කොරෝනා එන්නත : මුල් අරමුණින් දුරස් වුණාද ?

ඉන්දියාවෙන් ලැබුණු ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත අද වන විට ශ්‍රී ලංකාවේ ලක්ෂ තුනකට අධික පිරිසකට එන්නත්කර තිබේ.
මේ දිනවල කොරෝනා එන්නත සම්බන්ධයෙන් දුර්මතද සාධනීය විවේචන ද සමාජය පුරා පැතිරෙමින් පවතී. එක් අතකින් කොරෝනා එන්නතින් සජීවි කොරෝනා වෛරසය ශරීරය තුළට එන්නත් කරන බවට සමාජ මාධ්‍ය හරහාද ප්‍රාදේශීය ජනයා තුළද දුර්මතයක් පැතිරෙයි. එමෙන්ම කොරෝනා එන්නත ලබාදිය යුතු වැඩි අවදානම් කොට්ඨාසවලට ලබා නොදී අඩු අවදානමක් සහිත වෙනත් කොට්ඨාසවලට ලබා⁣දෙන බවටද චෝදනාවක් පවතී.
දැන් කොරෝනා එන්නත ලබාදෙනු ලබන්නේ ඇතැම් ප්‍රදේශවල වයස 30-60 අතර පුද්ගලයන්ට වන අතර මුලින් රජය ප්‍රකාශ කරනු ලැබුවේ දැඩි අවදානම් වයස් කාණ්ඩයට අයත් පුද්ගලයන්ට කොරෝනා එන්නත ලබාදෙන බවටයි.

දේශපාලනඥයින්ටත් කොරෝනා එන්නත

පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්⁣ට ද කොරෝනා එන්නත ලබාදීමට වර්තමාන රජය කටයුතු කළේය. නමුත් බොහෝ සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති චෝදනා කළේ ප්‍රමුඛතා ලැයිස්තුවේ දේශපාලනඥයින්ට ප්‍රමුඛතාවයක් නොමැති බවයි.
එසේ නමුත් කථානායකවරයා ඇතුළු මැති ඇමතිවරුන් රැසක් කොරෝනා එන්නත ලබාගත් අතර අද(23) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද කොරෝනා එන්නත ලබාගත් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
කොවිඩ් එන්නත ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලබාදෙන්නේ කවදාදැයි අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසූවේ ඔවුන් දෙදෙනාට දැනටමත් එන්නත ලබාගෙන ඇති බවයි.
නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා ලැයිස්තුවේ ද දේශපාලනඥයින් හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් සඳහන් වන්නේ නැත.

මුලික අරමුණ

කොරෝනා එන්නතේ මූලික අරමුණ ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ මරණ සංඛ්‍යාව අඩු කරගැනීමයි. එමෙන්ම කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමද එහි ප්‍රධාන අරමුණක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව කොරෝනා එන්නතේ අරමුණ ලෙස දැකවෙන්නේ වෛරසය සම්ප්‍රේෂණය වැළැක්වීම සහ මරණ සිදුවීම වැළැක්වීමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශවල ප්‍රමුඛතාවය

