‘ඔවුන් මට නම් හරිම සපෝටිව්’ – තිහාරිය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක

(නිලූක සඳුන් පද්මසිරි)

කොරෝනා ව්‍යාප්තිය සම්බන්ධයෙන් වන වරද යළිත් වරක් මුස්ලිම් ජනතාව පිට පැටවී⁣මේ උත්සහයක් පවතින බව තිහාරිය ප්‍රදේශවාසීහු පවසති.

පීසීආර් සඳහා සහ කොරෝනා පාලනය සඳහා සහය නොදක්වන බවට තිහාරිය වැනි මුස්ලිම් ප්‍රජාව වැඩි සංඛ්‍යාවක් ජීවත් වන ප්‍රදේශ මතුකර දක්වමින් ප්‍රධාන මාධ්‍ය සෞඛ්‍ය නිලධාරීන් උපුටා දක්වමින් මේ දිනවල දැඩි ප්‍රචාරයක් ගෙන යන ආකාරයක් දක්නට ලැබිණි.

මේ ආකාරයෙන් මුස්ලිම් ජාතිය ඉස්මතු කරමින් ඕනෑතරම් පුවත් පළ වුවද කිසිම තැනක වගකීම් විරහිතව ක්‍රියා කරන සිංහල ප්‍රජාව ගැන ජාතිය හුවා දක්වමින් පුවත් පැතිර නොගිය බවත් ඒ සම්බන්ධයෙන් කිසිවෙකු ප්‍රශ්න කළේද නැති බවත් තිහාරිය ප්‍රදේශයේ පදිංචි නම සඳහන් කිරීමට අකමැති තරුණයෙක් පැවසීය.

තිහාරියේ මුස්ලිම් වැසියන් පීසීආර් සඳහා සහය නොදක්වන්නේදැයි එම තරුණයාගෙන් කළ විමසීමේදී පැවසූවේ පීසීආර් සඳහා තම ප්‍රදේශවාසීන් සහය නොදෙන බවට තමා දැනගත්තේද මාධ්‍ය මගින් බවත් එවන් ගැටළුවක් තම ප්‍රදේශයේ නොමැති බවත්ය.

“බොරුව මාකට් කරන හැටි පුදුමයි”

පීසීආර් කිරීම සඳහා සහයෝගය ලබාදෙන්නේ තිහාරියේ ප්‍රධාන මුස්ලිම් පල්ලිය වන රව්ලා දේවස්ථානය බවත් පීසීආර් කරන්නේද එම පල්ලිය ඉදිරියේ බවත් ඔහු සඳහන් කළේය.

ඔහු මෙසේද කීවේය…

“එහෙම දෙයක් ඇත්තටම මෙහේ නෑ. කට්ටිය පීසීආර් කරගන්නවා. ගමේ අය උදව් කරනවා. ප්‍රධාන මාධ්‍ය බොරුව මාකට් කරන හැටි මාරම පුදුමයි. මෙහේ නැති දෙයක් මවලා පෙන්නන හැටි මාරයි. අනේ මෙහෙමත් බොරුවක්.කිසිම තැනක සිංහල අය කරන වැරදි ගැන ඒ ජාතිය හුවා දක්වලා එහෙමත් නැත්නම් ජාතිය මතුකරලා පෙන්වලා නිවුස් යනවද ? මමනම් දැකලා නෑ එහෙම නිවුස් යනවා. අනික එහෙම ජාතිය සඳහන් කරලා නිවුස් දාන්න ඕනේද?”

තිහාරිය ගැන දවස් දෙකකදී පුවත් දෙකක්

අද පුවත්පතේ වෙබ් අඩවිය දෙසැම්බර් 07 වැනිදා මෙසේ වාර්තා කළේය.

තිහාරිය ප්‍රදේශයේ ජීවත් වන ජනතාව පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතික්ෂේප කරන තත්වයක් උදා වී ඇති බවත්, මෙම තත්වය අටලුගම ප්‍රදේශයේ උද්ගත වූ තත්වයට සමාන බවත් ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා මහතා පැවසීය.

එම වෙබ් අඩවියම ඊට පසුදින (08) වාර්තා කළේ මෙලෙසිනි.

අත්තනගල්ල, තිහාරිය ප්‍රදේශවාසීන් අද දින විශේෂ විරෝධතාවයකින් තොරව පී.සී.ආර්. පරීක්ෂණ කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන්ට සාමකාමීව සහාය ලබා දුන් බව ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය මිගාර ඈපා මහතා ප්‍රකාශ කළේය.

නමුත් මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව පාර්ශ්වයෙන් සිදුකරන ලද විමසීමක් වාර්තා වී තිබුණේ නැත.

“අපි උපරිමයෙන් සහය දක්වනවා”

මේ සම්බන්ධයෙන් තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්. අබ්දුල්ලා මහතා පැවසූවේ මෙම හුවාදැක්වීම සම්පූර්ණයෙන් අසත්‍ය බවත් ප්‍රදේශයේ ජනතාව ඊට හැකි උපරිමයෙන් සහය දැක්වූ බවත්ය.

