Home විනිවිද විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

0
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සලකන නීතියක් ?

(ශාලික විමලසේන)

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් 2004 වසරේදී සකස් කොට, 2014 වසරේදී යළිත් සංශෝධනය කරන ලද නව කෙටුම්පත, වසර ගණනාවක් තිස්සේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හිර වී තිබීම නිසා ඔවුහු බරපතළ දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටිති.

2020 මුලදී දුන් පොරොන්දුව

මේ සම්බන්ධයෙන් විමසීමේදී සමාජ සේවා විෂය භාර රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ MediaLK වෙත පැවසුවේ කඩිනමින් එහි කටයුතු අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි. එහෙත් අවසාන කෙටුම්පත සකස් කිරීමෙන් පසුවත්, ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව ඊට තවත් කරුණු එකතු කිරීමට අවශ්‍ය බව පැවසීම නිසා මේ ප්‍රමාදය ඇති වී තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙම විෂය භාර කැබිනට් ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ය. මේ වසරේ පෙබරවාරි 07 වැනිදා අදාළ කෙටුම්පත පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් එවකට විෂය භාර ඇමැති ධුරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි පවසා තිබුණේ 2020 වසර අවසන් වීමට පෙර මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවයි. එමගින් ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සියල්ල සුරක්ෂිත වනු ඇතැයි ද ඇමැතිවරිය එහිදී පවසා තිබිණි.

ආණ්ඩුවේ මූලිකත්වයේ වෙනස

පනත් කෙටුම්පතේ මෙම ප්‍රමාදය පිළිබඳව MediaLK වෙත අදහස් දක්වමින් ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාවේ සාමාජික සහ එහි නීති උපදේශක, නීතිඥ ආර්.එම්.එච්.පී.ගුණරත්න පැවසුවේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට ආණ්ඩුව විසින් වරින්වර ලබාදෙන මූලිකත්වය පිළිබඳ උපදෙස් අනුගමනය කිරීමට සිදු වී ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වැනි මූලික කරුණු නිසා විශේෂ අවශ්‍යතා සහිත ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති මෙම කෙටුම්පත, පනත් කෙටුම්පතක් ලෙස සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම දිනෙන්-දින ප්‍රමාද වන බව ද ඔහු සඳහන් කළේය.

වර්තමානයේ මෙම විෂය භාර රාජ්‍ය ඇමැතිවරයා විසින් පැවසූ ජාතික සභාවේ ප්‍රමාදය සම්බන්ධයෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එහි ද සත්‍යතාවක් ඇති බවයි. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් නියෝජනය කරන සංගම් 40 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවත්, ඒවා නියෝජනය කරන විවිධ කණ්ඩායම් විවිධ අදහස් දැරීම නිසා කෙටුම්පතේ ප්‍රමාදයට තමන් ද නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිත ජනතාවගේ පාර්ශ්වයෙන් ද බලපෑමක් සිදු වී ඇති බව ඔහු අවධාරණය කරයි.

ලක්ෂ 17 ක් ගැන වාර්තා නෑ

මෙරට ජනගහනයෙන් ලක්ෂ 17 කට අධික සංඛ්‍යාවක් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බව සමාජ සේවා දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. එහෙත් මීට අදාළ විධිමත් සංගණනයක් මෙතෙක් සිදු වී නැති අතර, සමස්ත විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩි විය හැකි බව සමාජ විද්‍යා පර්යේෂකයෝ පෙන්වා දෙති. මෙම ජනතාවගේ සුබසාධනය සඳහා මැදිහත්වීම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වගකීමක් ලෙස සඳහන් කර තිබුණද, ජනතාවට වගකියන ප්‍රදේශයේ නිල රාජ්‍ය ආයතනය ලෙස එමගින් අදාළ වගකීම ඉටු නොවීම බරපතළ තත්ත්වයක් බව ද ඔවුහු සඳහන් කරති.

විශේෂයෙන්ම කොවිඩ් 19 වසංගත තත්ත්වය යටතේ විශේෂ අවශ්‍යතා සහිත ජනතාවට කිසිදු පහසුකමක් නොලැබීමට මෙන්ම කනගාටුදායක ලෙස මේ කාලයේදී ඔවුන්ගේ අසනීප තත්ත්වයන් වැඩිවීමට ද එය හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිනියක සඳහන් කළේ තමන් හැකි උපරිමයෙන් මෙම ජනතාව වෙනුවෙන් මැදිහත් වුවද, ප්‍රාදේශීය ලේකම් කාර්යාල සම්බන්ධීකරණයේදී ගැටළු මතු වන බවයි. ඇතැම් සමාජ සේවා නිලධාරීන් තම වගකීම පැහැර හරිමින් වෙනත් රාජකාරි සඳහා යොදවා තිබීම ද වසංගත තත්ත්වය තුළ ගැටළු මතු කළ බව එම නිලධාරිනිය සඳහන් කළාය.

