මන්නාරම් නොගොස් ඉරනතිව් ආ කොරෝනා භුමදානය

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් භුමදානය සඳහා මාර්ගෝපදේශ නිකුත් කරමින් ඊයේ(03) විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
එමගින් කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහයන් ඉරනතිව් දූපතේ භුමදානය කිරීමට නියම කර තිබූ අතර ඉරනතිව් දූපතේ කොරෝනා දේහයන් භුමදානය කිරීම ගැන මේ වන විට දැඩි කතාබහක් ඇතිව තිබේ.
කොරෝනා දේහ භූමදානය සඳහා ඉරනතිව් දූපත තෝරාගෙන ඇති බවට සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා ද පසුගියදා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
කොරෝනා මරණ අනිවාර්යයෙන් ආදාහනය කළ යුතු බවට රජය පසුගිය වසරේ මාර්තු 30 වැනිදා නියෝග කළ අතර වසරකට ආසන්න කාලයක් එම නියෝග ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව, දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් නැගුණු විරෝධය නිසා එම තීරණය වෙනස් කිරීමට ඉකුත් 25 වැනිදා කටයුතු කළේය. ඒ අනුව එදින අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් භුමදානය සඳහා අවසර ලබා දුන්නේය.
භුමදානය කරන අවස්ථාවලදී ඒ තැනැත්තාගේ මෘත දේහය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද විධානවලට අනුකූලව නිසි බලධරයා විසින් අනුමත කරන ලද සුසාන භුමියක හෝ ස්ථානයක ඒ බලධරයාගේ අධීක්ෂණය යටතේ භූමදානය කරනු ලැබිය යුතු බව නව ගැසට්ටුවේ සඳහන් විය. නමුත් ඉන්පසුව සෞඛ්‍ය නිලධාරීන් සඳහන් කළේ කොරෝනා භුමදානය සඳහා මාර්ගෝපදේශ නිකුත් කරන තෙක් කොරෝනා දේහ භුමදානය නොකරන බවයි.
ඒ අනුව ඊයේ රාත්‍රියේ කොරෝනා දේහ භුමදානය සඳහා මාර්ගෝපදේශ නිකුත් කෙරිණි.

