රට නරක තත්ත්වයක : වගකීම ආණ්ඩුව බාරගත යුතුයි – වෛද්‍ය ප්‍රසන්න කුරේ

මේ වන විට ඇතිව තිබෙන කොරෝනා වසංගත තත්ත්වයේ වගකීම ආණ්ඩුව ගත යුතු බවත් අද පැහැදිලිවම රට නරක තත්ත්වයක තිබෙන බවත් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රසන්න කුරේ මහතා පවසයි.

ලොක්ඩවුන් කිරීමට අවශ්‍ය වාතාවරණයක් රටේ ඇති වී තිබෙන බවද තීරණය සෞඛ්‍ය බලධාරීන් ගත යුතු බව බවද ප්‍රකාශ කළ ඒ මහතා මේ වාතාවරණය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු නැති තත්ත්වයක් බවද ප්‍රකාශ කළේය.

ඇතිව තිබෙන තත්ත්වය කොරෝනා පැතිර ගිය පළමු අවස්ථාවට වඩා භයංකාර බවත් පළමු අවස්ථාවේ පැතිරීම ගැන අදහසක් තිබූ නමුත් මෙවර පැතිරීම ගැන නිසි අදහසක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Medialk.com සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කීවේය.

එහි සම්පූර්ණ සාකච්ඡාව පහත දැක්වෙයි

ප්‍රශ්නය : කොරෝනා දැන් තත්ත්වය කොහොමද?

පිළිතුර : කොරෝනා තත්ත්වය වයිමගෙන් අහන්න කියලා තමයි දැන් කියන්න වෙන්නේ.කවුරුත් දන්නේ නෑ.හරි දත්ත මොනවද කියල කවුරුත් දන්නේ නෑ. ජනමාධ්‍ය හරහා තමයි සමහර ඒවා දැනගන්න  වෙන්නේ.

ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයත් පීසීආර් පරීක්ෂණවලින් ඉවත් වෙලා එයාලගේ පොසිටිව් වෙච්ච වාර්තා ආසාදිත ගණයට දාන්නේ නෑ කියලා.

පැහැදිලිවම දැන් කොරෝනා ව්‍යාප්තිය රට තුළ සිද්ධ වෙනවා කියලා අපිට දැනගන්න ලැබෙනවා.මේක දෙවිදියකට වෙනවා.ලොකුම පොකුර තියෙන්නේ කන්දකාඩුවල. ඊට පිටතත් විශාල වශයෙන් රෝගීන් හඳුනාගෙන තියෙනවා. එ්කත් එක්ක රටේ පැහැදිලිවම කොරෝනා ව්‍යාප්ත වෙනවා කියලා පේන්න තියෙනවා.

ප්‍රශ්නය : කන්දකාඩුවලට කොරෝනා ගියේ කොහොමද කියල අදහසක් තියෙනවද?

පිළිතුර : මම හිතන විදියට සමාජයෙන් කන්දකාඩු වලට කොරෝනා වෛරසය ගිහින් තමයි ආපහු සමාජයට ආවේ.දෙපාත්තටම මේක පැතිරෙන්න ඉඩ තියෙනවා.කොතැනින් ආවද කොතනට ගියාද කියලා කවුරුත් හරිය⁣ට දන්නේ නෑ.

අද පැහැදිලිවම රට නරක තත්ත්වයක තියෙන්නේ.ඒ දිනවල වෛරසය පැතිරු⁣ණේ විදෙස් රටවල සිටි පැමිණි අයගෙන්.නමුත් දැන් පැතිරෙන්නේ රට ඇතුළෙන්මයි.මේ වෛරසය ස්වභාවය ගත්තම මේක ඉතා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙනවා.මේ වන විට සැහෙන දුරකට පැතිරිලා තියෙනවා කියලා අපට හිතන්න පුළුවන්.

ප්‍රශ්නය : දැන් ර⁣ට ලොක්ඩවුන් කරන්න ඕන කියලා හිතනවාද?  

