චමල් මාසයක් කල් ඉල්ලයි : සූරියවැව මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හරී !

මහවැලි විෂය භාර කැබිනට් ඇමැති චමල් රාජපක්ෂ විසින් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය මාසයක කාලයක් තුළ ගැසට් කරනු ලබන  බවට පොරොන්දු වීමෙන් පසු මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැරීමට ගොවීහු තීරණය කළහ.

පොරොන්දුව ලිඛිතව නෑ

ගැසට් කිරීමට අවශ්‍ය නීති කටයුතු සිදුකිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බවත්, එම නිසා මාසයක් තුළ එය අනිවාර්යෙන්ම සිදුකරන බවත් මාරාන්තික උපවාසය පැවැති සූරියවැව, වල්සපුගල වැව්කණ්ඩිය මතට පැමිණි ඇමැතිවරයා පොරොන්දු විය. කෙසේ වෙතත් එය ලිඛිතව ලබාදෙන ලෙස ගොවීන් කරන ලද ඉල්ලීම ඉටු වූයේ නැත. එහිදී ඇමැතිවරයා සමග පැමිණි භික්ෂූන් වහන්සේ පිරිසක් පොරොන්දු වී ඇත්තේ තමන් ඊට වගකියන බවටයි. මාසයක් තුළ අදාළ කටයුතු සිදු නොවුවහොත් තමන් වහන්සේලා ද පැමිණි සත්‍යග්‍රහයට වාඩි වන බව එහිදී අදාළ භික්ෂූන් වහන්සේලා පැවසූහ.

සත්‍යග්‍රහය අඛණ්ඩව

ඒ අනුව මාරාන්තික උපවාසය තාවකාලිකව අත්හැරීමට සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය තීරණය කළ අතර, පොරොන්දුව ඉටු කරන තුරු සත්‍යග්‍රහය අඛණ්ඩව පවත්වාගෙන යෑමටද තීරණය කෙරිණි. මාරාන්තික උපවාසයේ සිටි ගොවීන් දෙදෙනෙකු ඊයේ (22) සූරියවැව රෝහලට ඇතුළත් කෙරුණු අතර, අද (23) උදෑසන වන විට ගොවි සංවිධානයේ සභාපති මහින්ද සමරවික්‍රම ද දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටියේය.

දින 8 මාසයක් දක්වා කල් යයි

හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් සූරියවැව අලි කළමනාකරණ රක්ෂිතය වහාම ගැසට් කරන ලෙසත්, රක්ෂිතයට අදාළ භූමිය බලහත්කාරයෙන් පවරාගෙන සිටින දේශපාලනඥයන්ගේ හිතවතුන් ඉවත් කරන ලෙසත් බලකරමින් සූරියවැව, වල්සපුගල වැව් කණ්ඩිය මතදී මේ මාරාන්තික උපවාසය ආරම්භ කෙරුණේ පසුගිය 20 දා උදෑසන ය. ඊට පෙර 18දා උදෑසන සිට මෙහි සත්‍යග්‍රහයක් පැවතිණි. ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ ගැටළුවට විසඳුම් ලබාදීම සදහා මීට පෙර ලබන 28 දක්වා කල් ඉල්ලා තිබිණි. ඒ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා විසින් ය. ඒ අතර ආණ්ඩුවට හිතවත් පාර්ශ්ව පැමිණ උපවාසය කඩාකප්පල් කිරීමට උත්සාහ දරන ලද අතර, ඇමැතිවරයා පැමිණි අද දිනයේද ඔවුහු එහි පැමිණ සිටියහ. කෙසේ වෙතත් ඊයේ දිනයේ අදාළ අනවසර වගාබිම් කිහිපයක් ඩෝසර් කිරීමට තීරණය කර තිබුණද, කුඩා කොටසක් පමණක් එසේ ඩෝසර් කෙරිණි.