දිනපතා අලුයම 5.30ට පිටත් වෙයි : ඡායාරූප-වීඩියෝ ඇමතුම් තහනම්

“කොවිඩ්-19 ආසාදනය වී සිදුවූ මරණ භූමදාන කිරීමේදී සහ ප්‍රවාහනයේදී ප්‍රමිතිගත ක්‍රියා පටිපාටිය (SOP) ” යනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඊයේ නිකුත් කළ මාර්ගෝපදේශයේ මෙසේ දැක්විණි,
ප්‍රවාහනය සඳහා සූදානම් වීම සහ අනුමැතිය
මිය ගිය පුද්ගලයාගේ මළ සිරුර භූමදාන කිරීමට ඇති කැමැත්ත පිළිබඳව මියගිය අයගේ ඥාතීන් විසින් ප්‍රමාදයකින් තොරව අදාළ සෞඛ්‍ය ආයතනයේ (මරණය සිදුවූ ස්ථානය) අධ්‍යක්ෂවරයාට හෝ ප්‍රධානියාට දැනුම් දිය යුතුය.
රෝහලේ අධ්‍යක්ෂක හෝ සෞඛ්‍ය සේවා ආයතනයේ ප්‍රධානියා භූමදානය සඳහා ඥාතීන්ගෙන් ලිඛිත ඉල්ලීමක් ලබා ගත යුතුය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කරන නිලධාරීයා සමඟ සම්බන්ධීකරණය වී සුසාන භූමිය ඉරානතිව් දූපත ලෙස මරණ ප්‍රකාශන අයදුම්පතේ ඇතුළත් කිරීමට කටයුතු කළ යුතුය. මෘත දේහය රෝහලේ සිට ප්‍රවාහනය කිරීමට සහ නීත්‍යානුකූල භූමදානයක් සඳහා මෙම ලේඛනය භාවිතා කළ හැකිය. මරණ පරීක්ෂණයක් පවත්වනු ලැබුවහොත්, භුමදානය කරන භුමිය හදිසි මරණ පරීක්ෂක (අයිඑස්ඩී) / මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කරන ලද ලේඛනයට ඇතුළත් කළ යුතුය.
මළ සිරුර රෝහලෙන් පිටත් කර යවන දිනය හා වේලාව ආයතනයේ අධ්‍යක්ෂක / ප්‍රධානියා විසින් ඥාතීන්ට දන්වනු ලැබ, හැකි ඉක්මනින් මිනී පෙට්ටියක් ලබා දෙන ලෙස උපදෙස් දිය යුතුය.
ඥාතීන් විසින් සපයන ලද මිනී පෙට්ටියක මළ සිරුර බහා, නම් කරන ලද නිලධාරියා විසින් දේහයන් බාරගනු ලබන කොළඹ අධිකරණ වෛද්‍ය හා විෂවේද ආයතනය (ජේඑම්ඕ කොළඹ කාර්යාලය) හෝ වැලිකන්ද මූලික රෝහල යන ස්ථාන දෙකෙන් එකකට ප්‍රවාහනය කිරීම සෞඛ්‍ය සේවා ආයතනයේ අධ්‍යක්ෂක / ප්‍රධානියාගේ යුතුකමයි. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කළ නිලධාරීයා සමඟ සම්බන්ධීකරණයෙන් කළ යුතුය
මෘත දේහයන් “නාච්චිකුඩා ජැටිය” වෙත ප්‍රවාහනය කරන රථය දිනපතා අලුයම 5.30ට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් නම් කරන ලද දේහයන් බාරගැනීමේ මධ්‍යස්ථානයෙන් පිටත් වේ. බලයලත් පුද්ගලයකු විසින් ගෙන යන ලද මළ සිරුර නාච්චිකුඩා ජැටියේදී අදාළ අධිකාරියකට භාර දෙනු ලැබේ. එය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයා / ඔහුගේ නියෝජිත මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් අධීක්ෂණය කරනු ලබයි.
භූමදානය සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය විසින් නියෝග කරන ලද දූපතක පොලිස් / ආරක්ෂක අංශ නිලධාරීන්ගේ පහසුකම් හා සම්බන්ධීකරණයෙන් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීයා හෝ ඔහුගේ නියෝජිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනකුගේ සහභාගීත්වයෙනි.
ප්‍රවාහනයට පෙර ක්‍රියා පටිපාටිය
