2021 අයවැයෙන් යෝජිත අධ්‍යාපන ප්‍රතිපාදන කප්පාදුව නවතනු!

දේශපාලන මණ්ඩලය-ජනතා විමුක්ති පෙරමුණ

ආණ්ඩුව විසින් 2021 වසර සඳහා යෝජිත අයවැය කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එහි අධ්‍යාපන වැය ශීර්ෂය පිළිබඳ විවාදය දෙසැම්බර් 01 දින පවත්වන ලදී. රටේත් සමාජයේත් ඉදිරිගමනට තීරණාත්මක ලෙස බලපානු ලබන ක්‍ෂේත්‍රයක් වන අධ්‍යාපන ක්‍ෂේත්‍රය නොසලකා හැරීමේ වුවමනාව, පෙර පැවති ආණ්ඩු සේම රාජපක්‍ෂ ආණ්ඩුවේද වුවමනාව වී ඇති බව ඒ තුළින් තව තවත් තහවුරු වී ඇත.

රටක් සිය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක්, එසේත් නැත්නම් සමස්ත රාජ්‍ය වියදමින් 15%-20% අතර ප්‍රමාණයක් අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කළ යුතු බව යුනෙස්කෝ සංවිධානය පවසයි. එයට අනුව මෙරට අධ්‍යාපනයට අවම වශයෙන් දළ දේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වත් වෙන්කළ යුතු බවට හා අවම වශයෙන් එය එකවර කිරීමට නොහැකි නම් එම ඉලක්කය සඳහා ක්‍රමානුකූලව යොමුවන මාවතකට එළඹීම සඳහා අප රටේ ආණ්ඩු මැදිහත් විය යුතු බවට සංවාදයක්, ඉල්ලීමක් සහ අරගලයක් සිසුන්, ආචාර්යවරුන්, ගුරුවරුන් මෙන්ම විවිධ ප්‍රගතිශීලී සංවිධාන සහ පුද්ගලයින්ගේ මැදිහත්වීමෙන් අදටත් ක්‍රියාත්මක වෙමින් ඇත. එහෙත් පසුගිය කාලය තුළ පැවති සෑම ආණ්ඩුවකින්ම පාහේ සිදුවූයේ ඒ පිළිබඳ නොසලකාහැරීම හෝ සංඛ්‍යාලේඛන විජ්ජා මගින් ජනතාව මුළාකර තවදුරටත් අධ්‍යාපනය සඳහා වූ ප්‍රතිපාදන කප්පාදු කිරීම පමණි. අද වත්මන් රාජපක්‍ෂ ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින්නේද එම ක්‍රියාවලියේම තවත් එක් දිගුවක් ලෙසිනි.

අධ්‍යාපන විෂයපථය ආවරණය කෙරෙන අමාත්‍යාංශ 5ක් වත්මන් ආණ්ඩුව විසින් පිහිටුවා ඇත. ඒ යටතේ අධ්‍යාපනය සඳහා වූ කැබිනට් අමාත්‍යාංශයට අමතරව අධ්‍යාපනයට අදාළ ආයතන සහ වෙනත් ආයතන එකතුකර සාදන ලද රාජ්‍ය අමාත්‍යාංශ 4ක් ඇත. ඒ එක් එක් අමාත්‍යාංශය සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන්කර ඇත්තේ පහත පරිදිය.

අධ්‍යාපන (කැබිනට්) අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 126.54කි. කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සඳහා රුපියල් බිලියන 30.45ක් වෙන්කරනු ලැබ ඇත. එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 2.06ක්ද නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් රුපියල් බිලියන 13.05ක්ද වෙන්කරනු ලැබ ඇත. 05 වැනි අමාත්‍යාංශය ලෙස දහම් පාසල්, පිරිවෙන් සහ භික්‍ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයට රුපියල් බිලියන 4.72ක් වෙන් කොට තිබේ.

මේ අනුව ඉහත අමාත්‍යාංශ 05ටම වෙන්කරනු ලැබ ඇති සමස්ත මුදල රුපියල් බිලියන 176.82කි. එසේම ඉන් අමාත්‍යාංශ 02ක් තුළ අධ්‍යාපනයට පරිබාහිර විෂයන්ද අන්තර්ගත වේ. කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය යටතේ වෙන්කර ඇති කාන්තා කටයුතු, ගර්භණී මවුවරුන්ට පෝෂණ මලු ලබාදීම ආදිය සඳහා වෙන්කර ඇති මුදල් ඉවත් කළ විට ඉතිරි වන්නේ වෙන්කරන ලද සමස්ත මුදල වූ රුපියල් බිලියන 30.45න් රුපියල් බිලියන 22.76කට අඩු ප්‍රමාණයකි. එසේම නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පර්යේෂණ සහ විද්‍යා, තාක්‍ෂණ ආදී ක්‍ෂේත්‍ර සඳහා වෙන්කර ඇති මුදල් අඩු කළ විට ඉතිරි වන්නේ වෙන්කළ සමස්ත මුදල වූ රුපියල් බිලියන 13.05න් රුපියල් බිලියන 10.1ට අඩු මුදලකි. එලෙස සලකා බැලූ විට සමස්ත වශයෙන් අධ්‍යාපනය සඳහා වෙන්කරනු ලැබ ඇත්තේ රුපියල් බිලියන 166.18ටත් අඩු මුදලකි.

