අතුරුදහන් වූවන්ගේ ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරයි

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් සිය කාර්යාලය වෙත ලැබී තිබෙන පැමිණිලි සහ තොරතුරු මත පදනම්ව අතුරුදහන් වූ තැනැත්තන්ගේ ලැයිස්තුවක් ප‍්‍රකාශයට පත්කරනු ලබන බව එම කාර්යාලය පවසයි.

එම ලැයිස්තුව කොළඹ පිහිටි OMP ප‍්‍රධාන කාර්යාලයේදී සහ මඩකලපුව, යාපනය, මන්නාරම සහ මාතර පිහිටි ප‍්‍රාදේශීය කාර්යාල වලදී පරීක්ෂා කළ හැකි බවද එම කාර්යාලය සඳහන් කරයි. අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධ විමර්ශන කොමිෂන් සභා ගණනාවක් අතීතයේ පත් කර තිබුණද, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ තොරතුරු ඒකාබද්ධ කොට සකස් කරන ලද නිල වාර්තාවක් ශ‍්‍රී ලංකාවේ මේ දක්වා ඉදිරිපත් කර නොමැති බව එම කාර්යාලය පවසයි.

අතුරුදහන් වීම් හේතුවෙන් පවුල් ඒකක හා සමාජය කෙරෙහි වන විනාශකාරී බලපෑම පිළිගන්නා බවත් එම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට සහ සත්‍යය තහවුරු කිරීමට කැපවී සිටින බවත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අවධාරණය කර සිටියි. මෙම ලැයිස්තුව ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ නිල වාර්තාවක් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලියේ එක් තීරණාත්මක සංධිස්ථානයක් බවද එම කාර්යාලය කියයි.

අතුරුදහන් වූ තැනැත්තන්ගේ ලැයිස්තුව සකස් කර ඇති ආකාරය සම්බන්ධයෙන් එම කාර්යාලය නිකුත් කළ වාර්තාවක මෙසේ දැක්වෙයි.

OMP කාර්යභාරය

2016 අංක 14 දරන අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (පිහිටුවීම, පරිපාලනය කිරීම සහ කර්තව්‍ය ඉටු කිරීම) පනතේ 27 වන වගන්තියට අනුව, ක‍්‍රියාන්විතයේ අතුරුදහන් වූ සන්නද්ධ හමුදාවල හා පොලිසියේ සාමාජිකයින් ඇතුළු සන්නද්ධ ගැටුම්වලදී හෝ දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැරලි කෝලාහල අතරතුරදී හෝ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමක් හේතුවෙන් හෝ අතුරුදහන් වූ තැනැත්තන් OMP හි කාර්යභාරයට ඇතුළත් වේ.

අතුරුදහන් වූ තැනැත්තන්ගේ අතුරුදහන් වීම් වලට අදාළ අවස්ථානුගත කරුණු සහ ඔවුන්ගේ ඉරණම පැහැදිලි කිරීමේ මූලික කාර්යභාරය, නිශ්චිත කාල පරිච්ඡේදයකට, ප‍්‍රජාවකට හෝ කලාපයකට පමණක් සීමා නොවේ.

මෙම ලැයිස්තුව සකස් කර ඇත්තේ

i) කාර්යාලය වෙත සෘජුවම ලැබී ඇති සියලුම පැමිණිලි;

ii) දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හරහා ජාතික ඒකාබද්ධතා සහ ප‍්‍රතිසන්ධාන අමාත්‍යාංශය විසින් එක්රැස් කර, ඉන් අනතුරුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට යොමු කළ පැමිණිලි;

iii) අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ඉල්ලීම් ප‍්‍රකාරව ක‍්‍රියාන්විතයේ නියැලී සිටියදී අතුරුදහන් වූ සිය සාමාජිකයන් පිළිබඳව ත‍්‍රිවිධ හමුදාව විසින් සපයන ලද තොරතුරු ඇතුළත් කිරීමෙනි.

වැඩිම පැමිණිලි මඩකලපුවෙන්

වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මඩකලපුව දිස්ත‍්‍රික්කයෙනි. එම දිස්ත්‍රික්කය හැරුණු විට, සෙසු දිස්ත‍්‍රික්කවල පදිංචිව සිටින තැනැත්තන්ගෙන් ලැබී ඇති අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ට අදාළ තොරතුරු මෙම ලැයිස්තුවේ ඇතුළත් කර ඇත. මඩකලපුව දිස්ත‍්‍රික්කයට අදාළ පැමිණිලි ඇතුළත් ලැයිස්තුව ළඟදීම නිකුත් කරනු ඇත.

මෙම ලැයිස්තුවේ පහත සඳහන් තොරතුරු අඩංගු වේ.

i) අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තාට OMP විසින් ලබා දී ඇති යොමු අංකය;

ii) එම තැනැත්තාගේ නම ඉංග‍්‍රීසි බසින් සහ සිංහල හෝ දෙමළ බසින්;

iii) එම තැනැත්තා අතුරුදහන් වූ දිනය; සහ

iv) එම තැනැත්තා අවසන් වරට පදිංචිව සිටි දිස්ත‍්‍රික්කය.

ක‍්‍රියාන්විතයේ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳව, පහත දක්වා ඇති තොරතුරු ලැයිස්තුවේ ඇතුළත් කර ඇත:

i) අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තාට OMP විසින් ලබා දී ඇති යොමු අංකය

ii) අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද තැනැත්තාගේ නම ඉංග‍්‍රීසි බසින්

iii)එම තැනැත්තා අතුරුදහන් වූ දිනය

iv) එම තැනැත්තාට ත‍්‍රිවිධ හමුදාව හෝ පොලීසිය විසින් ලබා දී ඇති සේවා අංකය

v) අතුරුදහන් වූ තැනැත්තාගේ නිලය

vi) එම තැනැත්තා අතුරුදහන් වූ ස්ථානය

vii) අතුරුදහන් වූ තැනැත්තා හමුදාවේ නිලධාරියකු නම්, රෙජිමේන්තුව.