වසර 24 ක ප්‍රමාදයක්

1996 අංක 28 දරන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනතේ 37 වැනි වගන්තියට අනුව ආබාධ සහිත පුද්ගලයා මෙසේ හඳුන්වා ඇත. ‘සහජයෙන්ම ඇති වූ හෝ එසේ නොවූ, ශාරීරික හෝ මානසික හැකියාවන්වල ඌණතාවයක ප්‍රතිඵලයක් වශයෙන් තමන්ගේ අවශ්‍යතා / ක්‍රියාකාරකම් තමන් වෙනුවෙන් හෝ තමන් සඳහා කරගත නොහැකි පුද්ගලයා ආබාධ සහිත අයෙකි.’

එහෙත් මෙම පනත අසම්පූර්ණ බව 2001 වසරේ සිට ම අවධානයට යොමු වූ කරුණකි. මෙමගින් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ප්‍රතිපාදන සකස් කර නැත. මේ නිසා 2001 වසරේදී සමාජ සුබසාධන විෂය භාරව සිටි රවීන්ද්‍ර සමරවීර ඇමැතිවරයාගේ යෝජනාවකට අනුව නව කෙටුම්පතක් පිළිබඳ යෝජනා ලබාගැනිණි. මෙම යෝජනා අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් වෙනම අධිකාරියක් පිහිටුවීම මෙන්ම ඔවුන්ගේ ගැටළු පිළිබඳ විමර්ශනයට කොමිෂන් සභාවක් පිහිටුවීම ද විය. මේ යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු සකස් කළ අවසාන කෙටුම්පතක් 2004 වසරේදී සකස් කෙරුණද, එය ද නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ හිර විය. ඉන්පසු 2012 වසරේදී විෂය භාර ඇමැතිවරයා වූ ෆීලික්ස් පෙරේරාගේ උපදෙස් මත නව කෙටුම්පතක් සකස් කෙරිණි. මේ අනුව වසර 24 ක් තිස්සේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් විධිමත් නීතිමය ප්‍රතිපාදනයක් සකස් කර ගැනීමට හැකියාවක් ලැබී නැත.

එකම ජයග්‍රහණය

ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ලේකම් කුලරත්න එදිරිසිංහ අවධාරණය කරන්නේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වෙනස් කොට සැලකීමේ ප්‍රමාණය කොතෙක්ද යන්න මෙම කෙටුම්පත සකස් කිරීම ප්‍රමාද කිරීමෙන්ම පැහැදිලි වන බවයි. රටේ සමස්ත ජනගහනයෙන් ලක්ෂ 17 කට බලපාන මෙම ගැටළුව පිළිබඳව පැවැති සහ පවතින සියලු ආණ්ඩු අඩු සැලකිල්ලක් දැක්වූ බව ද පෙන්වා දෙන ලේකම්වරයා, පසුගිය කාලයේදී ලබාගත් එකම ජයග්‍රහණය වූයේ මෙම ජනතාවට ලබාදෙන මාසික දීමනාව රුපියල් 3,000 සිට 5,000 දක්වා වැඩිකර ගැනීම පමණක් බව ද සඳහන් කළේය. එහෙත් ඖෂධ වියදම් ඇතුළු මූලික අවශ්‍යතා පිළිබඳව පමණක් සැලකූ විට පවා එම මුදල කොතරම් ප්‍රමාණවත් ද යන්න ගැටළුවක් බව ද ඔහු MediaLK වෙත අදහස් දක්වමින් පැවසීය.

