දුම්වැටි බදු වාසිය සමාගම්වලට පමණයි !

ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ලෝක බැංකුව මගින් දුම්කොළ බදුකරණය පිළිබඳව නිකුත් කර ඇති නිර්දේශ කිසිවක් දැනට ශ්‍රී ලංකාවේ අනුගමනය නොකරන බව සෞඛ්‍ය අංශ සිදු කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

දෛනිකව ශ්‍රී ලාංකිකයන් 55ක් අකල් මරණයට පත්කිරීමට දුම්බීම හේතුවන අතර, වාර්ෂිකව ශ්‍රී ලාංකිකයන් 20,000කගේ ජීවිත අකල් මරණවලට එමගින් ගොදුරු කරවන බවද සෞඛ්‍ය අංශ අනාවරණය කරගෙන ඇත.

දුම්වැටි භාවිතය ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය, ආර්ථිකය සහ ජන ජීවිතය නගාසිටුවීමට එරෙහිව බලපාන ප්‍රබලතම සාධකයක් වී ඇති බවත්, පසුගිය කෝවිඩ් සමයේදී ශ්‍රීලංකාවේ දුම්වැටි භාවිතය සීග්‍රයෙන් පහළ ගිය බවත් මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය සිදු කළ සමීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

ශ්‍රී ලංකාවේ දුම්කොළ සඳහා ආර්ථික පිරිවැය (සෞඛ්‍ය පිරිවැය, ඵලදායිතාව අහිමි වීම සහ අකල් මරණ) රුපියල් බිලියන 214 ක් වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ගණනය කර ඇති අතර, එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.6 කි. මීට අමතරව මෙරට පුද්ගලයන් දුම්වැටි සඳහා දිනකට රුපියල් මිලියන 400 ක් වැය කරන අතර, එය වාර්ෂිකව රුපියල් බිලියන 145 ඉක්මවන බවද ගණන් බලා තිබේ.

දුම්වැටි සම්බන්ධ බදු අයකිරීම් නිසි ලෙස ක්‍රියාත්මක කිරීමෙන් දුම්වැටි පරිභෝජනය අඩුකළ හැකි බව සොයාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ පවා නිකුත් කර ඇත.

ශ්‍රී ලංකාවේ දුම්වැටි මිලදීගැනීමේ හැකියාව වසර ගණනාවක් තිස්සේ ඉහළ ගොස් ඇති බව විවිධ ආයතන විසින් සිදු කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත. අනෙකුත් නිෂ්පාදනවල විට මිල, ආදායම හා උද්ධමනය සමඟ සසඳන විට දුම්වැටි සාපේක්ෂව මිල අඩු භාණ්ඩයක් බවට පත්වී ඇති බව මෙයින් අදහස් කෙරෙන අතර, ආර්ථීක විශ්ලේෂණකයන් පෙන්වා දෙන්නේ වර්තමානයේ පවතින උද්ධමනයට සාපේක්ෂව දුම්වැටි මිල සැලකිය යුතු ලෙස වැඩි කළ යුතු බවයි.

මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අධ්‍යයනය කරන  මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ පුබුදු සුමනසේකර මහතා පැවසූයේ මෙවැනි අදහසකි.

‘ශ්‍රි ලංකාවේ දුම්වැටි නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ ඒකාධිකාරය දරන්නේ ලංකා දුම්කොළ සමාගමයි. (CTC) එහි කොටස් අයිතියෙන් සියයට 84.13 ක බහුතර කොටස් ප්‍රමාණය බ්‍රිතාන්‍ය සහ ඇමරිකානු දුම්කොළ සමාගම (BAT) සතු වේ. මෙම සමාගමේ ලාභයෙන් බහුතර කොටසක් වාර්ෂිකව බ්‍රිතාන්‍යයට සහ ඇමරිකාවට ඇදීයයි.
නිශ්චිත ප්‍රතිපත්ති ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ විට දුම්වැටි පරිභෝජනය සහ එයින් සිදුවන හානිය සැලකිය යුතු ලෙස අඩු කළ හැකි බව හොඳින් තහවුරු වී තිබේ.

ඵලදායී දුම්වැටි පාලනයේ ප්‍රධාන සාධකය වන්නේ දුම්වැටි සඳහා ඵලදායී බදු අය කිරීමයි
දුම්වැටි සඳහා බදුකරණය විද්‍යාත්මකව ක්‍රියාවට නැංවීම  මඟින් රජයේ ආදායම ඉහළ නැංවිය හැකි අතර, ඒ සමගම දුම්වැටි පරිභෝජනය ද අඩු කරගත හැකිය. මෙය රජයට මෙන්ම මහජනතාවට ද ජයග්‍රාහී අවස්ථාවකි. එය රටේ ආදායම වැඩි කරන, සෞඛ්‍යය හා ආර්ථිකය

වැඩිදියුණු කරන ආයෝජනයකි.
අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ශ්‍රී ලංකාව තවමත් ඵලදායි දුම්වැටි බදුකරණ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර නොමැති බවයි. මෙමගින් රජයේ භාණ්ඩාගාරයට වාර්ෂිකව අය කර ගත හැකි රුපියල් බිලියන ගණනක් පසුගිය දශක දෙක තුළ එකතු කර ගැනීමට නොහැකි වී ඇත. දුම්කොළ සමාගමේ ලාභය ඉහළ ගිය ද, ඊට සාපේක්ෂව රජයේ ආදායම වැඩි නොවීමට මෙය හේතු වී තිබේ.
රජය විසින් දුම්කොළ බදු වැඩි කරන සෑම විටකම දුම්කොළ සමාගම ද මිලක් එකතු කර වෙළදපොළේ මිල තීරණය කරනු ලබයි.

