කොරෝනා මරණ භුමදානය : ජනතාවගේ අයිතිවාසිකම්වලට ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් මීට වඩා ඉහළ ගෞරවයක් අවශ්‍යයි – ඇමෙරිකා තානාපතිනිය

කොරෝනා මරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ සිදුකරමින් සිටි ‘වෙනස් කොට සැලකීමේ’ ආදාහන ප්‍රතිපත්තිය අවසන් කිරීමට ගත් තීරණයෙන් රජය සහ අගමැතිවරයා පසුබසින ආකාරය දැකීමෙන් කලකිරීමට පත්වූ බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ඇලෙයිනා බී ටෙප්ලිට්ස් මහත්මිය පවසයි.
මෑතකදී මිය ගිය අයගේ ආදරණීයයන් ඇතුළු ජනතාවට ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ප්‍රජාතන්ත්‍රවාදී රජයකින් මීට වඩා ඉහළ ගෞරවයක් ලැබිය යුතු බවද ඇය සඳහන් කරන්නීය.
භුමදානය සඳහා අවසර දෙන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා පෙබරවාරි 10 වැනිදා ප්‍රකාශ කිරීමෙන් පසු එක්සත් ජනපද තානාපතිනිය ට්විටර් පණිවිඩයක් හරහා නිවේදනය කළේ කොරෝනා ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ දේහ අනිවාර්ය ආදාහනය කිරීම නවත්වමින් අගමැතිවරයා කරන ලද ප්‍රකාශය සාදරයෙන් පිළිගන්නා බවයි.
ඇය මෙසේ සඳහන් කර තිබිණි.
“කොවිඩ්-19 වින්දිතයින් අනිවාර්ය ආදාහනය අවසන් කරමින් අගමැතිවරයා නිවේදනය කළ බවට වන මාධ්‍ය වාර්තා සාදරයෙන් පිළිගන්නවා. ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය සම්මතයන්ට අනුකූලව හා ආගමික වත්පිළිවෙත් වලට ගරු කරන සංශෝධිත භාවිතයක් ක්‍රියාත්මක කිරීම ධනාත්මක ක්‍රියාවකි.”

අගමැතිගේ ප්‍රකාශය

කොවිඩ් 19 වෛරසය ආසාදිතව මිය යන පුද්ගලයන්ගේ සිරුරු භූමදානයට අවසර දෙන්නේදැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසූවේ භූමදානය සඳහා අවසර දෙන බවයි.
එස් එම් මරික්කාර් – ගරු කථානායකතුමනි අපේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිතුමිය රෝහණ බණ්ඩාර මහතාට උත්තරයක් දුන්නා වතුරෙන් කොවිඩ් හැදෙන්නේ නෑ කියලා. එහෙනම් දැන්වත් අපි අහන්න කැමතියි කථානායකතුමාගෙන් මේ භූමදානය සඳහා අවසර දෙනවද කියලා.
කථානායකවරයා – ඒක රීති ප්‍රශ්නයක් නෙවෙයි. අනවශ්‍ය ප්‍රශ්නයක් අදිනවා
මහින්ද රාජපක්ෂ – ඔබතුමා අහපු ප්‍රශ්නයට, මට කියන්න තියෙන්නේ භූමදානය කරන්න ඉඩ දෙනවා.
විද්‍යාත්මක හේතු මත පදනම්ව කෝවිඩ් සිරුරු භූමදානයට අවසර ලබාදීම සම්බන්ධයෙන් අගමැතිවරයාට ස්තුතිවන්ත වන බවද මරික්කාර් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.
කෝවිඩ් ආසාදනය වී මියගිය මුස්ලිම් ජාතිකයින්ගේ සිරුරු මේ වන විට අධි ශීතාගාර තුළ තැන්පත්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගියදා නිවේදනය කළේය. කෝවිඩ් ආසාදනය වී මිය යන පුද්ගලයින්ගේ සිරුරු ආදාහනය සහ භූමදානය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තුළ මෙන්ම ජාත්‍යන්තර වශයෙන් දැඩි කතාබහක් ඇතිවූ අතර මේ සම්බන්ධයෙන් තීරණයක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් විද්වත් කමිටුවක් පවා පත්කෙරිණි.
ජනවාරි 30 වැනිදා ඇමෙරිකා තානාපතිවරිය මෙසේ සඳහන් කළාය.
“ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ‘COVID-19 වලින් මියගිය අය භූමදාන කළ හැකියි.’ එක්සත් ජනපදය ශ්‍රී ලංකාවේ අනිවාර්ය ආදාහනය පිළිබඳ ප්‍රතිපත්තිය ගැන සිය කනස්සල්ල පළ කරන අතර ලංකාවේ විවිධ ප්‍රජාවන්ගේ සම්ප්‍රදායන්ට ගරු කරන ලෙස ඉල්ලා සිටී.”
ඇය ඉහත නිවේදනය දක්වා තිබුණේ ජනවාරි 29 – ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියා හා මධ්‍යම ආසියා කටයුතු පිළිබඳ කාර්යාංශය පළ කර තිබු නිවේදනයකට ප්‍රතිචාරයක් ලෙසයි.
එම කාර්යංශය ජනවාරි 29 වැනිදා මෙසේ නිවේදනය කර තිබිණි.
“කොවිඩ්-19 ඛේදවාචකය බොහෝ ජීවිත බිලිගෙන ඇත. අන්තර්ජාතික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ආගමික විශ්වාසයන්ට හා සංස්කෘතික සම්ප්‍රදායන්ට ගරු කරන ලෙසත් ඒවාට අනුගත වන ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමු.”
එමෙන්ම තානාපති ටෙප්ලිට්ස් මහත්මිය ජනවාරි 19 වැනිදා මෙසේ නිවේදනය කළාය.

Previous articleනුසුදුස්සන්ටත් සමෘද්ධිය ලැබෙන බවට පැමිණිලි : සමෘද්ධිලාභීන් ගැන විගණනයක් ?
Next article‘ඉරා අඳුරු පට’ වාරණය වැරදියි : වසර 12ක නඩු විභාගයකින් පසු ලැබුණු සුවිශේෂී තීන්දුවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here