ප්‍රදේශයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් වැඩි සංඛ්‍යාවකට මුස්ලිම් ජනතාව සහය දුන් බව ඔහු කීවේය.

“ඒක තනිකර බොරුවක්නේ. අපේ නම් එහෙම ගැටළුවක් නෑ. පීසීආර් කරන්න එන්න කිව්වම යනවා. අකමැති වෙන්න හේතුවක් නෑනේ. අපේ හොඳටමනේ කියන්නේ. දැනට ගොඩක් කරලා තියෙන්නේ මම දන්න විදියට. මේ කොරෝනාවල වැරැද්දත් අපේ පිටින් යවන්න හදන්නේ. වැරැද්ද ජාතිවාදයෙන් යවන්නයි හදන්නේ. එච්චර තමයි මටනම් කියන්න තියෙන්නේ.” යැයි ඔහු පැවසීය.

“මටනම් සපෝටිව්”

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී තිහාරිය ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වන කේ.පී ටෙරන්ස් මාධව පරණවිතාන මහතා පැවසූවේ තමා බාරව සිටින ප්‍රදේශයේ පල්ලි 14ක් ඇති බවත් එම පල්ලිවල පූජකවරුන් ඇතුළුව ප්‍රදේශයේ ජනතාව තමා සමග ඉතාමත් සහයෝගයෙන් කටයුතු කරන බවත් මාධ්‍යවල පළවන ආකාරයේ ගැටළුවක් තිහාරියේ නොමැති බවත්ය.

දැනට එම ප්‍රදේශයේ පීසීආර් පරීක්ෂණ 563ක් සිදුකර ඇතැයි ද ඒ සඳහා එම ජනතාවගේ නොමද සහය ලැබුණ බවද ඔහු සඳහන් කළේය.

ඇතැම් මාධ්‍ය තිහාරිය අටලුගමට සමාන කරමින් පැයෙන් පැය පුවත්වල පවා ප්‍රචාරය කර නමුදු මෙහි එවන් තත්ත්වයක් නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.

“එය නිකම් අලියා ඇතගෑවා වගේ දෙයක්. කවුරුත් හරියට දන්නේ නෑ මෙහේ වෙන්නේ මොකද්ද කියලා. නමුත් ඒ ගැන බොරු පුවත් දානවා.” යැයි ඔහු පැවසීය.

ඒ මහතා මෙසේද කීවේය.

“ඔවුන් මටනම් හරිම සපෝටිව්. මාත් එක්ක හරි එකතුයි. මට නම් උදව් කරනවා ඒ අය. එම පල්ලිවල සභාපතිවරුන්, මවුලවිවරුන් මට ලොකු සහයෝගයක් දෙනවා.

ඒ අයගේත් සහයෙන් මම මූලික වෙලා මේ ප්‍රදේශයේ කොවිඩ්-19 පාලන කොමිටියක් පවා හදලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි ප්‍රශ්නයක් නැතිව පීසීආර් කරගෙන යනවා. පොලිසියේ අය මෙන්ම ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් සහය දක්වනවා. පොඩි පොඩි ප්‍රශ්න වෙන්න පුළුවන්. ජනතාවගේ පොඩි බයක් තියෙනවා. ඒක ඇත්ත. නමුත් අපි එකතු වෙලා හොඳට වැඩ කරගෙන යනවා. දැනුත් මේ කොවිඩ් පාලන කමිටුවේ රැස්වීමකට යන්න හදන්නේ. එතැන කතා බහ කරලා හරිම සහයෝගයෙන් මේ වැඩ වෙනවා. මට මුස්ලිම් ප්‍රජාව උදව් කරනවා. පොඩි පොඩි අවුල් තියෙන්න පුළුවන්. අනෙක් තැන්වලත් එහෙම අවුල් තියෙනවනේ. ඒවා සුළු දේවල්. එයාලා මට සහය දෙන්නේ නෑ කියන කතාව බොරු.”

“තිහාරියත් අටලුගමක් නොවෙන්න වැඩ කරන්න ඕන”

තිහාරියේ ඇතැම් අය සහය දක්වද්දි තවත් පිරිසක් සහය නොදක්වන බව මේ පිළිබඳව කළ විමසීමකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් එමි බාලසූරිය මහතා සඳහන් කළේය.

ප්‍රදේශයේ පවතින කොරෝනා අවදානම පිටත ප්‍රදේශවලට නොයාම සඳහා ආගමික සහ දේශපාලන නායකත්වය මුල් විය යුතු බව ඔහු කීවේය.

