සැකකරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන ජනාධිපතිගේ ගැසට් පත්‍රය ජාත්‍යන්තර නීතිවේදීහු හෙළා දකිති !

නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීමට ඉඩ සලසන ශ්‍රී ලංකාවේ නව ‘රැඩිකලීකරණ’ රෙගුලාසි හෙළා දකින බව නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම හෙවත් අයිසීජේ සංවිධානය පවසයි.
එම රෙගුලාසි මගින් සුළුතර ආගමික හා ජනවාර්ගික ප්‍රජාවන් වෙනස් කොට සැලකීමට භාජනය වන ආකාරයෙන් ඉලක්ක කළ හැකි බවද එම සංවිධානය පෙන්වා දෙයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව මෙලෙස රෙගුලාසි නිකුත් කරමින් පසුගිය මාර්තු 12 වැනි දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අංක 2218/68 දරන ගැසට් නිවේදනය නිකුත් ක⁣ළේය.
පාර්ලිමේන්තුවේ මැදිහත්වීමකින් තොරව විධායකය විසින් පනවන ලද මෙම රෙගුලාසි මගින් ප්‍රජාවන් අතර ආගමික හෝ වාර්ගික ප්‍රචණ්ඩත්වය, අසමගිය වැනි ක්‍රියාවන් ඇති කිරීමට හේතුවන වචන හෝ සංඥා භාවිතා කළ බවට සැක කරන පුද්ගලයින් නඩු විභාගයකින් තොරව වසර දෙකක් දක්වා කාලයක් පුනරුත්ථාපනය කිරීමට යවනු ඇත.
මේ සම්බන්ධයෙන් අයිසීජේ හි නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සයිඩර්මන් මහතා මෙසේ සඳහන් කර තිබේ.
“විධායක රෙගුලාසි මගින් නියම කර ඇති මෙම රෙගුලාසි මගින් පුද්ගලයන් නඩු විභාගයකින් තොරව සිරගත කිරීමට ඉඩ සලසයි. එම නිසා ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාමය සහතික කිරීම් මෙන්ම ජාත්‍යන්තර නීතිමය බැඳීම් අමු අමුවේ උල්ලංඝනය කිරීමකි.
නව රෙගුලාසි කේවල් කිරීමේ මෙවලමක් ලෙස භාවිතා කිරීමට ඉඩ ඇත, එහිදී රැඳවියෙකුට නීත්‍යානුකූල චෝදනා මත සාධාරණ නඩු විභාගයක් වෙනුවට වසරක් හෝ දෙකක් පුනරුත්ථාපනයේ සිටීම හෝ අවිනිශ්චිත කාලයක් රැඳවුම් බාරයේ සිට නඩු කටයුතුවලට මුහුණ දීම යන තෝරාගැනීම් දෙකෙන් එකක් කිරීමට සිදුවේ ”
නීතිවේදීන්ගේ ජාත්‍යන්තර කොමිසම නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වෙයි.
“ශ්‍රී ලංකාව එකඟ වී සිටින සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියේ (අයිසීසීපීආර්) 9 වන වගන්තිය මගින් ඕනෑම පුද්ගලයෙකුට ඔවුන්ගේ නිදහස අහිමි වූවන්ට ක්‍රියා පටිපාටීය සහතික ගණනාවක් ලබා දී ඇති අතර ඒවායින් බොහොමයක් මෙම නව රෙගුලාසියේ ඇතුළත් නොවේ.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව විසින් නැවත නැවතත් තහවුරු කර ඇති පරිදි පරිපාලනමය රඳවා තබා ගැනීමකට අවසර නැත.
නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට පෙර පවා ශ්‍රී ලංකා බලධාරීන් විසින් සුළුතර ප්‍රජාවන්ට හිංසා කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයිසීසීපීආර් රෙගුලාසි භාවිත කර තිබිණි. නමුත් සුළු ජාතීන්ට එරෙහිව වෛරය හෝ ප්‍රචණ්ඩත්වය අවුස්සන අයට එරෙහිව බලධාරීන් විසින් සුළු හෝ ක්‍රියාමාර්ග ගෙන නොමැත.