ඥාතීන් මිනී පෙට්ටියක් කල්තියා ලබා දිය යුතුය. මෘත දේහය පිටත් කර යැවීමට පෙර, ආරක්ෂක සෞඛ්‍ය ආවරණ පැළඳ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන් විසින් මෘත දේහය ඥාතීන්ට නැරඹීම සඳහා නියම කරනු ලැබූ ස්ථානයට ගෙන ආ යුතුය.
එම ස්ථානයේදී ආගමික කටයුතු සඳහා අවසර දී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සපයනු ලබන මාර්ගෝපදේශයන්ට අනුව පමණි.ඉහත ක්‍රියාකාරකම් අවසන් වූ පසු, මෘත දේහය රෝහලේ නම් කරන ලද සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් (සුදුසු ආරක්ෂක ආවරණ පැළඳ සිටින) ගෙන ගොස් මළ සිරුර ඥාතීන් විසින් සපයනු ලබන මිනී පෙට්ටිය තුළ තැබිය යුතුය.
මිනී පෙට්ටිය තුළ ඇති මළ සිරුර ප්‍රවාහනය සඳහා රථයක තබා මළ සිරුරු බාරගන්නා ස්ථානයට ගෙන යාම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට හෝ ඔහුගේ නියෝජිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ පොලිසියට භාර දිය යුතුය.
රථයේ රියදුරු සහ සහායකයා සුදුසු සෞඛ්‍ය ආරක්ෂක ආවරණ පැළඳිය යුතුය. ඥාතීන්ට හෝ අනවසර පුද්ගලයින්ට සෞඛ්‍ය සේවා ආයතනයේදී ඡායාරූප, වීඩියෝ සහ වීඩියෝ ඇමතුම් ලබා ගැනීමට අවසර නැත
මළ සිරුර ප්‍රවාහනය
මරණය සිදුවූ රෝහල වෙත ගොස් මියගිය අය හඳුනාගනු ලැබූ ඥාතීන් දෙදෙනකුට ඉරානතිව් දූපතේ භූමදානය සිදුවන ආකාරය නැරඹීම සඳහා පසුදින කිලිනොච්චි දිස්ත්‍රික්කයේ නාච්චිකුඩා ජැටිය වෙත පැමිණීමට අවසර හිමි වෙයි. මෙය සෞඛ්‍ය අමාත්‍යාංශයේ නම් කළ නිලධාරීයා සමඟ සම්බන්ධීකරණය කළ යුතුය. කෙසේ වෙතත්, ඔවුන් කොවිඩ්-19 ආසාදිත රෝගීන් නොවිය යුතුය. නිරෝධායනය වන පුද්ගලයන්ට ඒ සඳහා අවසර දී ඇත්තේ දැඩි නීති යටතේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාගේ හෝ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥයාගේ මග පෙන්වීම සහ අනුමැතිය යටතේ පමණි. ඔවුන් සම්මත ආසාදන-පාලන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. ගමනාන්තයේදී මිනී පෙට්ටිය තුළ ඇති මළ සිරුර, භූමදානය කරනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා හෝ ඔහුගේ නියෝජිත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් බාරගනු ලැබේ.
මෘත දේහය බාරගැනීමෙන් පසු අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද සහිතව නම් කරන ලද නිලධාරීන් විසින් එය භූමදානය කරන ස්ථානයට ගෙන යනු ලැබේ. භුමදාන කටයුතු මෙහෙයවනු ලබන ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා, පොලීසිය සහ ආරක්ෂක අංශ සමග භූමදාන කටයුතු සඳහා පැමිණීමට අවසර ඇත්තේ මිය ගිය පුද්ගලයාගේ ඥාතීන් දෙදෙනෙකුට පමණි. මිනී පෙට්ටිය විවෘත නොකළ යුතු අතර ඥාතීන්ට කිසිදු තත්ත්වයක් යටතේ වුවද මිනී පෙට්ටිය හැසිරවීමට ඉඩ නොදිය යුතුය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම් කරන ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීයා වන්නේ වෛද්‍ය තාක්‍ෂණික සේවා අධ්‍යක්ෂ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 ප්‍රධාන මෙහෙයුම් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාය.