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ජනවාරි මාසයේදී නිකුත් කළ ‘කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන – සෞඛ්‍ය සහ කොරෝනා මර්දන ඉදිරිපෙළ කාර්යමණ්ඩල’ නැමැති මාර්ගෝපදේශයේ, මුල් අදියරේ ප්‍රමුඛතාවය ලබාදිය යුතු පිළිවෙල ලෙස මෙසේ සඳහන් විය.
1. සියලු සෞඛ්‍ය සේවකයින්ට (රාජ්‍ය සහ පෞද්ගලික)
2. කොරෝනා මර්දන ඉදිරිපෙළ කටයුතු කරන සෞඛ්‍ය නොවන කාර්යමණ්ඩල ( ආරක්ෂක සේවා, පොලිසිය/එස්ටීඑෆ් සහ සිවිල් ආරක්ෂක අංශ වැනි)
3. විදෙස්රටවල සිට එන කොවිඩ්-19 ආසාදිත යැයි සැකකෙරෙන පුද්ගලයන් සමග සෘජු සම්බන්ධතා පැවැත්වීමට සිදුවන ගුවන්තොටුපළ සහ වරාය කාර්ය මණ්ඩලවලට
නමුත් සාමාන්‍ය ජනතාවට එන්නත් ලබාදීම සම්බන්ධයෙන් සඳහන් ‘කොවිෂීල්ඩ් එන්නත්කරණ වැඩසටහන – ප්‍රජා සම්ප්‍රේෂණය හා මරණ වැළැක්වීම සඳහා ප්‍රමුඛතා කාණ්ඩ’ නැමැති මාර්ගෝපදේශයේ ප්‍රමුඛතා ලැයිස්තුවක් පැහැදිලිව සඳහන් වී නොමැත.
එහි සඳහන් වන්නේ සම්ප්‍රේෂණය වැළැක්වීම සහ මරණ සිදුවීම වැළැක්වීම සඳහා හොඳම ආකාරයකින් බලපෑමක් ඇති කිරීම සඳහා කරනු ලබන තක්සේරුවකින් සහ කොරෝනා එන්නත් තොග පැමිණිමෙන් අනතුරුව ඉලක්කගත කණ්ඩායම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දෙනු ලබන බවයි.
එන්නත්කරණය සඳහා අදාළ සෞඛ්‍ය බලධාරීන් විසින් කළින් හඳුනාගත් ලැයිස්තු අනුව ඉලක්කගත කණ්ඩායම් හඳුනාගත යුතු බව ද එහි දැක්වෙයි.

අනුමත කළේ 60ට වැඩි අය⁣ට පුමුඛතාවය දෙන්නයි – ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය

සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු පාර්ශ්ව අනුමත කරන ලද “COVID-19 ජාතික එන්නත්කරණ සැලැස්ම 2021 අනුව ප්‍රමුඛතාවය ලබාදීමට නියමිතව තිබුණේ ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවල සහ පොලිසියේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා/ආයතනවල ඉහළ අවදානම් කණ්ඩායම් බව ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය කියයි.
එම එන්නත්කරණ සැලැස්ම ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් වෙත ලබාදුන් බව ද 2021 වසර තුළ දී ඉතාමත් සීමිත එන්නත් තොග ප්‍රමාණයක් ලැබිය හැකි බව සැලකිල්ලට ගනිමින් එම එන්නත්කරනණ සැලැස්ම සැකසූ බවද එම සංගමය කියයි.
තෝරාගත් ප්‍රජාවන් කිහිපයක අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයින් ඉලක්ක කර එන්නත් කිරීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය ජාතික එන්නත්කරණ සැලැස්මේ සදහන් විද්‍යාත්මක පදනමකින් එකඟ වූ ප්‍රමුඛතාවයන්ගෙන් පැහැදිලි ලෙස දුරස්වීමක් බව එම සංගමය පෙන්වා දෙයි.
මෙමගින් කොවිඩ්-19 හේතුවෙන් ඇතිවන සංකූලතා හා මරණ අවම කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගත් රටේ කොරෝනා වැළැක්වීමේ ක්‍රියාකාරකම් මුළුමණින්ම අඩපණ කරනු ඇතැයි ද එම සංගමය පවසයි.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහත දැක්වෙයි.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය විගේෂඥ වෛද්‍යවරුන්ගේ ප්‍රමුඛතම ආයතනය වන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය (CCPSL) වර්තමාන COVID-19 එන්නත් කිරීමේ වැඩසටහන මූලික විද්‍යාත්මක මූලධර්මවලට පටහැනි වීම පිළිබඳ දැඩි කණස්සල්ලට පත්වී සිටී.
කොවිඩ් 19 ඇතුළු සියළු එන්නත් මගින් නොවැළැක්වවිය හැකි රෝග සඳහා ශ්‍රී ලංකාව ක්‍රියාත්මකවීමේදී ප්‍රතිශක්තිකරණ ප්‍රතිපත්තීන් පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා දේශීයව හා ජාත්‍යන්තරව පිළිගත් ව්‍යස්ථාපිත ආයතනය වන්නේ ජාතික ප්‍රතිශක්තිකරණ තාක්ෂණික උපදේශක කණ්ඩායම(NITAG) ලෙස කටයුතු කරන බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශක කමිටුවයි (NACCD).
COVID-19 එන්නත සඳහා පිළියෙල කරන ලද ජාතික එන්නත්කරණ සැලැස්ම 2021 ජනවාරි මාසයේදී NACCD විසින් අනුමත කර ඇත. මෙම සැලැස්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින්ද අනුමත කරන ලද අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් වෙත ලබාදෙන ලදී. 2021 වසර තුළ දී ඉතාමත් සීමිත එන්නත් තොග ප්‍රමාණයක් ලැබිය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම අනුමත කරනු ලැබූ එන්නත්කරනණ සැලැස්ම මගින් එන්නත් කිරීම සදහා ප්‍රමුඛතා කණ්ඩායම් හදුනාගෙන ඇත. මෙම ප්‍රමුඛතා කණ්ඩායම් අතර ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවල සහ පොලිසියේ ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය, වයස අවුරුදු 60ට වඩා වැඩි වැඩිහිටියන්, වෙනත් රෝගාබාධ ඇති අය සහ ආර්ථික වශයෙන් වැදගත් හා අත්‍යවශ්‍ය සේවා/ආයතනවල ඉහළ අවදානම් කණ්ඩායම් ද ඇතුළත් වේ.