මෙසේ සිදුකිරීමට සමාගමට ඉඩ ලැබෙන්නේ නිවැරදි ලෙස බදු වැඩි කිරීම රජය විසින් සිදු නොකරන බැවින් ය. මෙහි අවසාන ප්‍රතිඵලය වන්නේ බදු වැඩි කරන සෑම මොහොතකම වෙළෙදපොළේ මිල තීරණය කරන සමාගම අධික ලාබයක් ලැබීමයි. රජය විසින් උද්ධමනයට හා මිලදී ගැනීමේ හැකියාවට සාපේක්ෂව නිවැරදි ලෙස බදු පනවන්නේ නම් සහ වෙළෙදපොළ මිල තීරණය කරන්නේ නම් මෙසේ විදේශීය සමාගමකට රටේ මුදල් පිටතට ඇද ගැනීමට නොහැකි වනු ඇත.’

දුම්වැටි සඳහා ඵලදායී බදු ක්‍රමයක්

ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය (Institute of Policy Studies -IPS) විසින් මේ වසරේ සිදු කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ ඵලදායී බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමෙන් රටට පහත සඳහන් වැදගත් ප්‍රතිඵල ලබා ගත හැකි බවයි.

  • 2018 දුම්කොළ බදු ආදායම රුපියල් බිලියන 95 සිට 2023 වන විට රුපියල් බිලියන 132 දක්වා ඉහළ යනු ඇත.
  • දුම්වැටි පරිභෝජනය 2023 වන විට දුම්වැටි බිලියන 3 සිට බිලියන 2 දක්වා අඩු කළ හැකිය.
  • 2023 වන විට දුම්බීමේ ව්‍යාප්තිය (අවුරුදු 15ට වැඩි) සියයට 12.5 දක්වා අඩු වේ.
  • අනාගතයේදී, අකල් මරණ සංඛ්‍යාව 141,000 පමණ අඩු කර ගත හැක.

දුම්කොළ බදුකරණය නිලධාරීන් කිහිප දෙනෙකුට තීරණය කිරීමට ඉඩ දීම මෙතෙක් සිදු වූ විශාලතම දෝෂය වන අතර, එය රජයට ලැබෙන රුපියල් බිලියන ගණනක ආදායම සහ ජීවිත දස-දහස් ගණනක ඉරණම වැරදි ලෙස තීරණය කරන බවද එම ආයතන පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ කළ යුත්තේ කුමක්ද?

සෞඛ්‍ය අංශ යෝජනා කරන ආකාරයට ශ්‍රීලංකාව වහාම ක්‍රියාත්මක කළ යුතු යෝජනා මෙසේය.

  • නිවැරදි දත්ත මත පදනම්ව පාර්ලිමේන්තුව විසින් දුම්වැටිවල බදු සහ මිල තීරණය කිරීම.
  • උද්ධමනය හා ආදායමට සාපේක්ෂව දුම්කොළ බද්ද ක්‍රමානුකූලව හා නිතිපතා වැඩි කිරීම.
  • එක් එක් දුම්වැටි වර්ග සඳහා විවිධ බදු ප්‍රමාණ අය නොකර සෑම දුම්වැටි වර්ගයක් සඳහාම එකම අකාරයේ බදු ක්‍රමයක් හඳුන්වා දීම. (දැනට දුම්වැටි සඳහා අය කරන ඉහළම බදු කාණ්ඩයට සෑම වර්ගයකම දුම්වැටි බදු රැගෙන එමින් එතැන් සිට සියලුම දුම්වැටි සඳහා බදු වැඩි කිරීම)

ව්‍යාජ තර්ක

බදු වැඩි කිරීමක් අපේක්ෂා කරන සෑම අවස්ථාවකම දුම්කොළ කර්මාන්තය බදු වැඩි කිරීමට එරෙහිව ව්‍යාජ තර්ක ඉදිරිපත් කරන බව දුම්කොළ කර්මාන්ත අධ්‍යයන කේන්ද්‍රය සඳහන් කරයි.

මෙම අසත්‍යයන් අතර ‘බීඩි පරිභෝජනය ඉහළ යනු ඇත’, ‘හොර සිගරට් ජාවාරම වැඩි වනු ඇත’, ‘සිගරට් අලෙවිය විශාල ලෙස පහත වැටෙනු ඇත’, ‘රජයේ ආදායම අඩුවනු ඇත’ යනාදිය වේ. මේ සියල්ල අසත්‍ය බව ශ්‍රි ලංකාව තුළදී ඔප්පු වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.
ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, දුම්කොළ කර්මාන්තයේ සහ එහි ඒජන්තයන්ගේ බලපෑමට ලක් නොවී, දුම්කොළ පාලනයේ මෙම අත්‍යවශ්‍ය ගැටළුව විසඳීම සඳහා, පක්ෂ විපක්ෂ බේදයකින් තොරව සියලු මහජන නියෝජිතයන් අව්‍යාජව කටයුතු කරනු ඇතිද යන්න මහජනතාව විමසිල්ලෙන් බලා සිටින බවද මෙම සංවිධාන සඳහන් කරයි.

Previous articleසහරාන්ගේ බිරිඳගේ ආරක්ෂාව තර කරන්නැයි ඉල්ලයි
Next articleකොළඹ ජනතාව අසරණයි : මානූෂීය අර්බුදයක් – රෝසි සේනානායක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here