හමුදාව යොදවා ඔක්කොම කරන්න හිතන්නවත් එපා : අද මාධ්‍ය නිහඬ ඇයි ? – පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

රාජ්‍ය සේවය සහ හමුදා සේවය එකට පවත්වාගෙන යා නොහැකි බවත්, එසේ සිදුකළහොත් රාජ්‍ය යන්ත්‍රණය අවුල් විය හැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
MediaLK සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ අදහස් පළකළේය.
වයස අවුරුදු 18ට වැඩි සියල්ලන්ටම හමුදා පුහුණුව ලබාදිය යුතු බව ආණ්ඩුවේ මහජන ආරක්ෂාව භාර ඇමැති සරත් වීරසේකර පැවසුවා. පරිපාලන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරුවලට ජනාධිපතිවරයා විසින් හමුදා සාමාජිකයන් පත්කරනවා. මේ තත්ත්වය සම්බන්ධයෙන් ඔබේ අදහස කුමක්ද?
රටකට හමුදාවක් අවශ්‍යයි. අපි ඒක පැහැදිලිව තේරුම් ගත යුතුයි. හමුදාවට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. ඒ තමයි රටේ ආරක්ෂාව. විධායකය සමග එකතු වෙලා එය සිදුකළ යුතුයි. එය විශේෂිතයි. ඒ නිසා හමුදාවට යන අයට විශේෂිත පුහුණුවක් ලබාදෙනවා. ඒ වගේම හමුදා ව්‍යුහය තුළ යම් හමුදා ක්‍රම විධි තිබෙනවා.
ඒ වගේම රටක රාජ්‍ය සේවයක් වගේම සිවිල් සමාජයක් සහ පුද්ගලික අංශයක් තිබෙනවා. පුද්ගලික අංශයේ කාර්යභාරය රජයටවත්, හමුදාවටවත් කරන්න බැහැ. ඒක හිතන්නවත් එපා. මොකද පුද්ගලික අංශය තමයි රටේ ආර්ථිකය ගොඩනැගීමට, ව්‍යාපාර ගොඩනැගීමට සහ අපනයන නිෂ්පාදනයට මුල්තැන ගන්නෙ. මොකද ඔවුන් තරගකාරීත්වය, අලෙවි කිරීම පිළිබඳ දේවල් වගේ විශේෂ දේවල් දන්නවා. අපි එක ක්ෂේත්‍රයක ඉද්දි අපි හිතනවා අපි හැමදේම දන්නවා කියලා. එහෙම දෙයක් නැහැ. එහෙම හිතන එකත් මෝඩයි. මෝඩ මිනිස්සු තමයි එහෙම හිතන්නෙ. මට වෛද්‍යවරයාගේ වැඩේ කරන්න බැහැනෙ. මම සමාජ විද්‍යාඥයෙක්. ආර්ථිකය මූල්‍ය පිළිබඳව දැනුමක් මට තිබෙනවා. ඒක මගෙ විෂය. කොවිඩ් අවස්ථාවෙදි අපි මුල්තැන දෙන්න ඕනෙ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය විශේෂඥයන්ට. ඔවුන්ගේ උපදෙස් මත කටයුතු කළ යුතුයි.
රටක රාජ්‍ය සේවයකුත් තිබෙනවා. ඒක මහජන සේවය කියලා කියන්න මම කැමතියි. මහජන සේවයේ ඒ අයට විශේෂ පුහුණුවක් තිබෙනවා. ඔවුන් ඉහළ අධ්‍යාපනයක් ලබාගෙන රාජ්‍ය සේවයට බැඳිලා වසර ගණනක අත්දැකීම් ලබාගත්ත අය. මේ අයටත් යම්කිසි සංස්කෘතියක් තිබෙනවා. යම් සම්ප්‍රදායක් තිබෙනවා. ඒ සම්ප්‍රදායයි, හමුදාවෙ සම්ප්‍රදායයි අතර වෙනසක් තිබෙනවා. මේ දෙක එකට දාන්න බැහැ. ඒවා හිතන්නවත් නරකයි. ඒවා වෙනස් ක්ෂේත්‍ර. අපේ රාජ්‍ය සේවය අත්‍යවශ්‍යයි. අපේ රාජ්‍ය සේවයේ දුර්වලතාවක් තිබෙනවා. ඒක අපි හදන්න අවශ්‍යයි. ඒකට අපි ආයෝජනය කළ යුතුයි. අපි කළ යුත්තේ එයයි. රට ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නෙ මේක තේරුම්ගත්තොත් විතරයි. එහෙම නැතුව මේක අනාගත්තොත් ඒක විසඳගන්න තව අවුරුදු දහයක් යයි.