ජලයේ සිට දුර

“COVID-19 ආසාදිත දේහයන් මරණ පරීක්ෂණය සහ බැහැර කිරීම” නමැතිව ඊයේ තවත් චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර එහි සඳහන් වූයේ දේහයන් භුමදානය සඳහා කපනු ලබන වළක පතුල භූගත ජලයට වඩා අවම වශයෙන් මීටර 2 ක් ඉහළින් තිබිය යුතු බවයි.
එහි මෙසේද සඳහන් වෙයි.
“කොවිඩ්-19 හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මරණ පරීක්ෂණය හා බැහැර කිරීම” යටතේ 01/04/2020 සහ 21/07/2020 දිනැති EPID / 400/2019 n-COV දරණ චක්‍රලේඛය තවදුරටත් මෙමගින් සංශෝධනය කෙරේ.
ඥාතියෙකුගේ තනි ඉල්ලීම මත පදනම්ව, මියගිය අයගේ දේහය ආදාහනය කිරීම හෝ භූමදානය කිරීම සඳහා අවසර දෙනු ලැබේ. පත් කරන ලද අධිකාරිය විසින් මෘත දේහය නිදහස් කිරීමට අදාළ ලියකියවිලි නිකුත් කිරීමෙන් පසු පැය 24 ක් ඇතුළත ආදාහනය / භූමදානය සිදු කළ යුතුය.
මෘත දේහය ඥාතීන්ට භාර නොදිය යුතු අතර කිසි විටෙකත් සේදීම හෝ එම්බාම් කිරීම නොකළ යුතුය. ක්‍රියා පටිපාටිය පුරාම මළ සිරුර අවම වශයෙන් හැසිරවිය යුතුය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නියම කරන ලද ආසන්නතම ආදාහනාගාරයක / නම් කරන ලද සුසාන භූමියක තැන්පත් කරන ලෙස උපදෙස් දෙනු ලැබේ. නාඳුනන හෝ ඥාතීන් ඉල්ලුම් නොකරන ලද මළ සිරුරක් රජයේ වියදමින් බැහැර කළ යුතු අතර බැහැර කිරීමේ ක්‍රමය ආදාහනය විය යුතුය.
භූමදානය සඳහා උපදෙස්
ප්‍රමාණවත් සෞඛ්‍ය අවශ්‍යතා පිළිපදිමින් දූපතක භූමදානය සිදු කිරීම වඩාත් සුදුසුය. දිස්ත්‍රික් පාරිසරික කමිටුවේ නියමයන් අනුව ප්‍රධාන ලේකම් – දිස්ත්‍රික් ලේකම්ගේ (දිසාපති) ප්‍රධානත්වයෙන් සහ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, සෞඛ්‍ය සේවා ප්‍රාදේශීය අධ්‍යක්ෂ, අනෙකුත් අදාළ නිලධාරීන් සහ අමාත්‍යාංශයේ නම් කරන ලද නිලධාරීයාගේ සම්බන්ධීකරණයෙන් COVID-19 ආසාදිත මළ සිරුරු භූමදානය කිරීම සඳහා සුදුසු ස්ථානයක් හඳුනා ගත යුතුය. අදාළ ස්ථානය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත දැනුම් දී අනුමැතිය ලබා ගත යුතුය. මළ සිරුරු මීටර් 1.5 සිට 3.0 දක්වා ගැඹුරට වළලනු ලැබිය යුතුය.
සිරුරු සංඛ්‍යාව අනුව ජල ප්‍රභවයන් සඳහා අවම දුර
සිරුරු ගණන
ජල මූලාශ්‍රයක සිට අවම දුර
04ක්/04කට අඩු
මීටර් 200
05 සිට 60 දක්වා
මීටර් 250
60ට වැඩි
මීටර් 350
වර්ග මීටර් 100කට සිරුරු 120ක්
මීටර් 350
මිනීවළේ පතුල භූගත ජලයට වඩා අවම වශයෙන් මීටර 2 ක් ඉහළින් තිබිය යුතුය.

ඉරනතිව් යනු ?

ඉරනතිව් යනු දූපතක් වන අතර එය කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පූනකරි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබේ.
වර්ග කිලෝමීටර් අටක් පමණ වපසරියකින් යුත් ඉරනතිව් ග්‍රාම නිලධාරී කොට්ඨාසයට අයත් වන ගම්මාන තුනකි. එනම් ඉරනතිව්, පලෙයිතිව් සහ සොන්නතිව් ය.
කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට අනුව ඉරනතිව් ග්‍රාම නිලධාරී කොට්ඨාසයේ පවුල් 359කට අයත් 1248 දෙනෙක් ජීවත් වෙති. ඉන් 623 දෙනකු පිරිමි පුද්ගලයන් වන අතර 625 දෙනකු කාන්තාවන්ය. ඔවුන් සියලු දෙනාම දමිළ ජාතිකයින් මෙන්ම සියල්ලෝම ක්‍රිස්තියානි ලබ්ධිකයෝ වෙති.
කොරෝනා දේහ භුමදානය සඳහා ඉරනතිව් දූපත තෝරාගෙන ඇති බවට සම කැබිනට් ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා පසුගිය දෙවැනිදා පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයෙන් අනතුරුව ඊට එරෙහිව ඉරනතිව් දූපත් වැසියෝ විරෝධතා ආරම්භ කළහ. කොරෝනා මරණ භුමදානය සඳහා ජනතාව නොමැති දූපත් ශ්‍රී ලංකාව අවට තිබියදීත් ඉරනතිව් දූපත තෝරාගැනීම අනුමත කළ නොහැකි බවත් රජය මුස්ලිම් ජනතාව සහ ක්‍රිස්තියානි ජනතාව අතර බේදයක් ඇති කිරීමට උත්සහ කරන බවත් ඔවුහු පැවසූහ.