අනවසර වගා රැසක්

සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානය පෙන්වා දෙන්නේ මේ වනවිට අදාළ රක්ෂිතයට යෝජිත භූමියෙන් අක්කර 100, 150 සහ 250 වැනි භුමි කොටස් දේශපාලනඥයන්ගේ හිතවතුන් විසින් වෙන්කරගෙන සිටින බවයි. අන්දරවැව, උස්ගල ප්‍රදේශයේ මේ ආකාරයට ඉහළ පොලිස් නිලධාරියෙකු, පළාත් සභා ඇමැතිවරයෙකු ඇතුළු පිරිසක් ද ඉඩම් වෙන්කරගෙන ඇතැයි පෙන්වා දෙන එම ගොවි සංවිධානය, මහවැලි අධිකාරිය හරහා මේ ඉඩම්වලට කඩිනමින් ඔප්පු ලබාගැනීමට ඔවුන් උත්සාහ දරමින් සිටින බව ද අවධාරණය කරයි. මේ සම්බන්ධයෙන් විමසීමේදී මහවැලි විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත් පැවසුවේ මෙතෙක් අදාළ කලාපයෙන් කිසිවකුට ඉඩම් ලබාදීමක් සිදු කර නැති බවයි. ඇමැතිවරයා එසේ පැවසුවද, ගොවි සංවිධාන නියෝජිතයන් පෙන්වා දෙන්නේ මේ වනවිටත් අදාළ ඉඩම් කොටස්වල විවිධ වාණිජ වගා ආරම්භ කිරීමට අවශ්‍ය මූලික කටයුතු සිදුවෙමින් පවතින බවයි.

චමල්ගේ පෙර තීන්දුව

කෙසේ වෙතත් මීට පෙර සූරියවැව ඒකාබද්ධ ගොවි සංවිධානයේ නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවකදී චමල් රාජපක්ෂ ඇමැතිවරයා අවධාරණය කර තිබුණේ මේ භූමිය රක්ෂිතය සඳහා නිදහස් කළ නොහැකි බවයි. ඇමැතිවරයා මෙහිදී පෙන්වා දී තිබුණේ අදාළ භුමිය වගා කටයුතු සහ ආයෝජන කටයුතු සඳහා භාවිත කිරීම වඩා වැදගත් වන බව ය. රක්ෂිතය ලෙස ගැසට් කිරීමට යෝජිත මේ භූමියෙන් විශාල ප්‍රදේශයක් අයත්වන්නේ මහවැලි ව්‍යාපාරයට අයත් වලව කලාපයටයි.

25,000 ක් ද, 5,500ක් ද?

මේ කලාපයේ අලින් 466 දෙනෙකු සිටින බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව තහවුරු කරන අතර, යෝජිත රක්ෂිතය සඳහා හෙක්ටයාර් 25,000ක භූමි ප්‍රමාණයක් නිර්දේශ කර තිබිණි. කෙසේ වෙතත් මහවැලි විෂය භාර රාජ්‍ය ඇමැති සිරිපාල ගම්ලත්ගෙන් මේ සම්බන්ධයෙන් මීට පෙර කළ විමසීමකදී ඔහු පැවසුවේ අදාළ රක්ෂිතය සඳහා හෙක්ටයාර් 5,500ක් ලබාදීමට අදාළ සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවයි. අදාළ කලාපයට හෙක්ටයාර් 8,500ක් අයත් වන බවත්, එයින් හෙක්ටයාර් 3,000ක් ආයෝජන ව්‍යාපෘති සඳහා මහවැලි අධිකාරිය සතුව තබාගෙන, ඉතිරි ප්‍රමාණය අලි කළමනාකරණ රක්ෂිතයට නිදහස් කිරීමට‌ අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මත්තල ගුවන්තොටුපොළ සහ හම්බන්තොට වරාය ආශ්‍රිතව කර්මාන්ත පුරයක් සහ ආයෝජන කලාපයක් පිහිටුවීම ආණ්ඩුවේ සැලසුම් බවත්, පරිසරය සුරක්ෂිත කරගනිමින් අදාළ සංවර්ධන කටයුතුද අනිවාර්යෙන්ම සිදු කළ යුතු බවත් පෙන්වා දුන් ඇමැතිවරයා, මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් කඩිනමින් ගන්නා බව ද අප කළ විමසීමේදී පැවසීය.
Previous articleමාරාන්තික උපවාසයට සහය දක්වමින් සූරියවැවේ උද්ඝෝෂණයක් !
Next articleසෞභාග්‍යයේ දැක්මට යට වූ හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතයේ ඉඩම් බිස්නස් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here