පොලිතින් – ප්ලාස්ටික් ! ලබන මාසයේ එන අලුත් නීතියටත් පරණ නීතිවල ඉරණම අත්වෙයිද?

(හසරිඳු රාජපක්ෂ)

එක් වරක් භාවිත කර ඉවත දමන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන 2020 ජනවාරි 01 දා සිට තහනම් කිරීමට කටයුතු කරන බවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා 2021 අයවැය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.

එය සිදුකිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අපි සොයා බැලුවෙමු.

අයවැය යෝජනාව

“එක් වරක් භාවිත කර ඉවතලන (single use) පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදනවලින් පරිසරයට සිදුවන හානි අවම කළ යුතුයි. වීදුරු හා පරිසර හිතකාමී සෞඛ්‍යාරක්ෂිත අමුද්‍රව්‍ය හා දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිතය වැඩිකිරීම සඳහා ප්ලාස්ටික් නිෂ්පාදන ප්‍රතිචක්‍රීකරණය අනිවාර්ය විය යුතුයි. පොලිතින් හා ප්ලාස්ටික් කළමනාකරණය පරිසර සංවේදීව ඉටුකිරීම සඳහා ඉවතලන පොලිතීන් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය අවම කිරීමට එක් වරක් භාවිත කර ඉවතලන පොලිතින් හා ප්ලාස්ටික් නිෂ්පාදන 2020 ජනවාරි 01 දින සිට තහනම් කිරීමට යෝජනා කරනවා.”

ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් සහ පොලිතින් ආනයනය

ශ්‍රී ලංකාවට ප්ලාස්ටික් සහ පොලිතින් ආනයනය කරන ප්‍රමාණ පිළිබඳ නිවැරදි දත්ත නොමැති අතර, 2019 මහ බැංකු වාර්තාවේ සදහන් කර ඇත්තේ 2019 වසරේ මෙරටට ආනයනය කර ඇති ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණය ආනයනික අන්තර් භාණ්ඩ ප්‍රමාණයෙන් සියයට 3.1 ක් බව ය. 2018 වසරට සාපේක්ෂව එය පහළ අගයක් බව ද මහ බැංකු වාර්තාව සඳහන් කරයි. ඒ අනුව දළ වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 200.9 ක් පමණ ඒ වෙනුවෙන් වැය කර ඇති බව පැහැදිලි ය.

ලෝකයේ තත්ත්වය

ප්‍රංශය, ඉන්දියාව, කැනඩාව, කෙන්යාව, ස්විඩනය, එංගලන්තය, ඇමරිකාව, යුරෝපා සංගමය ඇතුළු රටවල් රැසක් විසින් මේ වන විට එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් තහනම් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති අතර,2030 වන විට එම ඉලක්කය සම්පූර්ණ කරගැනීමට ගිවිසුම්ගත වී තිබේ.

ශ්‍රී ලංකාවේ තත්ත්වය

එක් වරක් පමණක් භාවිත කර ඉවත් කරන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කළ යුතු බවට ශ්‍රී ලංකාවේ පරිසර සංවිධාන දීර්ඝ කාලයක් පුරා පැවැති ආණ්ඩුවලට යෝජනා කළ අතර, මේ සම්බන්ධයෙන් විවිධ සාකච්ඡා පැවතිණි. 2018, 2019 වසරවල මේ සම්බන්ධයෙන් විවිධ කතාබහ පැවති අතර, රාජ්‍ය සහ පෞද්ගලික අංශ එක්ව ඒ සඳහා විවිධ වැඩපිළිවෙල නිර්මාණය කිරීම ද විශේෂත්වයක් විය.

තහනම් කරන්නේ මොනවාද ?

එක් වරක් පමණක් භාවිත කර ඉවත් කරන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන 2021 වසරේ සිට තහනම් කරන බව පැවසුණද, තහනම් කරන්නේ මොනවාද යන්න පිළිබඳව මෙතෙක් පැහැදිලි කිරීමක් රජය මගින් සිදු කර නොමැත. මේ හේතුවෙන් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක වන ආකරය සම්බන්ධයෙන් පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ මූලික අදියර ලෙස නිෂ්පාදන තුනක් තහනම් කරන බව ය.

‘මෙහි පළමු අදියර ලෙස සැෂේ පැකට්, කොට්න්බඩ් සහ විෂ රසායනික ද්‍රව්‍ය දමන ප්ලාස්ටික් බෝතල් තහනම් කරනවා. එයට අදාළ ගැසට් නිවේදනය ඉතා ඉක්මනින් පළකරන්න බලාපොරොත්තු වෙනවා. මෙය දිගින් දිගටම ක්‍රියාත්මක වන වැඩපිළිවෙලක මූලික පියවරක්. තවත් මාස හයකින් එහි දෙවැනි පියවර ලෙස තවත් ද්‍රව්‍ය ප්‍රමාණයක් අපි තහනම් කරන්න බලාපොරොත්තු වෙනවා’ යැයි ලේකම්වරයා සඳහන් කළේය.