ලොව පුරා COVID-19 සඳහා එන්නත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන පරමාර්ථය වන්නේ සංකූලතා අවම කිරීම සහ එමගින් කොවිඩ් නිසා සිදුවන මරණ අවම කිරීමයි. ලොව පුරා මෙම වසර තුළ COVID-19 එන්නත් නිපද්‍වීම ඉතා සීමිත විය හැකි බැවින් ප්‍රමුඛ්‍තා කාණ්ඩ හඳුනා ගැනීම අතිශයින්ම වැදගත් වේ.මේ පිළිබඳ කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රතිශක්තීකරණය පිළිබඳ විගේෂඥයින්ගේ උපායමාර්ගික උපදේශක කණ්ඩායමේ එන්නත් ප්‍රමුඛතා සැලැස්ම මඟින් ඉතා පැහැදිලිව පෙන්වා දී ඇත. තවද, ඉදිරියේදී නිපදවනු ලබන එන්නත් මාත්‍රාවන් රටවල්වලට බෙදා හැරීම සදහාද තවම පැහැදිලි කාල රාමුවක් ද සකස් වී නොමැත.මේ අනුව එන්නත් කිරීම මගින් ලබාගත හැකි ප්‍රතිඵල ප්‍රශස්ත මට්ටමකට ගෙන ඒම සදහා අපට ලැබෙන එන්නත් ප්‍රමාණය වඩා ප්‍රතිඵලදායී ආකාරයෙන් භාවිතා කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වේ. එබැවින් ජාතික එන්නත්කරණ සැලැස්ම ක්‍රියාවට යෙදවීමේදී කලින් හදුනාගෙන ඇති පරිදි ප්‍රමුඛතාව ලබාදෙනු ලැබුවේ ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින්ට සහ COVID-19 වැලැක්වීමේ ක්‍රියාකාරකම්වලට සෘජුවම සම්බන්ධවූවන්ට එන්නත ලබා දීමයි. ඉතිරි ප්‍රමුඛතා කණ්ඩායම් අතර වයස අවුරුදු 60ට වැඩි අය සහ විශේෂයෙන් රට තුළ දිනපතා දරුණු රෝග හා මරණවලට ගොදුරුවන කණ්ඩායම වන බෝ නොවන රෝගවලින් පෙළෙන අය ඇතුළත් වේ.
තෝරාගත් ප්‍රජාවන් කිහිපයක අවුරුදු 30ත් 60ත් අතර පුද්ගලයින් ඉලක්ක කර එන්නත් කිරීම ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය ගත් තීරණය ජාතික එන්නත්කරණ සැලැස්මේ සදහන් විද්‍යාත්මක පදනමකින් එකග වූ ප්‍රමුඛතාවයන්ගෙන් පැහැදිලි ලෙස දුරස්වීමකි. මෙම උපායමාර්ගය සාක්ෂි පදනම් කරගත් භාවිතයක් හෝ පුළුල් මහජන සෞඛ්‍ය හා ආර්ථික ප්‍රතිඵල සලකා බැලූ මහජන සෞඛ්‍ය තීරණයක් නොවන අතර එය  COVID-19 හේතුවෙන් ඇතිවන සංකූලතා හා මරණ අවම කිරීමේ පරමාර්ථය පෙරදැරි කරගත් රටේ COVID-19 වැළැක්වීමේ ක්‍රියාකාරකම් මුළුමණින්ම අඩපණ කරවයි.
COVID-19  වසංගතය නිසා වර්තමානයේ ඇතිවී ඇති තත්ත්වය එන්නත් නිෂ්පාදනය සහ එන්නත් බෙදා හැරීම පිළිබදව දැනට ඇති කරුණු සලකා බලා බෝවන රෝග පිළිබද ජාතික උපදේශක කමිටුව ලබාදෙන උපදෙස් නොසලකා හැරීම, ඉදිරියේදී COVID-19  වසංගත තත්වය රට තුළ පාලනය කර ගැනීමට සෘජුවම බලපානු ඇත. එසේ හෙයින් වෙනත් කරුණු මත පදනම්ව තීරණ ගැනීමෙන් වැලකී, විද්‍යාත්මකව නිර්දේශිත එන්නත් ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව පමණක් එන්නත් කිරීම වහාම නැවත ක්‍රියාවට නංවන ලෙස ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය වශයෙන් අපි රජයෙන් සහ අනෙකුත් තාක්ෂණික ආයතනවලින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා ලැයිස්තුව