තිහාරියේ පොඩි ගැටළුවක් ඇති නමුත් අටලුගම විශාල ගැටලුවක් අැති බව ද ඊයේ දිනයේ සූදානම් කර තිබූ පීසීආර් පරීක්ෂණ 400ක් සඳහා පැමිණ තිබුණේ 52 දෙනකු පමණක් බව ද මෙවන් තත්ත්වයක් තිහාරියේ ඇතිවීමට ඉඩ නොදිය යුතු නිසා ඉල්ලීම් සිදුකළ බව ද ඔහු ප්‍රකාශ කළේය.

” තිහාරියේ ඇතැම් අය සහය දක්වනවා. නෑ කියන්නේ නෑ. නමුත් අ⁣ටලුගම තත්ත්වය මීට වෙනස්. එහේ අදත් ගැබිණි මාතාවන් සඳහා රැපිඩ් ටෙස්ට් 80ක් කළා ඉන් 8ක් පොසිටිව්. දැනට එහේ 542ක් පොසිටිව් මරණ තුනක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් එ් වගේ තිහාරියේත් නොවෙන්න අපි කටයුතු කරන්න ඕනේ. තිහාරියේ ඉන්නේ බහුතරය මුස්ලිම් ජනකාව. ඒකට ආගමික සහ දේශපාලන නායකයින් මුල් වෙන්න ඕනේ. එහෙම වුණොත් මේ තත්ත්වය පිටත ප්‍රදේශවලට පැතිරෙන්න නොදී පාලනය කරගන්න පුළුවන්” යැයි ඔහු තවදුරටත් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු ෆේස්බුක්හී පළ කර තිබූ සටහනක් පහතින්…

“ඇතැම් ජනමාධ්‍යයෝ තිහාරිය ජනයා පී.සී.ආර් පරීක්ෂණවලට යොමු නොවී මගහරින බවට ප්‍රචාරය කරමින් සිටින්නේ ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීමට අහිංසක මුස්ලිම් ප්‍රජාවට සුපුරුදු ලෙස බෝලේ පාස් කරමිනි. එම ජනමාධ්‍යය ඕනෑකමින්ම ඉකුත් නොවැම්බර් 30 වන දා තිහාරිය ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය වන රව්ලා දේවස්ථානය ඉදිරිපිටදී කරන ලද පී.සී.ආර් පරීක්ෂණ 87න් 99%ක් මුස්ලිම් පිරිස් වූ බවත් එම පරීක්ෂණ පැවැත්වීමට සියලු පහසුකම් සලසා දුන්නේත් මුස්ලිම් ජනතාව විසින්ම බවත් ප්‍රසිද්ධ නොකරන්නේ කිසියම් යටි අරමුණක් සහ න්‍යාය පත්‍රයකට අනුව බව සුපැහැදිලිය. ඒ විතරක් නොවෙයි දෙවන වරටත් ඉකුත් 5 වැනිදා 237 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා පැමිණි සිටි අතර 99%ක් දෙනා තිහාරියේ මුස්ලිම් ප්‍රජාව බව වගකීමෙන් කිව හැකිය.එම පරීක්ෂණය පැවැත්වීමටත් සහයෝගය ලබා දී තිබුණේ රව්ලා දේවස්ථානයයි.

තෙවන වරටත් 8/12/2020 දින 241 දෙනෙකු පීසීආර් පරීක්ෂණ සඳහා සහබාගි විය. පවත්වන ලද එම පරීක්ෂණයට යොමු වන ලෙස ගම් වැසියන්ගෙන් ප්‍රදේශයේ සියලුම දේවස්ථාන ලවුඩ්ස්පීකර් මගින් නිවේදනය කරමින් ඉල්ලා සිටියේ ප්‍රජා වගකීම මනාව දත් නිසාය. නමුත් අවාසනාවකට ඇතැම්හු වට්සැප් සහ ෆේස්බුක් හරහා තිහාරියේ ජනතාව පරීක්ෂණවලට යොමු නොවනවා යැයි ප්‍රචාරය කරමින් සිටිති. එනිසා නිර්ලජ්ජිත ලෙස බොරු ප්‍රචාරය කරන්නන් තම හෙළුව වසා ගැනීමට තැටිය පෙරලීම ප්‍රජාවක් ලෙස අපි තරයේ හෙළා දකිමින් සාමකාමී රටක් ගොඩනැගීමට වෛරී අදහස් ප්‍රචාරය නොකර ඔබේ සමාජ වගකීම ඉටුකරන ලෙස අවධාරණය කරන්නට කැමැත්තෙමු.”

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සම්බන්ධ කරගැනීමට උත්සහ කළ නමුත් ඊට ප්‍රතිචාර නොලැබිණි.”

Previous articleලලිත් – කුගන් අතුරුදන් කර වසර 9 ක් : සාක්ෂිකරුවකු ලෙසත් ජනාධිපතිට මුක්තියක් තිබේද ?
Next articleආදිවාසී ජනතාව – කිරි ගොවීන් – සුළු පරිමාණ ගොවීන් අවතැන් කිරීමට එරෙහිව විරෝධතා !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here