පිළිතුර : ඒ වාතාවරණය හොදටම රටේ ඇති වෙලා තියෙනවා.ඒ තීරණය ගන්න ඕනේ සෞඛ්‍ය බලධාරීන්.

මෙි තියෙන තත්ත්වය අනුව ගිය පාරට වඩා භයංකාරයි.ගිය පාර අදහසක් තිබ්බා මේක කොහොමද පැතිරුණේ කියල⁣ දැන් දන්නේ නෑ කෙහොමද පැතිරෙන්නේ කියලා

ගිය පාර මාර්තු 20 එහෙමත් මැතිවරණ නාමයෝජනා දුන්නට පස්සේ රටටම ඇඳිරිනීතිය දැම්මා. ඒ වෙද්දි හිටිය රෝගීන් ගණනයි දැන් මේ අලුත් රෝගීන් ගණනයි බලන්න ඕනේ.එ් වෙද්දි රටේ තිබ්බ තත්ත්වය සහ මේ දැන් තියෙන තත්ත්වය සන්සන්දනය කරලා බලන්න ඕනේ.
ඊට දින 10කට කළින් රෝගියකු හම්⁣බවෙලා තිබුණා.ඊට පස්සේ එයාගෙන් කිහිප දෙනකුට බෝ වෙලා තිබ්බා.මාර්තු 17 වෙද්දි රෝගීන් 28ක් වගේ තමයි හම්බෙලා තිබ්බේ.ජනාධිපති කිව්වේත් කොරෝනා 28කට රට වහන්න පුළුවන් ද කියලා.ඒත් ඒ පීඩනය එක්ක ආණ්ඩුවට අකමැත්තෙන් වුණත් රට වහන්න සිද්ධ වුණා.

ප්‍රශ්නය : ඔබ කියන විදියට ලොක්ඩවුන් ක්‍රමවේදය පනවන්න ඕනේ කොහොමද?

පිළිතුර : ලොක්ඩවුන් කියන්නේ වෙනස් දෙයක්.විශේෂයෙන් රටේ අත්‍යවශ්‍ය සේවා සපයන්න ඕනේ.ලොක්ඩවුන් එකකට ගියත් හරි විදියේ ලොක්ඩවුන් එකක් කරන්න ඕනේ.ගිය පාර වගේ අනිවාර්ය ඇඳිරිනීතියක් නැතිව. ජනතාවට අත්‍යවශ්‍ය දේවල් ගන්න අවස්ථාව දෙන්න ඕනේ.ගියපාර ඇතිවෙච්ච තත්ත්වය අපි දන්නවනේ.කන්න නැති වුණා. බෙහෙත් නැතිවුණා.අත්‍යවශ්‍ය දේවල් නැති වුණා. එහෙම නොවෙන්න හරි ක්‍රමවේදයක් හදාගන්න ඕනේ.

අත්‍යවශ්‍ය සැපයුම් ජාලයක් සිද්ධ වෙන්න ඕනේ. ගෙදරින් එකකෙනෙක්ට විතරක් හරි යන්න දෙන්න ඕනේ අත්‍යවශ්‍ය දේවල් ගන්න.වචනේ පරිසමාප්ත අර්ථයෙන් ලොක්ඩවුන් එකක් තමයි වෙන්න ඕනේ.

ප්‍රශ්නය : ලංකාවේ කොරෝනා පාලනයේදී තිබ්බ අඩුපාඩුකම් මොනවද?

පිළිතුර : ශ්වසන රෝග ලක්ෂණ සහිත රෝගීන් සඳහා ප්‍රතිකර්ම ක්‍රමවේදයකට යන්න ඕන.දැනට එහෙම දෙයක් නැති එකත් මේකට අඩුපාඩුවක්.එහෙම වැඩ පිළිවෙලක් තියෙනවනම් මෙි වෙලාවෙි ශ්වසන රෝග තියෙන අය පරීක්ෂා කරන්න ඕනේ පුළුවන් තරම්.මුල ඉඳන්ම තිබ්බ ප්‍රශ්නය ටෙස්ටින් අඩුකම. සාමාන්‍යයෙන් පිළිගැනීමක් තියෙනවා දවසට 5000ක් පීසීආර් පරීක්ෂණ කරන්න ඕනේ නියම දත්ත බලාගන්න. සාමාන්‍යයෙන් පරීක්ෂණ 1000ක් වගේ තමයි දැන් සිදු කෙරෙන්නේ.ඒ කියන්නේ කරන්න ඕන ගණනෙන් පහෙන් එකක් තමයි වෙන්නේ.