සමාජ සේවා දෙපාර්තමේන්තුව හරහා රජය විසින් ලබාදෙන අදාළ රුපියල් 5,000 මාසික දීමනාව මේ වනවිට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් 72,000 කට ආසන්න පිරිසකට හිමි වේ. එහෙත් ලක්ෂ 17 ක ජනතාවක් අතරින් මේ 72,000 ක පිරිස තෝරාගෙන ඇත්තේ කෙසේද යන්න පිළිබඳව නිශ්චිත තොරතුරු කිසිදු රාජ්‍ය ආයතනයක නැත. මේ සම්බන්ධයෙන් විමසීමේදී ඉහත අදහස් පළකළ සමාජ සේවා දෙපාර්තමේන්තු නිලධාරිනිය සඳහන් කළේ රජයෙන් ලැබෙන මුදල් ප්‍රමාණය මත මේ සංඛ්‍යාව තීරණය කර ඇති බවයි. එම ප්‍රමාණය වැඩි කිරීමේ කිසිදු හැකියාවක් නැති බවත්, මාසික දීමනා හිමි යම් පුද්ගලයෙකු මියගිය බව තහවුරු වූ විට පමණක්, වෙනත් අයෙකුට එම අවස්ථාව හිමිවන බවත් ඇය පෙන්වා දුන්නාය.

දවසකට රුපියල් 50 ක් පමණයි

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත පාසල්වල නේවාසිකව අධ්‍යාපනය ලබන ළමුන් වෙනුවෙන් දිනකට ගෙවනු ලබන මුදල රුපියල් 50 ක් පමණි. රජයේ නිර්ණායකවලට අනුව එම රුපියල් 50 ක මුදලෙන් ළමයකුගේ දිනක අවශ්‍යතා සපුරාගත යුතුය. එය කිසිසේත්ම කළ නොහැකි කාර්යයක් වන නිසා පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන් මෙම පාසල්වල දෛනික කටයුතු පවත්වාගෙන යන බව අනුරාධපුරයේ පිහිටි රියන්සි අලගියවන්න විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ පාසලේ හිටපු විදුහල්පති (විශ්‍රාමික) බී.ආනන්ද සෙනෙවිරත්න MediaLK වෙත පැවසීය.

මෙම මුදල රුපියල් 100 ක් දක්වා හෝ වැඩි කරන ලෙස ඉල්ලා සිටියද ඊට පිළිතුරක් නොලැබුණු බව සඳහන් කළ හිටපු විදුහල්පතිවරයා, 2016 අයවැය යෝජනා මගින් රුපියල් 150 ක් මෙම සිසුවකුට ලබාදීමට යෝජනා-සම්මත වූ බව ද පෙන්වා දුන්නේය. එසේ යෝජනා-සම්මත වුවද මෙතෙක් එය ක්‍රියාත්මක වී නැත. හිටපු විදුහල්පතිවරයා අවධාරණය කරන්නේ මෙම මුදල ද ලබාදෙනු ලබන්නේ පැමිණීමේ දීමනාවක් ලෙස බවයි. ඒ අනුව නොපැමිණි දින වෙනුවෙන් සිසුන්ට එම රුපියල් 50 හෝ ලැබෙන්නේ නැත. රට පුරා මෙවැනි පාසල් 28 ක පමණ, විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 3,200 කට වැඩි පිරිසක් අධ්‍යාපනය ලබමින් සිටී. එහෙත් මෙම කිසිදු පාසලක් රජය යටතේ පාලනය වන්නේ නැත. ඊට හේතුව මෙම පාසල් තවදුරටත් උපකෘත පාඨශාලා පනත යටතේ පාලනය වීම ය. 1948 ට පෙර යුගයේදී මෙරට අධ්‍යාපනය ක්‍රියාත්මක වූ මිෂනාරි පාසල් පැවතියේ මෙම පනත යටතේ ය. ඉන්පසු පිරිවෙන් ඇතුළු ආගමික පාසල් සහ අනෙකුත් බොහෝ අධ්‍යාපන මධ්‍යස්ථාන මේ පනතින් ඉවත් කොට රජයේ පූර්ණ පාලනය යටතට හෝ අර්ධ පාලනය යටතට පත් කෙරිණි. එහෙත් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා වූ පාසල් තවමත් පාලනය වන්නේ අදාළ පනත මගින් වන නිසා, රජයට ඒවා පිළිබඳ වගකීමක් නැති බව ද විශ්‍රාමික විදුහල්පති සෙනෙවිරත්න පෙන්වා දෙයි.