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමුඛතා ලැයිස්තුව සකස් කර ඇත්තේ යම් රටකට ලැබෙන එන්නත් ප්‍රමාණය සීමිත අවස්ථාවලදී භාවිත කිරීමේ ප්‍රධාන අරමුණ සහිතවයි.
සමාජ සම්ප්‍රේෂණයක් රටතුළ පවතින අවස්ථාවක එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය
අදියර
ප්‍රමුඛතා කණ්ඩායම්
අදියර 01 (ජනගහනයෙන් 1-10%කට සඳහා ඉතා සීමිත එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇති අවස්ථාවක)
1ඒ අදියර (ආරම්භය):
· වෛරසයට නිරාවරණය වීමට සහ සම්ප්‍රේෂණය වීමට වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය සේවකයින්
1බී අදියර
·එක් එක් රට/කලාපයට අදාළව වයස-අනුව වැඩි අවදානමක් සහිත වැඩිහිටියන් (නියමිත වයස් සීමා රට අනුව තීරණය කළ යුතුය)
අදියර 02 (ජනගහනයෙන් 11-20%කට සඳහා ඉතා සීමිත එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇති අවස්ථාවක)
·පළමුවැනි අදියරේදී එන්නත්කරණයට ලක් නොවූ වැඩිහිටියන්
·දරුණු රෝග හෝ මරණයට පත්වීමට සැලකිය යුතු ලෙස වැඩි අවදානමක් ඇති බවට හදුනාගත් රෝග/සෞඛ්‍ය තත්ත්වයන් සහිත කණ්ඩායම්
·දරුණු රෝග හෝ මරණයට පත්වීමට වඩා සැලකිය යුතු ඉහළ අවදානමක් ඇති සමාජ-කණ්ඩායම් (අවාසි සහගත හෝ හිංසනයට ලක්වූ ජනවාර්ගික. ආගමික කණ්ඩායම් සහ ලිංගික සුළුතරයන්; ආබාධ සහිත පුද්ගලයින්; දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව, නිවාස නොමැති අය සහ අවිධිමත් ජනාවාසවල හෝ නාගරික මුඩුක්කු නිවාසවල ජීවත් වන අය; අඩු ආදායම්ලාභී සංක්‍රමණික සේවකයින්; සරණාගතයින්, අභ්‍යන්තරව අවතැන්වූවන්, සරණාගතයින්, ගැටුම් මධ්‍යයේ ජීවත්වන ජනගහනයන් හෝ හදිසි ආපදාවලින් පීඩාවට පත් වූවන්, හදිසි අවස්ථාවන්හිදී අවදානමට ලක්විය හැකි සංක්‍රමණිකයන්; සහ ග්‍රාමීය හා දුර බැහැර ප්‍රදේශවල වැනි පහසුවෙන් ළඟා විය නොහැකි කණ්ඩායම්
·ප්‍රතිශක්තිකරණ එන්නත් බෙදාහැරීමේ නිරත සෞඛ්‍ය සේවකයින්
·ඉහළ ප්‍රමුඛතාවක් සහිත ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලය (රටේ තත්ත්වය අනුව : පෙර පාසල් හා ප්‍රාථමික පාසල් ගුරුවරුන් ඔවුන් උගන්වන දරුවන්ගේ තීරණාත්මක සංවර්ධන අවධිය නිසා, දුරස්ථ ඉගෙනීම ඉතා දුෂ්කර හෝ කළ නොහැකි දරුවන්ගේ ගුරුවරුන්).
අදියර 03 (ජනගහනයෙන් 21-50%කට සඳහා ඉතා සීමිත එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇති අවස්ථාවක)
·ඉතිරි ගුරුවරු සහ පාසල් කාර්ය මණ්ඩලය.
·සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට පිටත අත්‍යවශ්‍ය සේවකයින්(පොලිස් නිලධාරීන්, නාගරික සේවා, ළමා ආරක්ෂණ සේවා, කෘෂිකාර්මික හා ආහාර සේවාවල සේවකයින්, ප්‍රවාහන සේවකයින්, රජයේ අනිවාර්ය ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය රජයේ සේවකයින්).
·ගර්භනී කාන්තාවන් (විශේෂ උපදෙස් සහිතව)
·වෛරසයට නිරාවරණය වීමට හා සම්ප්‍රේෂණයට ඇති අවදානම අවදානම අඩු මට්ටමක පවතින සෞඛ්‍ය සේවකයින්
·එන්නත් නිෂ්පාදන සහ අනෙකුත් අවදානම් සහිත රසායනාගාර කාර්ය මණ්ඩලය
·සැලකිය යුතු ලෙස දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි වීම නිසා වෛරසයට නිරාවරණය වීමට සහ සම්ප්‍රේෂණයවීමට ඉහළ අවදානමක් ඇති සමාජ / රැකියා කණ්ඩායම් (රටේ තත්ත්වය අනුව වෙනස් විය හැකිය) රැදවුම් මධ්‍යස්ථානවල ජීවත්වන හෝ සේවය කරන පුද්ගලයින්, සිරගත කරන ලද පුද්ගලයින්, නේවාසිකාගාරවල සේවය කරන හෝ ජීවත්වන පුද්ගලයන්, අවිධිමත් ජනාවාස හෝ නාගරික මුඩුක්කුවල සේවය කරන හෝ ජීවත්වන අය; අධි-නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්; නිවාස නොමැති පුද්ගලයින්; බැරැක්ක වැනි නිල නිවාස සංකීර්ණවල ජීවත් වන ආරක්ෂක නිලධාරීන්; සහ පතල් කැණීම් සහ මස් සැකසීම වැනි ඇතැම් වෘත්තීන්හි නියුතු පුද්ගලයින්.