ජාතිවාදය⁣ට හේතුවක් – රවුෆ් හකීම්

ඉරනතිව් දූපතේ කොරෝනා මරණ භුමදානය සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් හරහා අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් කියා සිටියේ කම්පනයට පත්වූ සිය ප්‍රජාවට හිරිහැර කිරීමේ උත්සහය තවමත් අවසන් වී නැති බවයි.
මේ සම්බන්ධයෙන් ගොඩනැගුණු ව්‍යාජ මතය තවදුරටත් නිවැරදි බවට ඔප්පු කිරීමට උත්සහයක් පවතින බවත් රට තුළ පවතින ජාතිවාදය මෙමගින් තවදුරටත් ඉදිරියට යනු ඇති බවත් හෙතෙම කීවේය.
ඔහු මෙසේ සඳහන් කර තිබිණි.
“සිරුරු ඉරනතිව් වෙත පිටුවහල් !
ඔවුන් ව්‍යාජ මතයක් නිර්මාණය කළ අතර ඒවා සියල්ලම නිවැරදි බවට ඔප්පු කිරීමට තවත් බලාපොරොත්තු වෙන බවක් පෙනෙන්න⁣ට තියෙනවා. බලාපොරොත්තු රහිතව කම්පනයට පත්වූ ප්‍රජාවකට හිරිහැර කිරීමේ ඔවුන්ගේ පහත් සතුටට තවමත් අවසානයක් නැහැ. අනුකම්පාවක් නැති ජාතිවාදය ඉදිරියටත් පවතිනු ඇත! ”

ක්‍රිකට් – සිලෝන් ටී ගැන කතා කරපු විදේශිකයෝ දැන් කතා කරන්නේ ලංකාවේ ජාතිවාදය ගැන

භූමදානය පිළිබඳ ජාතිවාදී වැරදි කළමනාකරණය හේතුවෙන් විදේශයන්හි ශ්‍රී ලංකාවේ කීර්ති නාමයට කැළලක් ඇති වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකර් මහතා පැවසීය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් හෙතෙම මෙසේද සඳහන් කළේය.
“ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය, ක්‍රිකට් සහ සිලෝන් ටී ගැන කතා කළ විදේශිකයන් දැන් කතා කරන්නේ අපේ රටේ ජාතිවාදය ගැනයි.
කොවිඩ්-19 භූමදානය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය නොකරන එකම රට ශ්‍රී ලංකාව වී වසරකට ආසන්න කාලයක් වෙනවා. දැනටමත් පවතින රටේ අස්ථාවර ජනවාර්ගික-ආගමික ආතතිය තවත් වැඩි කරමින් ඉහළින් පවතින අඛණ්ඩ දේශපාලන වර්ගවාදය බිම් මට්ටමේ සිටින ප්‍රජාවන් වෙතට ඇද දමමින් තිබෙනවා”