වෙනස්කම් කොට සැලකීමට, ප්‍රචණ්ඩත්වය හෝ සතුරුකමට හේතුවන වෛරී කතා වෙනුවෙන් පෙනී සිටීම තහනම් කරන අයිසීසීපීආර් පනතේ 3 (1) වගන්තිය මෙතෙක් සුළුතර ප්‍රජාවන්හි සාමාජිකයින් ඉලක්ක කිරීම සඳහා අනිසි ලෙස භාවිතා කර ඇත.
කොවිඩ් -19 ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තියට එරෙහිව දෘෂ්ටිවාදාත්මක ‘ජිහාඩයක්’ ඉල්ලා සිටිමින් ෆේස්බුක් සටහනක් පළ කළැයි 2020 අප්‍රේල් මාසයේදී විශ්‍රාමික රජයේ සේවකයෙකු වන රම්සි රසීක් අත්අඩංගුවට ගනු ලැබීය.
අයිසීසීපීආර් පනත යටතේ මාස පහකට වැඩි කාලයක් රඳවා සිටි ඔහු 2020 සැප්තැම්බර් මාසයේ වෛද්‍ය හේතූන් මත ඇප මත මුදා හැරිණි.
2020 මැයි මාසයේදී තරුණ මුස්ලිම් කවියෙකු වන අහ්නාෆ් ජසීම් දෙමළ භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද කවි එකතුවක් සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම කවිවල අන්තවාදී පණිවුඩ අඩංගු බවට සිංහල බලධාරීන් විසින් වැරදි ලෙස අර්ථකථනය කරනු ලැබ ඇත.
නව රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමෙන් දින කිහිපයකට පසු එනම් පසුගිය සතියේ අහ්නාෆ්ගේ නීතිඥයින් අනතුරු ඇඟවූයේ අන්තවාදී ඉගැන්වීම්වල නිරත වූ බවට පිළිගන්නා ලෙසට අහ්නාෆ්ට සහ ඔහුගේ පියාට බලපෑම් කරන බවය.
මානව හිමිකම් නීතීඥ හිජාස් හිස්බුල්ලා අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ දීර්ඝ ලෙස රඳවා තබා ගැනීම පිළිබඳව අප සංවිධානය මීට පෙර කරුණු ඉදිරිපත් කර තිබුණි. අත්අඩංගුවට ගැනීමට හේතුවක් ඉදිරිපත් නොකර මාස 10 ක් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමෙන් පසුව, ඔහු දැන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අයිසීසීපීආර් පනත යටතේ කථන ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන් නඩු පවරනු ලැබ සිටී.
සැකකරුවන් මාස ගණනාවක් සහ බොහෝ විට වසර ගණනාවක් තිස්සේ කිසිදු චෝදනාවක් හෝ නඩු විභාගයක් නොමැතිව අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, වධහිංසා පැමිණවීම සහ වෙනත් අපයෝජනයන්ට පහසුකම් සැලසීම සඳහා භාවිතා කරනු ලබන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස අප සංවිධානය නිරන්තරයෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූලව යමින්, මෙම නොපැහැදිලි සහ පුළුල් ත්‍රස්ත විරෝධී නීතිය සහ ඒ යටතේ ගෙන එන රෙගුලාසි අවලංගු කර ප්‍රතිස්ථාපනය කිරීම සඳහා වන ඉල්ලීම අප සංවිධානය යළිත් අවධාරණය කරයි.
ප්‍රජාවන් අතර ප්‍රචණ්ඩත්වය, අසමගිය ඇති වීමට හේතුවන වචන හෝ සංඥා භාවිතා කළ බවට සැකයක් මත බාරවන වන හෝ අත්අඩංගුවට ගන්නා පුද්ගලයකු පැය 24 ක් ඇතුළත ළඟම ඇති පොලිස් ස්ථානයට භාර දිය යුතු අතර සැකකරු තවදුරටත් රඳවා තබා ගත යුතුද යන්න සලකා බැලීම සඳහා පොලීසිය විසින් ආරක්ෂක අමාත්‍යවරයා වෙත (එම තනතුර දැනට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් දරනු ලැබේ) වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
2019 අංක 1 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ රෙගුලාසි සහ 2019 අංක 1 දරණ හදිසි (විවිධ විධිවිධාන හා බලතල) රෙගුලාසි යටතේ බාර වූ හෝ අත්අඩංගුවට ගත් අයට ද මෙම රෙගුලාසි අදාළ වේ.