ගැසට් මගින් සීනි බදු වෙනස් කර වංචාවක් සිදුකළ බවට ආණ්ඩුවට චෝදනා කරනවා. එම වංචාව සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි?
මේ තත්ත්වය මුලින්ම පැහැදිලි කරගත යුතුයි. 2017 වසරේ සිට 2020 වසර වනතුරු සීනිවලට විශේෂ භාණ්ඩ බද්දක් අය කළා. එය කිලෝවකට රුපියල් 35ක් ලෙස තිබුණේ. 2020 මැයි 21දා එය එක්වරම රුපියල් 35 සිට 50 දක්වා වැඩි කළා. දේශීය නිෂ්පාදන වැඩි කළ යුතු නිසා ආනයන අඩු කරන්න බදු වැඩි කරනවා කියලා තමයි ආණ්ඩුව එය වැඩි කළේ. පසුව ඔක්තෝබර් මාසයේ 13දා එක්වරම මේ බද්ද සත 25ට අඩු කළා. ඒ කියන්නේ බද්ද නැති කළා. ඒ වෙද්දි කොළඹ වරායේ සීනි නැවක් තිබුණා. මේ ක්‍රියාව දෙස බලද්දි මේක සැලසුම් කරලා කරපු දෙයක් බවට අනුමානයක් ඇතිවෙනවා. ඒ මොකද මේ හරහා දේශීය සීනි නිෂ්පාදනය ගැන කියපු කතාව සම්පූර්ණයෙන්ම කණපිට හැරවෙනවා. නමුත් මේ සීනි ගෙනාවේ පාරිභෝගිකයාගේ මිල අඩු කරන්න කියලා ආණ්ඩුව කිව්වා. රුපියල් 85ක උපරිම මිලක් පවා ඇති කළා. නමුත් රුපියල් 85ට කාටවත් සීනි ලැබුණේ නැහැ කියලා අපි දන්නවා.
කෝවිඩ් දෙවැනි රැල්ලේ ප්‍රශ්නයත් සමග මිනිස්සුන්ට ආහාර ද්‍රව්‍ය දෙන්න අපි ආහාර මලු හදපු නිසා මමත් ඒ බව හොඳටම දන්නවා. අඩු මිලට සීනි සතොසින් ගන්න පුළුවන් කිව්වා. නමුත් සීනී කිලෝ එකක් තමයි එහෙම ගන්න පුළුවන්. මට පවුල් 200කට ආහාර දෙන්න සීනි කිලෝ 200ක් අවශ්‍ය වුණා. ආණ්ඩුව කියපු මිලට සීනි තිබුණේ නැහැ. ඒ වෙලාවේ සීනි තිබුණේ කිලෝවක් රුපියල් 123කට වඩා ඉහළින්. ගැසට් මගින් බදු අඩු කළා නම් එහි වාසිය පාරිභෝගිකයාට ලැබෙන්න තිබුණා. නමුත් එහෙම දෙයක් සිදුවුණේ නැහැ. මේ නිසා රටේ බදු ආදායම අහිමි වුණා. මේ අහිමි වුණු බදු මුදල රුපියල් බිලියන 10කට වැඩියි. ඒක වෙනත් සමාගමක් ලබාගත්තා. ආදායම අහිමි වුණා පමණක් නෙමෙයි, පාරිභෝගිකයාට වාසිය ලැබුණෙත් නැහැ. එහෙම නම් ඇයි මේක කළේ කියන ප්‍රශ්නය ඇතිවෙනවා. මෙතැන වරදක් කළේ කවුද කියන ප්‍රශ්නය ඇතිවෙනවා.