ඉරනතිව් නෙමෙයි තැන – ධීවර අමාත්‍ය

මේ පිළිබඳ කළ විමසීමකදී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසුවේ කොවිඩ් මරණ භූමදානය කිරීමට ඉරානතිවු නිසි ස්ථානය නොවන බවයි.
ඉරනතිව් දූපතේ කොවිඩ් වින්දිතයන් භූමදාන කිරීමේ මෙම තීරණය නැවත සලකා බලන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ සාකච්ඡා කළ බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
ඔහු මෙසේද කීවේය.
“මෙම තීරණය නැවත සලකා බැලීම සඳහා මම දැනටමත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කරලා තියෙනවා. මම ඔවුන්ගෙන් හොඳ ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. එවැනි දෙයක් සඳහා ඉරනතිව් සුදුසු තැනක් නෙවෙයි.
මේ දූපතේ මිනිසුන් ජීවත් වෙනවා. ඔවුන් එ්කට විරුද්ධයි. ඩොලර් මිලියන 26 ක් රටට ගෙන ඒමට හැකියාව ඇති මුහුදු කූඩැල්ලෝ වගාව මෙහේ දැනට සිදු වෙමින් පවතිනවා. මේ තීරණයෙන් එ්කට බලපෑමක් වෙනවා. ඒ නිසා ඉරනතිව් තවදුරටත් හුදෙකලා දූපතක් විදියට සලකන්න බෑ”

හෙට ඉඳන් භුමදානය කරන්න බලාපොරොත්තු වෙනවා – නම් කරන ලද බලධාරීයා

කොරෝනා දේහ භුමදානය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නම් කරන ලද නිලධාරියා වන්නේ ⁣සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය තාක්‍ෂණික සේවා අධ්‍යක්ෂ සහ කොවිඩ්-19 ප්‍රධාන මෙහෙයුම් සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතාය.
මේ පිළිබඳව කළ විමසීමකදී හෙතෙම පැවසූවේ මෙම තීරණය ගෙන ඇත්තේ අවශ්‍ය සෞඛ්‍ය කාරණා සැලකිල්ලට ගෙන ජනතාවට හානි නොවන අයුරින් බවයි.
සිරුරු භුමදානයට ඉරනතිව් තෝරාගත්තේ කොහොමද?
කොරෝනා මරණ භුමදානය සඳහා ගොඩක් තැන් යෝජනා වුණා. මේ තීරණය සියලු සාධක සලකා බලා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගත්තු තීරණයක්. ඒකට විරෝධතාවන් ආවට පස්සේ ඒවා සලකා බලන්න ප්‍රාදේශීය කමිටුවක් පත් කෙරුණා. චක්‍රලේඛයේද ඒක සඳහන් වෙලා තියෙනවා. යෝජනා වෙච්ච තැන් අතරින් ඔක්කොටම සුදුසු තැන මේක කියලා තමයි එම කමිටුව කියලා තියෙන්නේ. වතුර මට්ටම, ජනතාව ඉන්න තැන් බලලා එයාලට හානි නොවෙන්න තමයි මේ කමිටුව මේ තීරණය අරන් තියෙන්නේ. මේ තැන තියන්නේ දූපතක කොනක. ඒ නිසා එයාලට හානියක් වෙන්නේ නෑ.
මේ වෙද්දි භුමදානය පටන් අරන් කියලා කතාවක් යනවා. ඒකේ ඇත්ත මොකද්ද?
නැහැ. තාම වළලන්න පටන් ගත්තේ නෑ. එහේ අය එක්ක සාකච්ඡා කරනවා. හෙට ඉඳන් හෝ පටන් ගන්න අදහස් කරනවා.
එහේ වළවල් කපලා තියෙනවා කියලා සහ ඔවුන්ට නොදන්වා එය කළා කියලා ඉරනතිව් ජනතාව කියනවා. මේකේ ඇත්ත තත්ත්වය මොකද්ද?
භුමිය සම්බන්ධයෙන් පරීක්ෂණ කරද්දි කලින් එහෙට ගිහින් එ්වා කරන්න ඕන. ඒක ජනතාවට කිය කිය කරන දෙයක් නෙමෙයි.
කොළඹ සිට කිලෝමීටර් 300කට වැඩි දුරක් යන්න වෙනවා කොළඹ ඉන්න කෙනෙක්ට මේ කටයුත්ත සඳහා. ඒක ගැන අදහස මොකද්ද?
මේ වගේ තත්ත්වයකදී රටේ නීතියට යටත් වුණාම එ් දේ වඩාත් උච්ත කාරණයක් වෙනවා. එය කරන්න සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් තවත් යෝජනා අාවොත් සලකා බලන්න මේ කමිටුව සුදානමින් ඉන්නවා.
මේ සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාගේ නිල දුරකථන අංකයට ඇමතු නමුත් එහිදී පිළිතුරු දුන් නිලධාරිනිය පැවසූවේ ලේකම්වරයා රැස්වීමක⁣ට ගොස් ඇති බවයි.