වරින්වර ඇතිවන හෝ පොකුරු සහිත පැතිරීමක් රටතුළ පවතින අවස්ථාවක එන්නත්කරණය සිදුකළ යුතු ආකාරය
අදියර
ප්‍රමුඛතා කණ්ඩායම්
අදියර 01 (ජනගහනයෙන් 1-10%කට සඳහා ඉතා සීමිත එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇති අවස්ථාවක)
1ඒ අදියර (ආරම්භය):
·වෛරසයට නිරාවරණය වීමට සහ සම්ප්‍රේෂණය වීමට වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය සේවකයින් (වෛරසයේ ඉහළ පැතිරීමක් සහිත  හෝ ඉදිරියේදී ඉහළ පැතිරීමක් ඇතිවනු ඇතැයි හදුනාගත් ප්‍රදේශවල)
1බී අදියර
·වෛරසයේ ඉහළ පැතිරීමක් සහිත හෝ ඉදිරියේදී ඉහළ පැතිරීමක් ඇතිවනු ඇතැයි හදුනාගත් ප්‍රදේශවල වැඩි අවදානමක් සහිත වැඩිහිටියන් (එක් එක් රට/කලාපයට අදාළව වයස අනුව – නියමිත වයස් සීමා රට අනුව තීරණය කළ යුතුය)
·වෛරසය පැතිරීමකට එරෙහිව ප්‍රතිචාර දැක්වීමට හෝ පැතිරීම අවම කිරීම සඳහා භාවිතා කිරීමට හදිසි එන්නත් සංචිතයක් පවත්වාගැනීම (උදා – අධි අවදානම් ලෙස කොරෝනා පොකුරක් ඇතිවන අවස්ථාවක භාවිත කිරීමට ).
අදියර 02 (ජනගහනයෙන් 11-20%කට සඳහා ඉතා සීමිත එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇති අවස්ථාවක)
·රටේ අනෙකුත් ප්‍රදේශවල, වෛරසයට නිරාවරණය වීමට සහ සම්ප්‍රේෂණය වීමට වැඩිම අවදානමක් ඇති සෞඛ්‍ය සේවකයින්
·රටේ අනෙකුත් ප්‍රදේශවල වැඩි අවදානමක් සහිත වැඩිහිටියන් (එක් එක් රට/කලාපයට අදාළව වයස අනුව – නියමිත වයස් සීමා රට අනුව තීරණය කළ යුතුය)
·වෛරසයේ ඉහළ පැතිරීමක් සහිත හෝ ඉදිරියේදී ඉහළ පැතිරීමක් ඇතිවනු ඇතැයි හදුනාගත් ප්‍රදේශවල දරුණු රෝග හෝ මරණයට පත්වීමට සැලකිය යුතු ලෙස වැඩි අවදානමක් ඇති බවට හදුනාගත් රෝග/සෞඛ්‍ය තත්ත්වයන් සහිත කණ්ඩායම්
·වෛරසයේ ඉහළ පැතිරීමක් සහිත හෝ ඉදිරියේදී ඉහළ පැතිරීමක් ඇතිවනු ඇතැයි හදුනාගත් ප්‍රදේශවල දරුණු රෝග හෝ මරණයට පත්වීමට වඩා සැලකිය යුතු ඉහළ අවදානමක් ඇති සමාජ-කණ්ඩායම් (අවාසි සහගත හෝ හිංසනයට ලක්වූ ජනවාර්ගික. ආගමික කණ්ඩායම් සහ ලිංගික සුළුතරයන්; ආබාධ සහිත පුද්ගලයින්; දරිද්‍රතාවයෙන් පෙළෙන ජනතාව, නිවාස නොමැති අය සහ අවිධිමත් ජනාවාසවල හෝ නාගරික මුඩුක්කු නිවාසවල ජීවත් වන අය; අඩු ආදායම්ලාභී සංක්‍රමණික සේවකයින්; සරණාගතයින්, අභ්‍යන්තරව අවතැන්වූවන්, සරණාගතයින්, ගැටුම් මධ්‍යයේ ජීවත්වන ජනගහනයන් හෝ හදිසි ආපදාවලින් පීඩාවට පත් වූවන්, හදිසි අවස්ථාවන්හිදී අවදානමට ලක්විය හැකි සංක්‍රමණිකයන්; සහ ග්‍රාමීය හා දුර බැහැර ප්‍රදේශවල වැනි පහසුවෙන් ළඟා විය නොහැකි කණ්ඩායම්)
අදියර 03 (ජනගහනයෙන් 21-50%කට සඳහා ඉතා සීමිත එන්නත් ලබා ගැනීමේ හැකියාව ඇති අවස්ථාවක)
·වෛරසයේ ඉහළ පැතිරීමක් සහිත හෝ ඉදිරියේදී ඉහළ පැතිරීමක් ඇතිවනු ඇතැයි හදුනාගත් ප්‍රදේශවල ප්‍රාථමික හා ද්විතීයික ගුරුවරුන් සහ පාසල් කාර්ය මණ්ඩලය
·වෛරසයේ ඉහළ පැතිරීමක් සහිත හෝ ඉදිරියේදී ඉහළ පැතිරීමක් ඇතිවනු ඇතැයි හදුනාගත් ප්‍රදේශවල, සෞඛ්‍ය හා අධ්‍යාපන අංශවලට පිටත අත්‍යවශ්‍ය සේවකයින්(පොලිස් නිලධාරීන්, නාගරික සේවා, ළමා ආරක්ෂණ සේවා, කෘෂිකාර්මික හා ආහාර සේවාවල සේවකයින්, ප්‍රවාහන සේවකයින්, රජයේ අනිවාර්ය ක්‍රියාකාරිත්වයට අත්‍යවශ්‍ය රජයේ සේවකයින්).
·සැලකිය යුතු ලෙස දුරස්ථභාවය පවත්වාගැනීමට නොහැකි වීම නිසා වෛරසයට නිරාවරණය වීමට සහ සම්ප්‍රේෂණයවීමට ඉහළ අවදානමක් ඇති සමාජ / රැකියා කණ්ඩායම් (රටේ තත්ත්වය අනුව වෙනස් විය හැකිය) රැදවුම් මධ්‍යස්ථානවල ජීවත්වන හෝ සේවය කරන පුද්ගලයින්, සිරගත කරන ලද පුද්ගලයින්, නේවාසිකාගාරවල සේවය කරන හෝ ජීවත්වන පුද්ගලයන්, අවිධිමත් ජනාවාස හෝ නාගරික මුඩුක්කුවල සේවය කරන හෝ ජීවත්වන අය; අධි-නාගරික ප්‍රදේශවල අඩු ආදායම්ලාභීන්; නිවාස නොමැති පුද්ගලයින්; බැරැක්ක වැනි නිල නිවාස සංකීර්ණවල ජීවත් වන ආරක්ෂක නිලධාරීන්; සහ පතල් කැණීම් සහ මස් සැකසීම වැනි ඇතැම් වෘත්තීන්හි නියුතු පුද්ගලයින්.
·වෛරසයට නිරාවරණය වීමට හා සම්ප්‍රේෂණයට ඇති අවදානම අවදානම අඩු සිට මධ්‍යම මට්ටම පවතින සෞඛ්‍ය සේවකයින්
·එක් එක් රට/කලාපයට අදාළව වයස-අනුව වෛරසය සම්ප්‍රේෂණය කිරීමේ වැඩි අවදානමක් සහිත වයස් කාණ්ඩ (නියමිත වයස් සීමා රට අනුව තීරණය කළ යුතුය)
·එන්නත් නිෂ්පාදන සහ අනෙකුත් අවදානම් සහිත රසායනාගාර කාර්ය මණ්ඩලය
·ගර්භනී කාන්තාවන් (විශේෂ උපදෙස් සහිතව)