ජාතික සභාවට ඇමැතිවරුන්ගේ නොසැලකිල්ල

1996 අංක 28 දරන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනත මගින් ඒ වෙනුවෙන් පිහිටවූ ආයතනය වන්නේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන ජාතික සභාව ය. මෙම ජාතික සභාව මගින් ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ඒ යටතේ ක්‍රියාත්මක ලේකම් කාර්යාලයක් ද පිහිටුවා තිබේ. අදාළ විෂය භාර ඇමැතිවරයා එම ජාතික සභාවේ සභාපතිවරයා විය යුතු බවත්, සභාපතිවරයා විසින් පත්කරනු ලබන සාමාජිකයන් 11 දෙනෙකු සහ විවිධ ක්ෂේත්‍රවලින් මෙන්ම පළාත් සභා සහ පළාත්පාලන ආයතන මට්ටමින් පත්කෙරෙන සාමාජිකයන් 9 දෙනෙකුගෙන් මෙම සභාව සමන්විත වන බවත් පනතේ සඳහන් ය. විෂය භාර ඇමැතිවරයාගේ උපදෙස් මත මේ සියලු සාමාජිකයන්ට විධිමත් ලෙස ගෙවීම් සිදු කළ යුතු බව ද එහි දක්වා ඇත. එනම් මෙය ගරු සේවයක් නොවන අතර, රාජකාරියකි. සභාව මාසිකව රැස්විය යුතු බව ද එහි වැඩිදුරටත් සඳහන් ය.

එහෙත් විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් වෙනුවෙන් තීරණ ගත යුතු මෙම සභාව විධිමත්ව රැස්නොවීම බරපතළ ගැටළුවකි. 2019 වසරේදී අදාළ විෂය භාරව සිටි දයා ගමගේ ඇමැතිවරයාගේ මූලිකත්වයෙන් මෙම සභාව රැස්වී ඇත්තේ එක් වරක් පමණි. ඒ 2019 පෙබරවාරි මාසයේදී ය. එම රැස්වීමට ද හේතු වී ඇත්තේ එවකට පැවැති පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව මගින් 2019 ජනවාරි මාසයේදී කරන ලද විමසීමකි. සමජ සේවා විෂයට අදාළ ව රජයේ මුදල් භාවිත කරන මෙම ජාතික සභාව පොදු ව්‍යාපාර පිළිබඳ කාරකසභාව හෙවත් කෝප් කමිටුව ඉදිරියට කැඳවා ඇති අතර, එහිදී හෙළි වී තිබුණේ ඇමැතිවරයා අදාළ සභාව රැස්කිරීමේ වගකීම ඉටු නොකරන බවයි. කෙසේ වෙතත් පෙබරවාරි මාසයෙන් පසුව ද ජාතික සභාව රැස්කිරීමට විෂය භාර ඇමැතිවරයා කටයුතු කර තිබුණේ නැත.

වසංගතය හේතුව කරගනී

අදාළ ජාතික සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය වසර තුනකින් අවසන් වන අතර, ඊට අලුතින් සාමාජිකයන් පත්කිරීම සිදු කළ යුත්තේ විෂය භාර ඇමැතිවරයාගේ නම් කිරීමෙන් පසු, ජනාධිපතිවරයා විසින් ය. ඒ අනුව 2020 පෙබරවාරි මාසයේදී ජාතික සභාවේ සාමාජිකයන්ගේ ධුර කාලය අහෝසි විය. ඉන්පසු ඊට නව සාමාජිකයන් පත්කෙරුණු අතර, එම නව සාමාජිකයන් ද මේ වසරට රැස් වී ඇත්තේ එක්වරක් පමණි. වර්තමාන විෂය භාර රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහගෙන් ඒ පිළිබඳව කරන ලද විමසීමේදී ඔහු පැවසුවේ කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා එහි ප්‍රමාදයක් සිදු වූ බවයි. අදාළ සභාව නියෝජනය කරන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව මෙවැනි වසංගත තත්ත්වයකදී සංකීර්ණ කරුණක් වන නිසා සභාව රැස්කිරීමේ ගැටළු තිබූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

වැඩිදුරටත් අප කළ විමසීමට පිළිතුරු දෙමින් ඇමැතිවරයා පැවසුවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් තමන්ට හැකි උපරිමයෙන් මැදිහත් වන බවයි. එසේම පැරණි පනතට අනුව සහ භාවිතයේදී ඔවුන්ව තවදුරටත් ආබාධ සහිත ජනතාව ලෙස හැඳින්වීමට තමන් විරෝධය පළකරන බවත්, සමාජය ඔවුන් සම්බන්ධයෙන් දරන ආකල්පය කඩිනමින් වෙනස් කළ යුතු බවත් ඇමැතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

කෙටුම්පතේ ඇති පනතේ නැති අයිතීන්

2001 වසරේ සිට සමාජ සේවා අමාත්‍යංශයේ ලියාපදිංචි ස්වේච්ඡා සංවිධානයක් ලෙස විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන සංවිධාන ඒකාබද්ධ පෙරමුණ කටයුතු කරන අතර, එහි ප්‍රධානියකු ලෙස ද කටයුතු කළ වර්තමානයේ අදාළ ජාතික සභාවේ සාමාජික, නීතිඥ ආර්.එම්.එච්.පී.ගුණරත්න අප සමග අදහස් දක්වමින් පෙන්වා දුන්නේ මෙරට ජනතාව අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් වන ආකල්ප වෙනස් කිරීම නීත්‍යනුකූල ක්‍රියාවලියක් බවයි.