දින 331ක් ආ බලහත්කාර ආදාහනය

කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය 2020 මාර්තු 30 වැනිදා මුලින් ම නිකුත්කරන ලද මාර්ගෝපදේශවල දැක්වුණ නමුත් පැය විසි හතරක් යන්නටත් පෙර එම තීරණය වෙනස් කරමින් එම වෛරසය ආසාදිතව මියයන සියලු දෙනා ආදාහනය කළ යුතු බවට සඳහන් කරමින් අදාළ මාර්ගෝපදේශ සංශෝධනය කරනු ලැබිණි. ඒ අනුව කොරෝනා ආසාදිත වී මිය යන පුද්ගලයන්ගේ දේහයන් අනිවාර්ය ආදාහනය කළ යුතු බවට වූ රජයේ ස්ථාවරය දින 331කට අධික කාලයක් පැවතිණි. එම කාලය තුළ කොරෝනා ආසාදිතවී මිය ගිය සියලු පුද්ගලයන්ගේ දේහයන් ඥාතීන්ගේ කැමැත්ත ඇතුව හෝ නැතුව ආදාහනය කෙරිණි. ඇතැම් අවස්ථාවලදී මේ සම්බන්ධයෙන් අධිකරණවල නඩු කටයුතු ද සිදුවිය.
ශ්‍රී ලංකාව තුළ සිදුවූ අනිවාර්ය ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය වෙනස් කරන ලෙසත් සුළු ජාතීන්ගේ ‘භුමදාන අයිතිය’ ලබාදෙන ලෙසත් දේශීය මෙන්ම අන්තර්ජාතික සංවිධාන සහ ක්‍රියාකාරීන් මෙන්ම විදෙස් රටවල් රැසක් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීම් කළ අතර මේ සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයේදී ද ශ්‍රී ලංකාවට දැඩි බලපෑමක් එල්ල විය.
මීට පෙර රජය පාර්ශ්වයේ බොහෝ දෙනාගේ අදහස වී තිබුණේ භුගත ජල මට්ටම ගැඹුරින් ඇති ප්‍රදේශයක් වන මන්නාරම් ප්‍රදේශය කොරෝනා භුමදානය සඳහා සුදුසු බවයි. එමෙන්ම බොහෝ මුස්ලිම් ජනතාව ද ඉල්ලා සිටියේ මන්නාරමේ හෝ මුස්ලිම් ජනතාව වැඩි ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක භුමදානය කිරීමට අවසර දෙන ලෙසයි.
කොරෝනා දේහ භුමදානය සඳහා මන්නාරමේ අක්කර පහක් ලබාදීමට එක් පුද්ගලයකු සූදානම් වී සිටි බවද මාධ්‍ය වාර්තා කර තිබිණි.
Previous articleදීමනාත් එක්ක වතු කම්කරු වැටුප 1230ක් – කම්කරු අමාත්‍ය
Next articleලංකාවේ ළමා ශ්‍රමිකයින්ගෙන් 36%ක්ම අනතුරුදායක රැකියාවල

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here