ගොවීන් අතර ගැටුමක් ඇතිකිරීමේ සැලැස්මක් : උපවාසය ආණ්ඩු විරෝධීයි – පොරොන්දු දුන් චමල්ම කියලා !

ඡායාරූපය - නුවන් ජයසේකර
සූරියවැව ගොවීන් අතර ගැටුමක් ඇති කිරීමට ආණ්ඩුව පාර්ශ්වයෙන් උත්සාහ දරමින් සිටින බව සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති මහන්ද සමරවික්‍රම අද (25) වල්සපුගල වැව් කණ්ඩිය මත සත්‍යග්‍රහය පැවැත්වෙන ස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ගොවීන්ගේ මාරාන්තික උපවාසය සහ සත්‍යග්‍රහය මෙහෙයවන්නේ රාජ්‍ය නොවන සංවිධාන සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ බවට මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ විසින් ද හම්බන්තොටදී පවසා ඇති බවද සඳහන් කළ සභාපතිවරයා, ගොවීන් සහ අනවසර වගාකරුවන් අතර ගැටුමක් ඇති කර, අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ප්‍රමාද කිරීමේ උත්සාහයක ක්‍රියාත්මකව තිබෙන බවද මෙහිදී අවධාරණය කළේය. අනවසර වගාකරුවන්ගේ ආදායම් මාර්ග අහිමිකිරීම සඳහා සත්‍යග්‍රහයේ යෙදී සිටින පිරිස කටයුතු කරන බවත්, තමන්ගේ වගාබිම් ආරක්ෂා කර ගැනීමට නම් ඒ වෙනුවෙන් කටයුතු කරන ලෙසත් ආණ්ඩුවේ නියෝජිතයන් අදාළ වගාබිම් හිමිකරුවන්ට දැනුම් දී ඇති බවත් සඳහන් කළ සභාපතිවරයා, මේ සත්‍යග්‍රහය සහ මාරාන්තික උපවාසය ආණ්ඩු විරෝධී ක්‍රියාවක් බවට ආණ්ඩුවේ පාක්ෂිකයන් අතර මතයක් ඇති කරමින් සිටින බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

නවත්වන්නේ නෑ

ගොවීන්ගේ ඇත්ත අවශ්‍යතාවක් වෙනුවෙන් සිදුකරන මේ සත්‍යග්‍රහය පොරොන්දුව ඉටුකරන තෙක් දිගටම පවත්වාගෙන යන බවට මෙහිදී ගොවි සංවිධාන නියෝජිතයෝ ප්‍රතිඥා දුන්හ.
පසුගිය 18 වැනිදා සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී ආරම්භ කෙරුණු සත්‍යග්‍රහය, 20 වැනිදා මාරාන්තික උපවාසයක් බවට පරිවර්තනය කෙරිණි. මාරාන්තික උපවාසය ක්‍රියාත්මක කළ තුන්වැනි දිනයේදී ඊට වාඩි වී සිටි ගොවීන් දෙදෙනෙකු රෝහල්ගත කෙරිණි. ඉන්පසු පසුගිය 23දා අදාළ අලි කළමනාකරණ රක්ෂිතයට අයත් වන භූමියෙන් වැඩි ප්‍රමාණයක් අයත් වන මහවැලි විෂය භාර ඇමැති චමල් රාජපක්ෂ එහි පැමිණි අතර, ඇමැතිවරයා විසින් අදාළ රක්ෂිතය මාසයක් තුළ ගැසට් කිරීමට පොරොන්දු විය. ඉන්පසු ගොවීන් මාරාන්තික උපවාසය අත්හරින ලද අතර, පොරොන්දුව ඉටුකරන තෙක් සත්‍යග්‍රහය පවත්වාගෙන යෑමට තීරණය කෙරිණි.

අපි මේක අත්හැරලා හිටියෙ නෑ

මෙහිදී ගොවීන් සමග අදහස් දක්වමින් චමල් රාජපක්ෂ ඇමැතිවරයා මෙසේ පැවසීය.
‘මේක තමයි ලංකාවෙ පළමු අලි කළමනාකරණ රක්ෂිතය විදිහට ගැසට්වෙන්න යන්නෙ. ඒක නියමිත පරිදි නිසි ක්‍රමයකට සිදුකළ යුතුයි. මේක තමයි ඊටපස්සෙ රට පුරා ආදර්ශයක් විදිහට ගන්නෙ. මේ සඳහා යම් කාලයක් අවශ්‍යයි. ඒ නිසා දැනට තිබෙන අලි වැට හමුදාව, විශේෂ කාර්ය බලකාය හා සිවිල් ආරක්ෂක නිලධාරීන් මගින් කඩිනමින් ශක්තිමත් කරලා, ගම්වල සිටින වන අලි ටික මේකට තල්ලු කර දමන්න පළමුවෙන්ම කටයුතු කරන්න ඔ්නෙ. මේ රක්ෂිතය ගැසට් කරනවා කියන්නෙ එකසැරේටම මට අත්සන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේකට අදාළ නීති රෙගුලාසි හදලා, ඒවා නීතිපති දෙපාර්තමේන්තුවට යවන්න ඕනෙ. එතැන කාලසීමාව කොච්චර යනවද කියලා අපිට තීරණය කරන්න බෑ. අපි මේ වැඩේ නවත්තලා හිටියෙ නෑ. අපි ආණ්ඩුවක් විදිහට මීට අදාළ කටයුතු කරමින් හිටියෙ. මේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීමට අවශ්‍ය කටයුතු මාසයක් තුළ නිමකරලා, ඒකෙ පිටපතක් මේ අයටත් ලැබෙන්න කටයුතු කරන්නම්. එතෙක් මේ මාරාන්තික උපවාසය නතර කරන්න.’
Previous articleමාතර පොලිසියට එරෙහිව ජනපතිට පැමිණිල්ලක් : අපි එහෙම කරලා නෑ – පොලිස් ස්ථානාධිපති
Next articleඑක්නැලිගොඩ අතුරුදන් කර වසර 11ක් : www.ekneligodaforum.org එයි !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here