වසරකට බැහැර කරන පොලිතින් ප්‍රමාණය

පොලිතින් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය වසරකට ටොන් බිලියන 5.3 සිට 14 දක්වා ප්‍රමාණයක් මුහුදට එක්වන බව ජාත්‍යන්තර පරිසර සංඛ්‍යාලේඛන සඳහන් කරයි. පොලිතින් සහ ප්ලාස්ටික් සාගර ජලයට එකතුවීමත් සමග, ඒවා සතුන් ආහාරයට ගන්නා අතර, මේ හේතුවෙන් සතුන් විශාල ප්‍රමාණයක් විවිධ ආසාදනවලට ලක්ව මියගොස් ඇති බව අනාවරණය කරගෙන තිබේ.

මෙසේ මිය යන සතුන්ගේ ශරීර අභ්‍යන්තරය පරීක්ෂා කරන විට ඔවුන්ගේ ශරීර තුළින් පොලිතින් හමුවී ඇති බව ද මේ වන විට ප්‍රසිද්ධ කර තිබේ.

පොලිතින් සම්බන්ධ නීති බලාත්මක වෙන්නේ නැහැ

එක් වරක් පමණක් භාවිත කර ඉවත දමන පොලිතින් සහ ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් සොබා සංරක්ෂකයෝ පරිසර සංවිධානයේ සාමාජික, ශ්‍රී ලංකා රේගුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ සමන්ත ගුණසේකර මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ පොලිතින් සම්බන්ධ නීති කිසිවක් නිසි පරිදි මෙරට ක්‍රියාත්මක නොවන බවයි. වැඩිදුරටත් අදහස් දැක්වූ ගුණසේකර මහතා මෙසේ ද පැවසීය.

‘පොලිතින් කියන්නේ බොහොම හොඳ නිෂ්පාදනයක්. නමුත් අපේ මිනිස්සු එය භාවිතාකරන ආකාරය අනුව ගැටලු ඇතිවෙලා තියෙනවා. ලංකාවට පොලිතින් ආපු කාලයේ ඒක ෆැෂන් එකක් වුණා. පොලිතින් කියන්නේ ඉතාම අඩු මුදලට සපයාගන්න පුළුවන් දෙයක්. නමුත් මේවා භාවිතාකරලා බැහැර කිරීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේද නැති නිසා ප්‍රශ්න රැසක් ඇතිවෙලා තියෙනවා. ගොඩබිම, පස දූෂණය වෙනවා වගේම මිනිස්සු සහ සත්තු ලෙඩ වෙන්නත් පටන් අරගෙන තිබෙනවා. අපි විනෝද ගමනක් ගියොත් කෑම කාලා ඉවරවෙලා ගෙනාපු සියල්ලම ඒ ගියපු තැන්වලට විසිකරලා දාලා එනවා. ඇළ-දොළ, ගංගාවලට මේවා විසිකරනවා. විශේෂයෙන්ම ගංගා දෙපස ජීවත්වන අය ඔවුන්ගේ අපද්‍රව්‍ය ගංගාවලට දානවා. කැළණි ගඟ මේ තත්ත්වයට වැඩි වශයෙන් මුහුණ දෙනවා.

මුලින්ම පොලිතින් සම්බන්ධයෙන් නීතියක් 2000 දි ඇති කළා. පොලිතින් සම්බන්ධ නීති ගෙනාවට ඒවා පරීක්ෂා කරන්න උපකරණ නැහැ. ඒක විහිළුවක් වුණා. ඒ වගේම මයික්‍රෝන් 20 ට අඩු පොලිතින් තහනම් කළ විට පොලිතින්වල මයික්‍රෝන ප්‍රමාණය 19 ද 20 ද කියලා හොයන්න උපකරණ නැහැ. ඝනත්වය වැඩි පොලිතින් නිෂ්පාදනය 2017 දී තනහම් කළා. ඒ නිසා ඝණත්වය අඩු පොලිතින් වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න නිෂ්පාදකයෝ පෙළඹුණා. එහෙම කරන්නේ පොලිතින් නිෂ්පාදනයේදී අලු හුණු එකතු කරලා. මේ ක්‍රියාව පටන් අරගෙන අවුරුදු තුනක් විතර වෙනවා. ඒක තවම නවත්වලා නැහැ. ඝනත්වය අඩු පොලිතින් නිෂ්පාදනය කරද්දි කැල්සියම් දානවා. එහෙම කරන්නේ පොලිතින් දිරනවා කියලා හිතාගෙනද දන්නේ නැහැ. නමුත් ඇත්ත කතාව එහෙම කළාට පොලිතින් දිරන්නේ නැහැ. එයින් වෙන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් නිර්මාණය වීම. මේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් විෂ සහිතයි. ඒ වගේම තුනී පොලිතින් නිසා දැන් පොලිතින් භාවිතය වැඩිවෙලා තිබෙනවා. ඉස්සර කඩේ ගිහින් එක මල්ලක බඩු දාගෙන ආවත් දැන් කවර කිහිපයක් එකතු කරලා බඩු දාලා දෙනවා. ඒ වගේම තුනී පොලිතින් ආනයනය වැඩි වෙලා තියෙනවා. මේ ගැන කවුරුත් කතාකරන්නේ නැහැ. රජය අවධානයට ලක්කරන්නෙත් නැහැ. ඒ වගේම මේ කටයුත්ත නිවැරදි කරන්න කටයුතු කරලත් නැහැ.

එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් සහ පොලිතින් තහනම් කිරීම ඉන්දියාව, පැරීසිය වගේ රටවල් සිදුකර තිබෙනවා. එය හොඳ දෙයක් වගේම අපේ රටටත් එතැනට පහසුවෙන් යන්න පු‍ළුවන්. නමුත් නීතියේ ප්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඒවා නිරවුල් වෙනවා නම් මේ ගමන යන්න පුළුවන්.

ජනතාව දැනුවත් කළ යුතුයි

මොකද එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් සහ පොලිතින් නිෂ්පාදන තහනම් කරනවා කියලා පමණයි නිවේදනය කරලා තිබෙන්නේ. එහෙම තහනම් කරන නිෂ්පාදන මොනවද කියලා නැහැ. එහෙම වුණාම නීතිය තිබුණත් ඒවා සම්පූර්ණ නැති නිසා මිනිස්සු නීතිය ගණන් ගන්නේ නැහැ. එවිට ඒ නීතිය සාර්ථක වෙන්නේ නැහැ. පොලිතින් තහනම් කරන්න මීට කලින් ගෙනාපු නීති වගේම මේ නීතියත් ගණන් ගන්නේ නැති වෙයි.

රජය කියන විදිහට මේ නීතිය ක්‍රියාත්මක වෙන්න මාසයක් වගේ කාලයක් තිබෙන්නේ. එහෙම නම් පරිසර අමාත්‍යාංශය විසින් මේ නීතියට අදාළ කටයුතු සිදු කර ඒවා ප්‍රසිද්ධ කළ යුතුයි. නීති කැඩුවොත් දෙන දඬුවම් මොනවද කියලා කියන්න අවශ්‍යයි. ඒ වගේම ප්ලාස්ටික් නිෂ්පාදන තහනම් කරද්දි ඒවෙනුවට ආදේශක හඳුන්වාදෙන්නත් අවස්ථාව ලබාදිය යුතුයි. මේ නීතිය ගැන මිනිස්සු දැනුවත් කළ යුතුයි. එයට කාලය අවශ්‍යයි. එකපාරටම නීති දාන්නේ නැතිව මිනිස්සු දැනුවත් කරලා නීති දැම්ම නම් හොදයි.

විශේෂයෙන්ම එක් වරක් පමණක් භාවිතා කරන පොලිතින් නිෂ්පාදනවලින් බොහොමයක් අනවශ්‍ය දේවල් කියලා ලෝකයේ බොහෝ රටවල් හඳුනාගෙන තිබෙනවා. බීම බට, ප්ලාස්ටික් හැඳි-ගෑරුප්පු, ප්ලාස්ටික් පිඟන් – කෝප්ප වගේ දේවල් මූලිකවම තහනම් කරන්න පුළුවන්.‍

ප්ලාස්ටික් බීම බට අවශ්‍යම නැහැ. ඉස්සර අපි කඩදාසි බීම බටය පාවිච්චි කළා. ඒ වගේම තවත් ඔ්නෑ තරම් විකල්ප වලට යන්න පුළුවන්. ප්ලාස්ටික් බීම බටය අද විලාසිතාවක් බවට පත්වෙලා. ඒ වගේම භාවිතා කරලා ඉවත දමන බීම බට ඇතැම් කඩ හිමියෝ විසින් නැවත-නැවත භාවිතයට දෙනවා. එය සෞඛ්‍යාරක්ෂිත නැහැ. මේ නිසා එය තහනම් කළ යුතු දෙයක්. ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් බොහොමයක් මේ ප්ලාස්ටික් බීම බටය වෙනුවට විවිධ ආදේශක ඉදිරිපත් කර තිබෙනවා. එය අගය කළ යුතු කාර්යයක්.’

Previous article2021 අයවැයෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව නවතනු!
Next articleමහවැලි අධිකාරිය වන සංරක්ෂණයට අයත් අම්පාර රඹකැන්ඔය වනාන්තර සමාගම් වලට බදු දෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here