පසුගිය මහ බැංකු වාර්තාවට අනුව 2021 වර්ෂය සඳහා අපේක්‍ෂිත දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 17,466කි. ඊට අනුව සැලකූ විට මෙවර අයවැයෙන් අධ්‍යාපනය සඳහා වෙන් කොට ඇති ප්‍රතිශතය 0.95%කි. මෙවර අයවැයට අනුව 2021 වසරේ අපේක්‍ෂිත රාජ්‍ය වියදම (2021 වසරේ ගෙවීමට නියමිත රාජ්‍ය ණය ප්‍රමාණය හැර) රුපියල් බිලියන 3,649කි. එයට අනුව අධ්‍යාපනය වෙනුවෙන් වෙන්කර ඇත්තේ රාජ්‍ය වියදමින් 4.55%ක් පමණි. පළමු වසර සඳහා ඇතුලත්වීමට පාසලක් නොමැති වීමේ සිට උසස්පෙළ සමත්ව සරසවි හෝ වෙනත් උසස් අධ්‍යාපන අවස්ථාවක් නොලබන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ දහස් ගණනක් මෙරට සිටිති. අධ්‍යාපනය සඳහා වෙන් කළ යුතු ප්‍රතිපාදන කප්පාදුව මගින් සිදුවන්නේ මෙම අර්බුදය තවදුරටත් උග්‍රවීම පමණකි. විශේෂයෙන් කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ අධ්‍යාපනය මුහුණ දී ඇති අර්බුදය සැලකූ විට සිදුකළ යුත්තේ අමතර ප්‍රතිපාදන වෙන්කිරීම මිස කප්පාදුව නොවේ. සිසුන් සහ අධ්‍යයන, අනධ්‍යයන කාර්යමණ්ඩලවල සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමත්, ඒ වෙනුවෙන් අවශ්‍ය කරන සෞඛ්‍ය පහසුකම් සැපයීමත්, අන්තර්ජාලය මගින් සිදුකෙරෙන අධ්‍යාපන කටයුතුවල ගුණාත්මකභාවය ඉහළ දැමීමත් වෙනුවෙන් වැඩිදුර ප්‍රතිපාදන වෙන්කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය කරුණකි.

දියුණු මානව සම්පතක්, තාක්‍ෂණයෙන්, දැනුමෙන් පරිපූර්ණ රටක් බිහිකිරීම ගැන මැතිවරණයට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු වත්මන් ආණ්ඩුවේ නායකයන් විසින් කොතෙක් පොරොන්දු දෙනු ලැබ තිබුණද ඒවා කිසිවක් ඉටු කිරීමේ අපේක්‍ෂාවක් තමන් සතුව නොමැති බව රාජපක්‍ෂ ආණ්ඩුව මේ මගින් යළි යළිත් ඔප්පු කරමින් සිටියි. එහෙයින් මෙරට අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් 01%ටත් අඩු ප්‍රතිශතයක් වෙන් කෙරෙන තත්වයක් තුළ සහ පාලකයින් විසින් මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය නොසලකා හරිනු ලැබ ඇති වටපිටාවක් තුළ, රටේත් සමාජයේත් හෙට දවස උදෙසා අධ්‍යාපනයේ අයිතිය දිනාගැනීම වෙනුවෙන් සමස්ත ජනතාව පෙළගැසිය යුතුව තිබේ.

එබැවින් රටේ දූ දරුවන්ගේ අධ්‍යාපනය සඳහා වෙන්කළ යුතු මුදල් ප්‍රතිපාදන කප්පාදුව වහාම නවතන ලෙස ආණ්ඩුවට බලකරන අප, අධ්‍යාපනයේ අයිතිය රැක ගැනීම වෙනුවෙන් පෙළගැසෙන ලෙස සමස්ත ජනතාවගෙන්ම ඉල්ලා සිටිමු.

Previous articleමාදුරුඔය – ජලගැලුම් නිම්නය රැකගන්න විරෝධතාවක් !
Next articleපොලිතින් – ප්ලාස්ටික් ! ලබන මාසයේ එන අලුත් නීතියටත් පරණ නීතිවල ඉරණම අත්වෙයිද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here