ඒ වගේම සීනි බදු වංචා සම්බන්ධයෙන් සීනී ආනයනය කරන සමාගම් පවා එක් සමාගමකට චෝදනා කරනවා. ඔවුන් කියනවා 2020 ජනවාරි 01දා සිට ඔක්තෝබර් 13දා දක්වා අර මුලින් කියපු ගැසට් එක ගහනකම් මේ චෝදනා කරන සමාගම සීනි ආනයනය කර තිබෙන ප්‍රතිශතය සියයට 3.25ක් වගේ ප්‍රමාණයක්. නමුත් මේ ගැසට් එකෙන් පසුව මේ සමාගම සියයට 60කට වැඩි ප්‍රමාණයක් ආනයනය කරලා. අනෙක් සියලුම සමාගම් ආනයනය කරලා තියෙන්නේ සියයට 40ක් පමණයි. ගජමිතුරු සමාගම්වලට උදව් කරනවා කියන චෝදනාව මේ මගින් තහවුරු වෙනවා.
රජය උපරිම මිලක් නියම කරලා තියෙනවා නම්, ඊට ඉහළ මිල ගණන්වලට සීනි අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව වැටලීම් කරනවා හෝ නීතිය ක්‍රියාත්මක කරනවා අපි දැක්කෙ නැහැ. මිල පාලනය කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය එය නම් ඔවුන් එය කළ යුතුයි.
මෙතරම් අලාභයක් රටට සිදුවුණා නම් ඇයි මේ සම්බන්ධයෙන් විපක්ෂය නිහඬ…?
විපක්ෂය නිහඬ නැහැ. නමුත් රජයේ මාධ්‍ය, පෞද්ගලික මාධ්‍ය මේ ගැන නිහඬයි. පසුගිය ආණ්ඩුව කාලේ රජයේ සහ පෞද්ගලික මාධ්‍යයට සම්පූර්ණ නිදහස තිබුණා දූෂණය ගැන කතා කරන්න. ඔවුන් කතා කළා. බැඳුම්කරය ගැන හැමදාම කතා කළා. නමුත් අද මේවා ගැන එතරම් කතාවක් නැහැ. එහෙම වෙන්නේ ඇයි?
මාස තුනකට අඩු කරපු සීනි බද්ද ජනවාරි මාසයේදී අවසන් විය යුතුයි. නමුත් ජනවාරි 13දා එය තවත් දීර්ඝ කළා. මේ නිසා රටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමි වුණා. සාමාන්‍යයෙන් බදු මුදල් ලබාගන්නේ අධ්‍යාපනයට, සෞඛ්‍යයට සමාජ සත්කාරවලට යොදවන්නයි. ඒ දේවල් සිදුවෙන්නේ නැති වුණාම ඇති-නැති පරතරය වැඩිවීමයි සිදුවෙන්නේ. මේ සිදුවීමේ බරපතළකම අපි තේරුම්ගත යුත්තේ එලෙසයි. එහෙම නැතුව මෙය ව්‍යාපාරික කරුණක් පමණයි කියා මෙයින් ගැලවී යන්න බැහැ.
බැඳුම්කරය ගැනත් මේ ආකාරයටම චෝදනා නැගුවා. සීනි බදු වංචාව සම්බන්ධයෙන් අදාළ ආයතනවලට පැමිණිලි කරන්න කටයුතු නොකරන්නේ ඇයි?
බැඳුම්කරයේ පොළී ප්‍රතිශතය ගැනයි චෝදනාවක් ආවේ. මෙතැන තියෙන්නේ බදු ප්‍රතිශතය ගැන ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ දෙකම එකයි. බැඳුම්කරය ගැන විගණනයේදී පැවසුවේ රුපියල් බිලියන 1.7ක් රටට අහිමි වුණා කියලා. ඒ කියන්නේ රුපියල් කෝටි 1,700ක් පමණ මුදලක්. සීනිවලින් බිලියන 10කට වඩා අහිමි වුණා කියන්න අපි දන්නවා. ප්‍රමාණය විශාලයි. බැඳුම්කර බ්‍රෝකර් සමාගමේ රුපියල් බිලියන 11ක් මහ බැංකුවේ රඳවාගෙන ඉන්නවා. ඒ නිසා මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ වගේම පසුගිය අවුරුදු හතර පුරාවටම බැඳුම්කර ගැන රට වටේ කියාගෙන ගියා. නමුත් දැන් ආණ්ඩුව අරගෙන අවුරුද්දකටත් වැඩියි. බැඳුම්කර හොරුන්ට දඬුවම් දීලා නැහැනේ. ඇයි බැඳුම්කරයට වගකිවයුත්තන් අධිකරණයට ගෙනෙන්නේ නැත්තේ. ඇයි මේ අයට දඬුවම් දෙන්නෙ නැත්තේ. ආණ්ඩුව බොරුවක් කරන බව හොඳටම පැහැදිලියි.
