කොළඹ ජනතාව අසරණයි : මානූෂීය අර්බුදයක් – රෝසි සේනානායක

කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන පවුල් 70% ක් පමණ හුදකලා ප්‍රදේශ වල ජීවත් වන බවත් ඔවුන් ඉතාමත් අසරණ තත්ත්වයට පත් වී ඇති බවත් කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.

අත සේදීම⁣ට සබන් කැටයක් ගැනීමට නොහැකි, මුඛ ආවරණයක් මිල දී ගැනීමට නොහැකි පිරිස් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වන බව ද ඇය සඳහන් කළාය. “අත සෝදන්න සබන් කැටයක් ගන්න පළදින්න මුඛ ආවරණයක් මිල දී ගන්න නොහැකි පිරිස් කොළඹ මහ නගර සභා සීමාව තුළ ජීවත් වෙනවා. දරුවන්ට කිරි වීදුරුවක් ලබා දෙන්න, ගැබිණි මාතාවන්ට පෝෂණ මල්ලක් ලබා දෙන්න ඇති හැකි පිරිස් ඕන තරම් සිටිනවා. ඒ අයගේ උදවු උපකාර මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙනවා.” යැයි ඇය කීවාය.

ඉකුත් 17 වැනිදා කොරෝනා Antigen පරීක්ෂණය ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් සිදු කළ බව ද 25 දෙනෙකුගේ සාම්පල ලබා ගෙන එහි පළමු ක්ෂේත්‍ර පරීක්ෂාව සිදු කරනු ලැබු බව ද ඇය ප්‍රකාශ කළාය.

ඇය මෙසේද පැවසුවාය.

“පිළිකා, හෘදයාබාධ, වකුගඩු අක්‍රමිකතා වැනි නිදන්ගත රෝග වලින් පෙළෙන රෝගීන් හදිසි අවස්ථා වලදි රෝහල් ගත කිරීමට නගර සභාව වෙත ගිලන් රථ දෙකක් ලබා දෙන ලෙස රජයෙන් මා ඉල්ලීමක් සිදු කරනවා.

ඉල්ලුවේ සති දෙකයි

අවසාන මාධ්‍ය සාකච්ඡාවේදී මා කොළඹ නගරය වසා දැමිය යුතු යැයි ඉල්ලා සිටියා (1 සිට 15 දක්වා) මා නගරය තුළ තියෙන තත්ත්වය හොඳින් දන්නවා. කොළඹ නගරය සම්බන්ධයෙන් පමණයි මා කථා කළේ.

පරීක්‍ෂා කිරීම, ආසාදිතයින් හඳුනා ගැනීම, සම්බන්ධතා සොයා ගැනීම සහ නිරෝධායනය කිරීම සඳහා රජය සහ කොළඹ මහ නගර සභාව යෙදු සම්පත් දැන් සීමාව ඉක්මවා ගිහින්. නගරය ලොක්ඩවුන් කිරීම මගින් අධික ලෙස ජනාකීර්ණ නගරයක් වන කොළඹ සහ නගරයෙන් පිටත පැතිරීම නැවැත්වීම සඳහා හැකි ⁣වේයැයි විශ්වාස කරනවා. එවිට කොවිඩ්-19 අසාදිත පුද්ගලයින් සහ ඔවුන්ගේ සම්බන්ධතා පරීක්ෂා කිරීම හා හුදකලා කිරීම ක්‍රමානුකූලව කිරීමට බලධාරීන්ට හැකි වේවි.

