතිවරුන් දෙදෙනෙකු මාස ​​කිහිපයක් තුළ නෙරපා හරිනු ලැබුවේය.
හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් (Hydroxychloroquine) කෝවිඩ් ප්‍රතිකාරයක් ලෙස භාවිතා කිරීමට බොල්සොනාරෝ කළ විද්‍යානුකූල නොවන බලපෑම්වලට විරෝධය දැක්වීම හේතුවෙන් වසරකට පෙර සේවයෙන් පහ කරනු ලැබූ බ්‍රසීලයේ හිටපු සෞඛ්‍ය ඇමති ලුයිස් හෙන්රික් මැන්ඩෙටා ද පාර්ලිමේන්තු පරීක්ෂණයට සාක්ෂි ලබාදීමට කැඳවා තිබේ.
මැන්ඩෙටා ප්‍රකාශ කළේ ප්‍රතිකාරයට විද්‍යාත්මක පදනමක් නොමැති බව බොල්සොනාරෝ හොඳින් දැන සිටි බවයි. එක්සත් ජනපද හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද විද්‍යාත්මක සාක්ෂි නොමැති වුවද  හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් කොරෝනා වෛරසයට ප්‍රතිකාරයක් ලෙස යොදාගැනීමට බලපෑම් කර තිබිණි.

දැන් ගන්නා තීරණවල ප්‍රතිවිපාක ඉදිරියේදී

“අවාසනාවකට මෙන්, මෙය ඉතාමත් භයානක ආණ්ඩුවක්. නමුත් මෙය ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ හෙයින් මේ මොහොතේ කළ හැකි දේ අල්පයි, ” යැයි රියෝ ද ජැනෙයිරෝ හි පිහිටි ඉගරපේ ආයතනයේ සභාපති ඉලෝනා සාබෝ ප්‍රකාශ කර තිබේ.
“දේශපාලන වශයෙන් බෝල්සොනාරෝට මෙම පරීක්ෂණ මගින් ක්ෂණික බලපෑමක් ඇතිවනු ඇතැයි මං විශ්වාස කරන්නේ නෑ. හැබැයි අද ගන්නා තීරණ අනාගතයේ ප්‍රතිවිපාක ඇති කරනවා” යැයි සාබෝ සඳහන් කර ඇත.
“ඔවුන් මෙයට වගකිව යුතු බවත්, මරණ බොහොමයක් වළක්වා ගත හැකි බවත් ඉදිරි⁣යේදී ඔප්පු වේවි” යැයි සාබෝ පැවසීය.

ෆයිසර් එන්නත මාස ගණනක් නොසලකා හැරීම

බ්‍රසීලයට කොරෝනා එන්නත් අලෙවි කිරීමට 2020 අගෝස්තු හා නොවැම්බර් මාස දක්වා මාස ගණනක් ෆයිසර් සමාගම දැරූ උත්සාහයට බ්‍රසීල බලධාරීන් නිසි ප්‍රතිචාරයක් නොදැක්වූ බවට ෆයිසර් සමාගමේ ලතින් ඇමෙරිකා කලාපයේ ප්‍රධාන විධායක නිලධාරී කාලෝස් ප්‍රකාශ කර තිබේ.
ෆයිසර් සමාගම බ්‍රසීලයට එන්නත් අලෙවි කිරීම සඳහා වන යෝජනාව ගිය වසරේ සැප්තැම්බර් 12 වැනිදා  බ්‍රසීල ජනාධිපතිවරයාට, බ්‍රසීල කැබිනට් මණ්ඩලයට සහ එවක සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපි යොමු කළ බව ඔහු පවසා ඇත. නමුත් ඊට මාස දෙකක් යනතුරු කිසිවෙකුගෙන්  ප්‍රතිචාර ලිපියක් නොලැබුණු බව ද ඔහු සඳහන් කර තිබේ.
බ්‍රසීල රජය අවසානයේ ෆයිසර් සමාගම සමග එන්නත් මාත්‍රා මිලියන 100 ක් සඳහා පසුගිය මාර්තු මාසයේදී ගිවිසුම්ගත වූ අතර එහි මාත්‍රා මිලියනයක් අප්‍රේල් මාසයේ දී එරටට ළඟා විය. එමෙන්ම තවත් මාත්‍රා 628,000ක් පසුගිය බදාදා බ්‍රසීලයට යවා තිබේ. තවත් මාත්‍රා මිලියන 100ක් ලබාගැනීම සඳහා බ්‍රසීලය තවත් ගිවිසුමක් අත්සන් කළ බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉකුත් අඟහරුවාදා නිවේදනය ක⁣ළේය.
⁣එම දෙවැනි එන්නත් තොගය සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ ලබා දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
සිය සතිපතා සජීවී අන්තර්ජාල විකාශනයකදී බොල්සෝනාරෝ ප්‍රකාශ කළේ ෆයිසර් සමාගම විසින් මීට පෙර යෝජනා කළ ගනුදෙණුවට වඩා මේ වසරේ වඩා හොඳ ගනුදෙණුවක් බ්‍රසීලයට ලැබී ඇති බවයි.

 

Previous articleආසාදිතයන්ගෙන් පැමිණිලි රැසක් – මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ශවේන්ද්‍ර සිල්වාට ලිපියක් !
Next article‘අවදානම්’ ඇඟළුම් සේවකයින්ට වැඩට එන්න බල කරන්න එපා – සංවිධාන හතරක් ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here