සීනි ප්‍රශ්නය ගැන අපි කතා කළා. මම පාර්ලිමේන්තුවෙත් කතා කළා. කොහොම වුණත් දූෂණය වළක්වාගන්න නම් අපේ රටේ ක්‍රියාශීලී අධිකරණයක් වගේම ක්‍රියාශීලී මාධ්‍යයකුත් තිබිය යුතුයි කියලා මම හිතනවා. ඒ වගේම සීනි බදු වංචාව ගැන අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට වගේම පැමිණිලි කළ යුතු තැන්වලට අපි පැමිණිලි කරනවා. පාර්ලිමේන්තු ක්‍රමවේදය තුළ මේ ගැන හොයලා බලන්න පුළුවන් ක්‍රමවේදයක් හොයනවා. මොකද ජනාධිපති කොමිෂන් සභා ගැන අපිට විශ්වාස නැහැ. දේශපාලන අරමුණු අනුවයි එය සිදුවෙන්නේ.
අවස්ථා කිහිපයකදිම රට ග්‍රේණිගත කිරීම්වලින් පහළට වැටුණා. රටේ ආර්ථිකයට මෙය බලපාන්නේ කෙසේද?
ආර්ථික වශයෙන් රටේ ශ්‍රේණිගත කිරීම් පහළ වැටීම සම්බන්ධයෙන් රජය ප්‍රතිචාර දක්වලා තිබෙන්නේ එය එතරම් ගණන්ගත යුත්තක් නොවන බවක් කියන්නාක් වගෙයි. කොහොම වුණත් මේ පහළ වැටීම් රටට බලපානවා. ඒ වගේම ණය ගද්දි වැඩි පොළී ප්‍රතිශතයක් ගෙවන්න වෙනවා.
දැන් දේශීය ආර්ථිකයක් ගැන කතා කරගෙන යනවා. මට නම් කියන්න තියෙන්නේ මේවා වචන විතරයි කියලා. මොකද අපේ ආණ්ඩුව කාලෙත් දේශීය ආර්ථිකය නගාසිටුවන්න අපි කටයුතු කළා. කෘෂිකර්මාන්තයට, ඇඟලුම් කර්මාන්තයට වගේම තොරතුරු තාක්ෂණයට අපි විශාල වශයෙන් මුල්තැන දී කටයුතු කළා. තොරතුරු තාක්ෂණය නිසා ලංකාව ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් හොයනවා. ආර්ථිකය හැදිය යුත්තේ ඔළුවෙන්. අපි ආනයනය සීමා කළත් අනෙක් රටවල් අපේ අපනයන ගනීවිද? නැහැ. අපි මේවා තේරුමක් ඇතුව කළ යුතුයි. ලෝක වෙළෙඳ සංගමයේ ගිවිසුම් තියෙනවා. ලංකාවත් ඒ ගිවිසුම්වල කොටස්කරුවෙක්. මේ රජය ආර්ථික ප්‍රශ්න විසඳන්න හදන්නේ කතාවෙන්. අලුත් ජනාධිපතිතුමා පත්වුණු දවසේ ඉඳන් විරැකියාව ලක්ෂ ගණන්වලින් ඉහළ ගිහින් තියෙනවා. රැකියාවක් තිබුණත්, ආදායම පහළ ගිහින්. දළ දේශීය නිෂ්පාදනය සෘණ වෙලා. රට අගාධයකට යමින් තියෙනවා.
Previous articleනීතිඥ හිජාස් හිස්බුල්ලා නඩුව : මහේස්ත්‍රාත්වරයාගෙන් ⁣ඓතිහාසික නියෝගයක්
Next articleනැගෙනහිර ජැටියේ ඉතුරු සියයට 51 කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමේ යෝජනාවක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here