 

ගැටළුවක් නෑ : සන්නිවේදනයේ අවුලක් – පීඑච්අයි සංගමය

වැඩි වශයෙන් කොරෝනා ආසාදිතයින් හඳුනාගැනෙන මොන කාණ්ඩයකට වුවද කොරෝනා එන්නත ලබා දීම ගැටළුවක් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එම්. බාලසූරිය මහතා පැවසීය.
ඔහු මෙසේද කීවේය.
“මුලින් යම් සැලැස්මක් තිබුණා ප්‍රමුඛතාවය සම්බන්ධයෙන්. සෞඛ්‍ය සේවකයින්ට, ආරක්ෂක සේවකයින්ට වශයෙන්. හැබැයි පහුගිය දවස්වල රටේ ඇතිවෙච්ච ආසාදිතයින්ගේ සීග්‍ර වර්ධනය නිසා ඒක වෙනස්වුණා.
ඊට හේතුව ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් වාර්තා වුණේ 30-60ත් අතර වයස් කාණ්ඩයෙන්. නමුත් මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේ වයස 60ට වැඩි පුද්ගලයන්ගෙන්. මේක තමයි හේතුව. නමුත් සැලැස්මේ සිදුවුණ වෙනස ජනතාව අතරට හරියට සන්නිවේදනය වුණේ නෑ. ඒකයි මේ අවුල. වැඩිපුර ⁣ආසාදිතයින් වාර්තා වන මොන කාණ්ඩයට වුණත් කොරෝනා එන්නත ලබාදෙන එක ගැන ප්‍රශ්නයක් නෑ”
කොරෝනා එන්නත පිළිබඳ ක්‍රියාත්මක වැඩපිළිවෙල සම්බන්ධයෙන් විමසීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සම්බන්ධ කරගැනීමට ගත් උත්සහයන් අසාර්ථක විය.