මෙරට දැනට ක්‍රියාත්මක 1996 අංක 28 දරන විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වන පනතට අනුව ආබාධ වර්ග 04 ක් පමණක් හඳුන්වා ඇත. ඒ දෘෂ්‍යාබාධ, ශ්‍රවණාබාධ, මානසික ඌණතා සහ ශාරීරික ආබාධ ය.
එහෙත් 2016 වසරේදී සම්මත කරන ලද ඉන්දියානු විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන පනතේ ආබාධ වර්ග 18 ක් හඳුන්වා ඇත. දෘෂ්‍යාබාධිත යන්න පූර්ණ දෘෂ්‍යාබාධිත, අර්ධ දෘෂ්‍යාබාධිත, එක් ඇසක් පෙනෙන යනුවෙන් කොටස් කර ඇති අතර, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී මේවා සංශෝධනය කිරීමේ හැකියාව ද එම පනත මගින් ලබා දී තිබේ. එසේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට අනන්‍ය වූ අයිතිවාසිකම් 40 කට වැඩි සංඛ්‍යාවක් ද එම පනතේ සඳහන් ය. එහෙත් ලංකාවේදී විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට රක්ෂණාවරණයක් හෝ ලබාගැනීමේ අයිතිවාසිකම් නැති බව නීතිඥවරයා අවධාරණය කරයි.

සියයට තුනේ රැකියා චක්‍රලේඛය

මේ අතර විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ජීවිත සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා යනුවෙන් සඳහන් කරමින් 1988 වසරේදී එවකට පැවැති ස්වදේශ කටයුතු අමාත්‍යංශය මගින් නිකුත් කළ අංක 27 දරන චක්‍රලේඛයට අනුව රජයේ රැකියාවලින් සියයට තුනක ප්‍රතිශතයක් සුදුසුකම් මත විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට ලබාදිය යුතුය. එහෙත් මෙරටදී එය යම් තරමකට හෝ ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපන අමාත්‍යංශයේ පමණි. ඒ ගුරු පත්වීම් ලබාදීම හරහා ය. අනෙකුත් රජයේ ආයතන මේ චක්‍රලේඛය හෝ ඊට අදාළ මානුෂික කරුණු පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බව ආබාධ සහිත පුද්ගල සංවිධාන ඒකාබද්ධ පෙරමුණේ ලේකම් කුලරත්න එදිරිසිංහ පෙන්වා දෙයි. තෝරාගත් රැකියා සඳහා සුදුසුකම් මත විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් බඳවාගත හැකි වුවද, ඔවුන්ගේ අයැදුම්පත් මුල් වටයේදීම ප්‍රතික්ෂේප කෙරෙන බවත්, මේ නිසා විවිධ ගැටළු මැද ස්වයං රැකියා කිරීමට පෙළඹී සිටින බවත් සඳහන් කළ ලේකම්වරයා, අඩු තරමේ එම ස්වයං රැකියාලාභීන් වෙනුවෙන් විධිමත් වෙළෙඳපොළක් නිර්මාණය කර දීම වෙනුවෙන් හෝ ආණ්ඩුව මැදිහත් විය යුතු බව ද සඳහන් කර සිටී.

162 වැනි රට – ලංකාව

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට 2016 පෙබරවාරි 08 වැනිදා ශ්‍රී ලංකාව අත්සන් කරන ලදි. 2007 මාර්තු 30 වැනිදා සම්මත කෙරුණු මෙම සම්මුතියට අත්සන් කරන ලද 162 වැනි රට ලංකාව ය. විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ ගෞරවය ආරක්ෂා කිරීමත්, ඔවුන්ගේ මානව හිමිකම් සහ මූලික නිදහස සුරක්ෂිත කිරීමත් සම්මුතියේ අරමුණ ලෙස සඳහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here