අදාළ නොවන අතුරුදහන්වීම්

මෙම ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කිරීම අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් හා සම්බන්ධ දත්ත එක්රැස් කිරීමේ අඛණ්ඩ ක‍්‍රියාවලියේ එක් කොටසකි. OMP හි කාර්යභාරයට ඇතුළත් අතුරුදහන් වීම් සහ OMP පනතට අදාළ වන්නේද යන්න තීරණය කිරීම සඳහා වැඩිදුර තොරතුරු අවශ්‍ය වන අතුරුදහන් වීම් සම්බන්ධ පැමිණිලිවලට අදාළ දත්ත ලැයිස්තුවේ අන්තර්ගත කර ඇත.

OMP හි කාර්යභාරයට අදාළ නොවන අතුරුදහන් වීම් සම්බන්ධ පැමිණිලි සහ තොරතුරු ලැයිස්තුවේ ඇතුළත් නොවේ.

2020 පෙබරවාරි මාසයේදී OMP කාර්යාලය සිය ලැයිස්තුව සත්‍යාපනය කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භකළේය. අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන්ව OMP කාර්යාලය විසින් දැනුවත් කරනු ලැබුවේ ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ තොරතුරු සමාලෝචනය කිරීම සඳහා OMP හා සම්බන්ධ වන ලෙසයි. ඊට සමගාමීව, තොරතුරුවල අනුපිටපත් ඇති වීම වලක්වා ගැනීම සඳහා OMP විසින් අභ්‍යන්තර සත්‍යාපන ක‍්‍රියාවලියක නිරතව සිටියි.

යම් අතුරුදහන් වීමක් OMP හි කාර්යභාරයට අයත් නොවන්නේ නම්, OMP විසින් අදාළ පවුල්වල සාමාජිකයින්ට ඒ පිළිබඳව දැනුම් දීමට කටයුතු කර ඇත. අප වෙත සපයන ලද තොරතුරු අපැහැදිලි හෝ ප‍්‍රමාණවත් නොවූ අවස්ථාවලදී, OMP විසින් වැඩිදුර තොරතුරු ඉල්ලා ඇත.

අතුරුදහන්වූවන්ගේ පවුල්වලට ආරාධනාවක් සහ දැනුම් දීමක් 

මෙම ලැයිස්තුවේ සටහන් කර ඇති තොරතුරු සමාලෝචනය කිරීමට සහ එහි පැවතිය හැකි සෑම ගැටළුවක් පිළිබඳව OMP වෙත වාර්තා කිරීමට පවුල්වල සාමාජිකයින් හට ආරාධනා කරනු ලැබේ. තවද මෙම ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතුරුදහන් වූ හෝ අතුරුදහන් කරවන ලද පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු මහජනතාව සතුව ඇත්නම් එම තොරතුරු OMP වෙත ලබාදෙන මෙන් ඉල්ලා සිටියි.

OMP වෙත දැනටමත් පැමිණිලි ඉදිරිපත් කර ඇති නමුත් තම ආදරණීයයන්ගේ විස්තර ලැයිස්තුවට ඇතුළත් කර නොමැති නම් එම පවුල්වල සාමාජිකයන් හට කාරුණිකව දැනුම් දී සිටිනුයේ OMP කාර්යාලය විසින් ලැයිස්තුව යාවත්කාලීන කරමින් පවතින බවයි.

අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධ විමර්ශන කොමිෂන් සභා ගණනාවක් අතීතයේ පත් කර තිබුනද, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ තොරතුරු ඒකාබද්ධ කොට සකස් කරන ලද නිල වාර්තාවක් ශ‍්‍රී ලංකාවේ මේ දක්වා ඉදිරිපත් වී නොමැත. OMP පනතේ 10(1)(ඉ) වගන්තිය යටතේ, අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ දත්ත එක්රැස් කිරීමේ හා කේන්ද්‍රගත කිරීමේ කාර්යය OMP කාර්යාලයට පැවරී ඇත.

සිය කාර්යභාරයට ඇතුළත් වන අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් සම්බන්ධ ඒකාබද්ධ ලැයිස්තුවක් සකස් කිරීම තුළින්, විමසීම් හා විමර්ශන පැවැත්වීමට, අභ්‍යන්තර ක‍්‍රියාදාමයන් සංවර්ධනය කිරීමට සහ අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කිරීමට OMP කාර්යාලයට හැකි වනු ඇත.

අතුරුදහන් වීම් හේතුවෙන් පවුල් ඒකක හා සමාජය කෙරෙහි වන විනාශකාරී බලපෑම OMP පිළිගන්නා බවත්, එම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට සහ සත්‍යය තහවුරු කිරීමට OMP කැපවී සිටින බවත් අවධාරණය කර සිටියි. මෙම ලැයිස්තුව ශ්‍රී ලංකාවේ අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ නිල වාර්තාවක් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලියේ එක් තීරණාත්මක සංධිස්ථානයකි.

Previous articleසෞඛ්‍ය ජනරාල්ගේ නිර්දේශවලට පටහැනිව පාසල් ආරම්භ කරලා – ලංකා ගුරු සංගමය
Next articleමානව හිමිකම් කොමිසම ගැන පැතිරෙන කතාව අසත්‍යයක් !

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here