මම කැමති නැහැ කොරෝනා වෛසරස් තත්ත්වය හේතුවෙන් රජය පසුබෑමකට ලක් වෙනවාට. මටත් අවශ්‍ය රජය මේ තත්ත්වය ඉතාමත් සාර්ථක ලෙස පාලනය කරනවා දකින්නයි. මේ හේතුව නිසාම තමයි මම විශේෂයෙන්ම රජයෙන් ඉල්ලීමක් සිදු කළේ අවම සති දෙකක කාලයක්වත් කොළඹ නගර සභා සීමාව හුදකලා කළ යුතුයි කියලා. මට ජනාධිපතිතුමන්ගේ අදහසත් තේරෙනවා. රටේ සාමාන්‍ය ජනතාවගේ අදහසත් තේරෙනවා. ජනතාවට රැකියා අහිමි වෙලා තියෙනවා, සුළු ව්‍යාපාර කඩා වැටිලා තියෙනවා, දෛනික වැටුපෙන් ජීවත් වන පිරිස් අසරණ වෙලා තියෙනවා, මේ අසරණ ජනතාව ජීවත් වෙන්නේ කොහොමද කියන සිතුවිල්ල මටත් තියෙනවා. මම දීර්ඝ කාලයක් කොළඹ නගර සභා සිමාව හුදකලා කරන්න කියන්නේ නැහැ. අවම සති දෙකක කාලයක් කොළඹ නගර සභා සීමාව හුදකලා කර දැඩි සංචරණ සීමා පනවලා මහජනතාවට ජීවත් වීමට නිසි ක්‍රමවේදක් සකසා අපි සැලසුමකට අනුව කටයුතු ක⁣ළොත් මේ තත්ත්වය අපිට සාර්ථක ලෙස පාලනය කර ගැනීමට හැකි වෙයි කියලා මම විශ්වාස කරනවා.

මානුෂීය අර්බුදයක්

මේ අතර, කොවිඩ් 19 වසංගතයේ ප්‍රතිඵල හේතුවෙන් අපි නගරයේ දැවැන්ත මානුෂීය අර්බුදයකට මුහුණ දී සිටිනවා. COVID-19 හි ආර්ථික බලපෑම හේතුවෙන් කිව නොහැකි දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින අපගේ සෙසු පදිංචිකරුවන්ට උදව් කිරීමට ඉදිරිපත් වන ලෙස මා හැකි පිරිසගෙන් ඉල්ලා සිටිනවා. කරුණාකර මෙම අවස්ථා⁣වේදී ඔබේ “අසල්වැසියාට” උදව් කරන්න.

අත්‍යවශ්‍ය පවුල් සඳහා වියළි ආහාර ලබා දීම සඳහා භාවිත කරන නගරාධිපති අරමුදලට මුදල් හෝ වෙනත් ආකාරයකින් දායක විය හැකියි. සෘජුවම දායක විමට හෝ කොළඹ මහ නගර සභාව සමඟ අත්වැල් බැඳ ගත හැකි පිරිස්වල සහාය අප අපේක්ෂා කරනවා.

ඔබගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙමින් සැක සහිත සහ COVID-19 රෝගීන්ට අනුකම්පාවෙන් ප්‍රතිකාර කරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටීමට මම මෙය අවස්ථාවක් කරගන්නවා.

මධ්‍යම රජයට බරක් නොවී ජනතාව තෝරා පත් කරගත් නගරාධිපතිනිය හැටියට ජනතාව ජීවත් කරවීම, ජනතාව ආරක්ෂා කිරීම, ඔවුන්ගේ අවශ්‍යතා සොයා බැලීම මගේ වගකීමක්. මේ අසරණ ජනතාවට සේවක් කිරීමට මම නිරතුරුවම කැප වෙනවා.

මමත් නාගරික මන්ත්‍රීවරුන් 119 දෙනාත් එකතුව මුදල් කමිටුවේදී තීරණයක් ගත්තා කොළඹ නගර සභා සීමාව තුළ ජීවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් වටිනා වියළි ආහාර ලබා දීමට. ඊළඟ සතිය වන විට එම වියළි ආහාර ජනතාව වෙත ලබා දීමට කටයුතු කරනවා. එම වියළි ආහාර පාර්සල් පවුල් 100,000 ක් සඳහා ලබා දීමට පෞද්ගලික අංශයේ සහය අපේක්ෂා කරලා මම ලිඛිතව ඉල්ලීම් සිදු කරලා තියෙනවා.

කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීමේ කටයුකු මල නල පද්ධති සුද්ධ පවිත්‍ර කිරිම් කටයුතු අවදානම් තත්ත්වය හමුවේදීත් අපගේ සේවකයන් අඛණ්ඩව සිදු කරනවා. කොළඹ නගර සභාවේ සේවය කරන කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සිටින පවුල් සදහා වියළි ආහාර ලබා දීමට කටයුතු කරලා තියෙනවා වගේම කොළඹ නගර සභා සීමාව තුල ජීවත් වන ලක්ෂ 6 ½ ක් වූ සමස්ථ ජනතාවටම නොමිලේ මුඛ ආවරණ ලබා දීමටද ඉදිරියේදී කටයුතු කරනවා.

නගර සභා සීමාව තුළ ජීවත් වන කාන්තාවන් හට මුඛ ආවරණ මැසීම ස්වයං රැකියාවක් ලෙස සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට මම මුලික වී කටයුතු කරනවා. මේ වන විට පවුල් සැලසුම් සංවිධානය මඟින් සෞඛ්‍ය උපකරණ කට්ටල 4,000 ක් ලබා දී ඇති අතර එය පෞද්ගලික අංශයේ සහය ඇතිව වැඩි කර ගැනිමට කටයුතු කරනවා.

දේශීය වෛද්‍ය දෙපාර්තමේන්තුව සහ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හුදකලා කර ඇති ප්‍රදේශ වල ජංගම වෛද්‍ය සායන මේ වන විට පවත්වන අතරන අතර, බාහිර රෝගීන් සඳහා ප්‍රතිකාර සිදු කරන බෙහෙත් ශාලා 27 ම විවෘත කර ජනතාවට අවශ්‍ය සේවාවන් ලබා දීමටත්, කොළඹ නගර සභාවේ ලියාපදිංචි වී සිටින රෝගීන් 21,000 ක් සඳහා නොමිලේ අවශ්‍ය බෙහෙත් නිවෙස් වෙතටම ලබා දීමට කටයුතු කරනවා.

පවුල් 13,000 ක් සඳහා මහජන ආධාර මුදල් ලබා දිමටත්, සම්මන්ත්‍රණපුර පවුල් 2500 ක් සඳහා වියලි ආහාර මලු ලබා දීමටත් කටයුතු කළා.මේ වන විට මාගේ ඉල්ලීම් මත සහෝදර රට වලින් අපිට අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ඇතුළු ආධාර ලබා දිමට ඉදිරිපත් වෙලා තිබෙනවා.ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය කණ්ඩායමට සහය ලබා දීම සඳහා කොළඹ මහ නගර සභාවේ සේවය කර විශ්‍රාම ගිය වෛද්‍යවරුන්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, හෙදියන් සහ වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දෛනික වැටුපක් මත හෝ ස්වේච්චාවෙන් සේවයට බඳවා ගැනිමටත් කටයුතු කරනවා.

අපි මේ තත්ත්වය පිළිබඳව රජයට විතරක් බර පටවලා එක එක්කෙනාව විවේචනය කිරීම නෙවෙයි කළ යුත්තේ. මේ අවස්ථාවේදී අපි සියලු දෙනාම දේශපාලනය පැත්තකට දාලා පාට පක්ෂ භේදයකින් තොරව ආගම් භේදයකින් තොරව කටයුතු කළ යුතුයි. අපි ආරක්ෂා විය යුතුයි කියන මතය අපේ හිතේ නිර්මාණය කර ගන්න. අපේ ඉදිරියට හමු වන සෑම  පුද්ගලයෙකුම කොරෝනා ආසාදිතයෙකු යැයි සිතා තමන් තමන්වම ආරක්ෂා කර ගන්න.අපි මෙලෙස කටයුතු කළහොත් කෙරෝනා වෛරස් තත්ත්වය පාලනය කරලා රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමටත් අපගේ දායකත්වය ලබා දීමට හැකි වේවි.”

 

Previous articleදුම්වැටි බදු වාසිය සමාගම්වලට පමණයි !
Next articleජලගැලුම් නිම්නයේ මාර්ගයට එරෙහිව ඇතුළෙන්ම ලිපියක්

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here