මහර වාර්තාවේ පෙත්ත නින්ද යන්න දෙන එකක් !

මහර බන්ධනාගාරයේ සිදු වූ නිරායුධ රැඳවියන්ට වෙඩි තැබීමේ සිද්ධියට පෙර, රැඳවියන් බන්ධනාගාර රෝහලේ තිබූ ඩල්සිෆාම් ඇතුළු පෙති වර්ග පානය කොට ඇති බවත්, ඉන්පසු ඔවුන් කලහකාරී ලෙස හැසිරී ඇති බවත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරනු ලැබූ පංච පුද්ගල කමිටුවේ අතුරු වාර්තාව මගින් පෙන්වා දී තිබේ.

වාර්තාවේ මෙසේ සඳහන් වුවද, එහි නිශ්චිතව සඳහන් වන ඩල්සිෆාම් (නිවැරදි වචනය ඩයසිපෑම් – diazepam) භාවිත කරන්නේ ශරීරය අක්‍රීය කිරීම සඳහා බව රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන පෙන්වා දෙයි. මස්පිඬු තදවීමක් සිදු වූ අවස්ථාවකදී ලිහිල් කිරීමට, නින්ද යෑමට, මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන්ට මත්ද්‍රව්‍ය නොමැතිවීම නිසා ඇතිවන තත්ත්වයන්වලදී නින්ද යෑමට, මානසික ආතතිය උත්සන්න වූ අවස්ථාවලදී නින්ද යෑමට මෙම ඖෂධය ලබාදෙන බව ද අප කළ විමසීමකට පිළිතුරු දෙමින් සඳහන් කළ වෛද්‍යවරයා, රෝහල්වලට අනුමත ඖෂධවලින් කලහකාරී තත්ත්වයක් ඇතිවිය නොහැකි බව ද සඳහන් කරයි.

ඇතැම් මත්ද්‍රව්‍ය වර්ගවලින් ඒවා භාවිත කරන්නන් තුළ කලබලකාරී, ප්‍රකෝප වන තත්ත්වයක් ඇති කළ හැකි බවත්, එවැනි අවස්ථාවලදී ඔවුන් එකිනෙකාට පහරදීමට උත්සාහ කරන බවත් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී බන්ධනාගාර රෝහල් ගණනාවක සේවය කළ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් අවධාරණය කළේය. මෙහිදී සිදු වී ඇත්තේ එවැනි තත්ත්වයක් විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය. එසේ නම් මහර බන්ධනාගාරය තුළට අදාළ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ප්‍රධාන ගේට්ටුව හරහා ලැබී තිබිය යුතුය. ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොකොට, බන්ධනාගාර රෝහලේ ඖෂධ නිසා මෙය සිදු වූ බව හුවා දැක්වීමට මේ ආකාරයට අදාළ වාර්තාව මගින් ද උත්සාහ දැරීම කනගාටුවට කරුණක් බව එම වෛද්‍යවරයාගේ අදහසයි.

රෝහලේ තිබූ ඖෂධ ගැන සඳහන් කිරීමට පෙර ආණ්ඩුව පාර්ශ්වයෙන් පවසා තිබුණේ මානසික ආතතියට භාවිත කරන ඖෂධ ලබාගැනීම නිසා මහර බන්ධනාගාරයේ සිටි රැඳවියන් ප්‍රචණ්ඩ ලෙස හැසිරී ඇති බවයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මනෝ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර තිබුණේ මෙම ප්‍රකාශ මගින් ජනතාව තුළ වැරදි ආකල්පයක් ඇති වන බවත්, මානසික රෝග සඳහා නිකුත් කරනු ලබන කිසිදු ඖෂධයකින් එවැනි කලහකාරී මානසික තත්ත්වයක් ඇති නොවන බවත් ය.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම සංගමයේ විධායක සභික මනෝ වෛද්‍ය විශේෂඥ ජයාන් මෙන්ඩිස් පවසා තිබුණේ මේ අසත්‍ය ප්‍රකාශය මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම නිසා අදාළ ඖෂධ ලබාගන්නා රෝගීන්ගේ පවුල්වල සාමාජිකයන් පීඩාවට පත්ව ඇති බවත්, එම ඖෂධ සම්බන්ධයෙන් වන විශ්වාසය පිළිබඳ ගැටළු මතුවන බවත් ය. මෙම ඖෂධ මගින් සිදුකෙරෙන්නේ මානසික ආතතිය අවම කර, කලබල නොවන තත්ත්වයට මනස පත්කිරීම හෝ නිද්‍රාවට පත්කිරීම බව ද ඔහු සඳහන් කර තිබිණි.

බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ඇමැති විමල් වීරවංශ සහ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මේ පෙති පිළිබඳ ව අවස්ථා ගණනාවකදී මාධ්‍ය ඉදිරියේ පවසා තිබිණි. එහිම දිගුවක් ලෙස අදාළ වාර්තාවේ ද එය සඳහන් කර ඇත.

Previous articleහොඳින් සුවපත් වෙමු – මානව හිමිකම් වෙනුවෙන් නැගිටිමු !
Next articleලලිත් – කුගන් අතුරුදන් කර වසර 9 ක් : සාක්ෂිකරුවකු ලෙසත් ජනාධිපතිට මුක්තියක් තිබේද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here