මාස 16ට රුපියල 20කින් බිම⁣ට

වත්මන් රජය යටතේ ⁣ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 20කින් අවපාත වී ඇතැයි මහ බැංකු දත්ත වාර්තා පෙන්වා දෙයි.
ඒ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දුන් දින සිට අද (01) දක්වා ගත වූ දින 501ක් එනම් මාස දහසය හමාරක් වැනි කාලය තුළයි.
වත්මන් රජය බලයට පත්වන අවස්ථාවේදී ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය තිබුණේ රුපියල් 181.67ක් ලෙස වන අතර එය අද වන විට 202.10 දක්වා වැඩි වී තිබේ. මෙලෙස රුපියල දිනෙන් දින අවපාත වී තිබෙන්නේ අවුරුද්දකට ආසන්න කාලයක් අත්‍යවශ්‍ය නොවන සියලු භාණ්ඩ ආනයනය තහනම් කර තිබියදී ය.
එමෙන්ම පසුගිය රජය යටතේ ඩොලරය වසර 4කුත් මාස 10ක් වැනි කාලයක් තුළ ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඩොලරය රුපියල් 47කින් වැඩිවී තිබේ. 2015 ජනවාරි 09 වැනිදා ඩොලරයේ විකුණුම් මිල රුපියල් 133.99ක් ලෙස සටහන් වූ අතර එය 2019 නොවැම්බර් 17 වන විට රුපියල් 181.67ක් ලෙස දැක්විණි.
ඊයේ (31) ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව ඇමෙරිකා ඩොලරය ප්‍රථම වතාවට 202 සීමාව ඉක්මවා ගියේය.
⁣ඩොලරය රුපියල් 200 මට්ටමේ පවත්වාගෙන සිටින්නේ අමාරුවෙන් බවත් රුපියල් 350ට වුව යා හැකි බවත් ඉකුත් දා පාර්ලිමේන්තුවේදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ඔහු මෙසේද කීවේය.
“මහින්ද රාජපක්ෂ මහත්තයා රට බාරගන්නකොට ඩොලරයට ගෙව්වේ රුපියල් 105ක්. දැන් අවුරුදු දහයකට පස්සේ 2014 රට බාරදෙද්දි ඩොලරයට ගෙව්නේ 131යි. ඒ අවුරුදු 10 තුළ 26ක් ගෙවන්න වුණා වැඩිපුර කලින්ට වඩා පිටරටින් ගෙන්වන බඩු වලට.
පසුගිය රජය අවුරුදු පහක් තුළදී රට බාරදෙනකොට විනිමය අනුපාතය 182යි. 131 ඉඳලා 182ට ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට සෑම ඩොලරයකටම රුපියල් 51 ගෙවන්න වුණා. පිටරටින් ගෙන්නන මිල එදා තිබ්බ මිලයි අද තියෙන මිලයි දැන් රුපියල් 200 මට්ටමේ විනිමය අනුපාතය පාලනය කරන් ඉන්නේ මේ විනිමය අනුපාතය 250ට ගියොත් 300⁣ට ගියොත් 350ට ගියොත්.. එහෙම වෙන්න පුළුවන් “
Previous articleකවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයා ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි
Next articleමැතිවරණ නීතිවල අඩුපාඩු හොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here