නිශ්චිත වරදක් සම්බන්ධයෙන් සැකකරුවෙකුට නඩු විභාග කළ යුතුද නැතහොත් විකල්පයක් ලෙස පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යැවිය යුතුද යන්න තීරණය කිරීමට නීතිපතිවරයාට බලය ලබා දී ඇත.
පුනරුත්ථාපනය කිරීමට තීරණය කරන්නේ නම්, නීතිපතිවරයාගේ ලිඛිත අවසරය ඇතිව සැකකරු මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කරනු ඇත. එහිදී මහේස්ත්‍රාත්වරයාට සැකකරු වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කරන ලෙස නියෝග කළ හැකිය. පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්ගේ නිර්දේශය මත අමාත්‍යවරයා විසින් එවැනි කාල සීමාවක් මාස හයක කාලයකින් තවත් වසරක් දක්වා දීර්ඝ කළ හැකිය.
රෙගුලාසිවල තවදුරටත් සඳහන් වන්නේ රැඳවියා නැවත සමාජගත වීම සහතික කිරීම සඳහා කොමසාරිස් ජනරාල් විසින් රැඳවියාට මනෝ-සමාජ සහය සහ වෘත්තීය හා වෙනත් පුහුණුව ලබා දිය යුතු බවයි.
එවැනි රැඳවියන්ට මධ්‍යස්ථානය භාර නිලධාරියාගේ අවසරය ඇතිව සති දෙකකට වරක් ඔවුන්ගේ දෙමව්පියන්, ඥාතීන් හෝ භාරකරු හමුවීමට අවසර හිමිවෙයි.”
මෙය 2021 අංක 01 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීමෙන් මුදවාගැනීමේ) නියෝග ලෙස ගැසට් නිවේදනයේ හඳුන්වා ඇත. එහි අංක 05 යටතේ ඇති 04 වැනි කොටසේ සඳහන් කර ඇත්තේ මේ චෝදනා යටතේ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු නඩු විභාගයකින් තොරව පුනරුත්ථාපනය සඳහා යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයෙකුට හැකි බවයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ නීතිපතිවරයාගේ ලිඛිත අනුමැතියක් පමණක් බව ද එම කොටසේ වැඩිදුරටත් දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි වගන්තියේ පැහැදිලිව සඳහන් වන්නේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයෙකුට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමේ මූලික අයිතියක් ඇති බවයි. එසේ තිබියදී මේ ආකාරයට නීතිපතිවරයාගේ මතය මත පමණක් පුද්ගලයෙකු පුනරුත්ථාපනයට යොමුකිරීමේ තීරණය ගැනීම බරපතළ කරුණක් බව ද අදාළ නීති විශාරදයෝ පෙන්වා දෙති.
ගැසට් පත්‍රයේ මෙසේ ද සඳහන් වෙයි.
” (4) භාරවන්නෙකු හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තෙකු සිදුකරන ලද වරදේ ස්වභාවය අනුව එකී තැනැත්තාට එරෙහිව නඩු පැවරීමට විකල්පයක් වශයෙන් ඔහු මධ්‍යස්ථානයක් තුළ පුනරුත්ථාපනයට ලක්කිරීම සුදුසු බව නීතිපතිවරයාගේ මතය වන විට, නීතිපතිවරයාගේ ලිඛිත අනුමතය සමග එකී භාරවන්නා හෝ අත්අඩංගුවට ගනු ලබන තැනැත්තා 3 වැනි නියෝගයේ සඳහන් වැරදිවලට අමතරව වෙනත් වැරදි සිදුකර ඇද්ද යන කාරණය පිළිබඳව සලකා බැලීමෙන් පසුව එකී තැනැත්තා වසරකට නොවැඩි කාලයක් පුනරුත්ථාපනය කිරීම සඳහා මධ්‍යස්ථානයක් වෙත යොමුකිරීමට මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග කළ හැකිය.”
Previous articleලංකාවට පක්ෂව 11යි : විපක්ෂව 22යි : ඉන්දියාවේ සහයත් නෑ
Next article‘පාඩම් උගන්වන විදිහ මං දන්නවා’ : ජනපතිගේ ප්‍රකාශයට එරෙහිව මාධ්‍ය සංවිධාන එක්වෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here