එන්නතින් සජීවි කොරෝනා වෛරසය ශරීරගත වන බවට පැතිරෙන දුර්මතයට සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පිළිතුර

” මෙහිදී සිදු කරන්නේ, ප්‍රතිශක්තීකරන පද්ධතිය අනාගතයේ දිනක වෛරසය ශරීර ගත වුවහොත් එය පහසුවෙන් හඳුනාගෙන විනාශ කිරීමට ඇති හැකියාව වර්ධනය කරවීමයි. COVID19 වෛරසය හඳුනා ගැනීමට ඇති වඩාත්ම සුදුසු ක්‍රමය එම වෛරසය මතුපිට ඇති, එයටම අවේනික වූ ප්‍රෝටීන කොටසක් (spike protein) මඟිනි.
මෙම එන්නත තුළ අන්තර්ගත වන්නේ ChAdOx1 නමැති වාහක වෛරස අණුවකි. මෙමගින් මිනිසුන් තුළ කිසිම රෝගී තත්ත්වයක් ඇතිකල නොහැකි අතර, මෙහි අන්තර්ගත DNA කොටසක් මගින් ලබාදෙන සංඥාවකට අනුව කොරෝනා වෛරසය හඳුනා ගැනීමට අදාළ ප්‍රෝටීන කොටස අප ශරීරය තුළම නිර්මාණය වේ. ඒත් සමගම ක්‍රියාත්මක වන අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් මෙම Spike protein කොටස හඳුනා ගැනීමටත් විනාශ කිරීමටත් පටන් ගැනෙනවා. මෙසේ ප්‍රෝටීන කොටස නිශේධනය කිරීම සිදු කරනු ලබන්නේ අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් spike ප්‍රෝටිනයට එරෙහිව අලුතින් නිපදවූ විශේෂිත ප්‍රතිදේහ මඟින්. මෙය නියමාකාරව සිදු වීමට සති දෙකක, තුනක පමණ කාලයක් ගතවනවා. මේ සඳහා දෙවන එන්නත් මාත්‍රාවක්ද ලබා දීමෙන් පසු මෙම ක්‍රියාවලිය යළිත් වරක් ක්‍රියාත්මකවී, ප්‍රතිදේහ විශාල ප්‍රමාණයක් අපගේ ශරීර තුළ නිර්මාණය වනවා. මෙය ශරීරය තුළ කොරෝනා වෛරසයට එරෙහිව ආයුධ ගබඩාවක් සකස් කර තැබීම වැනි ය.
සරලව කිව්වොත් මෙම ක්‍රියාවලිය අපගේ ශරීරයේ ඇති ප්‍රතිශක්තිකරණ පද්ධතිය සහ වෛරසයට සමාන ව්‍යුහමය කොටසක් අතර ඇතිවන කුඩා සටනක ස්වරූපයක් ගනී. අප බොහෝ දෙනෙක් අසා ඇති එන්නත්කරනයෙන් පසු ඇතිවන සුළු අතුරු ආබාධ වලට හේතුව වන්නේද මෙයයි. එම නිසා ඔබ ශරීරය තුල සිදුවන ප්‍රතිදේහ ජනනය කිරීමේ ක්‍රියාවලිය අසුබදායක දෙයක් ලෙස නොදැක එය එම ක්‍රියාවලියේ වැදගත් අංගයක් ලෙස හඳුනා ගැනීම ඉතා වැදගත් වේ.
මේ විදියට එන්නත් කරනයට ලක් වුනු කෙනෙකුට, අනාගතයේ දිනයක කොරෝනා වෛරසය ශරීර ගත වුවහොත්, වෛරසයට එරෙහිව ප්‍රතිදේහ තමාගේ ශරීරය තුල දැනටමත් පවතින නිසා, මෙම ප්‍රතිදේහ මගින් කොරෝනා වෛරසය මතුපිට ඇති spike ප්‍රෝටීනය ඉතා ඉක්මනින් හඳුනාගෙන මුළු වෛරසයම ඉතා ඉක්මනින් සහ පහසුවෙන් විනාශ කර දමයි.
ඔබ සන්නද්ධ වුනු මෙම නව දැනුම තවත් අය සමඟ බෙදාගෙන කොවිඩ් වසංගතය මෙරටින් තුරන් කිරීමේ කර්තව්‍යයේ කොටස්කරුවෙකු වන්න..”
Previous articleසූරියවැවේ ගොවීහු නිල දැනුම්දීමක් ඉල්ලති – කැබිනට් යෝජනාව සම්මත වෙයි – ආණ්ඩුවට පැය 24 ක් !
Next articleයෝජනා විසිකර ශ්‍රී ලංකාවට සහය දෙන්නැයි විදෙස් ඇමති ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here