අනිත් එක මේක ශරීරගත වුණ පලියටම රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ.සියයට විස්සකට රෝග ලක්ෂණ පෙන්වන්නෙම නෑ.සියයට 70කට පෙන්වන්නේ අඩු රෝග ලක්ෂණ.මෙහෙම වුණාම රෝගය පාලනය කරගැනීමේ අමාරුවක් තියෙනවා.මේක ගැන සැලකිලිමත් වුණේ නැති වීමත් එක අඩුපාඩුවක් සහ මෙහෙම පාලනය නොවෙන්න එ්ක හේතුවක් වෙන්න පුළුවන්.
ඒ අඩුපාඩුකම් මේ දැන් තියෙන තත්ත්වය ඇතිවෙන්න එක හේතුවක්.

ප්‍රශ්නය : මේක දෙවැනි රැල්ලද නැත්නම් පළවෙනි රැල්ලේ දිගුවක්ද?

පිළිතුර : ඒ මත දෙකම තියෙනවා.නමුත් ඒක සෞඛ්‍ය බලධාරීන් පැහැදිලිව කියන්න ඕනේ. එයාලා ගාව තමයි සංඛ්‍යා දත්ත තියෙන්නේ. අපේ ඔළුවට ආව පලියට කියන්න බෑ.

WHO මාර්ගෝපදේශ සමග වැඩ කරන්නේ එයාලා. එයාලා තමයි ⁣මේක හරියට දන්නේ. එයාලා පැහැදිලි උත්තරයක් දෙන්න ඕනේ.මම විමසීමක් කළා මේ ගැන. නමුත් තාම පැහැදිලි උත්තරයක් ලැබුණේ.නෑ.මෙි දෙක අතර වෙනසක් තියෙනවා.

මේක පළවැනි එකේ දිගුවක් වුණත් දෙවැනි රැල්ල වුණත් පළවැනි අවස්ථාවෙන් අපි ඉගෙනගත්ත පාඩම් ප්‍රමාණයක් තියෙනවා.අපි එ්කෙන් පාඩම් ඉගෙනගත්ත ද කියන එක ප්‍රශ්නයක්. පාඩම් ඉගෙනගත්තනම් ඒවා ක්‍රියාත්මක කරන්න ඕන.මටනම් පේන්නේ පාඩම් ඉගෙන ගෙන නෑ වගේ. මේ වෙලාවේ විශාල වශයෙන් රෝගය පැතිරෙනවානම් මේ වෙනකො⁣ට රටේ තියෙන ප්‍රතික්‍රියාව මොකද්ද කියන එක ප්‍රශ්නයක්.

හොදම උදාහරණය තමයි.පළවෙනි අවස්ථාවේ දී නිවසට වෙලා ඉන්න කිව්වා.එතන්ට යන්න දැන් ලෑස්තිද?එ්ක දැන් වෙනවද?. දෙවැනි එක සමාජ දුරස්ථභාවය. එ්ක එහෙම වෙන්නේ නෑ දැන්. තුන්වැනි කාරණය තමයි අවශ්‍යනම් ලොක්ඩවුන් එකකට යන්න සිදුවීම.එ්ක ප්‍රවේශමෙන් කරන්න ඕන.ගියපාර තිබ්බේ ලොක්ඩවුන් නෙමෙයි ඉස්සෙල්ලා කිව්වා වගේ ඇදිරිනීතියක් තමයි තිබ්බේ.

ප්‍රශ්නය : මේ වෙද්දි සමාජ දුරස්ථභාවය සිදුවෙනවා කියල හිතනවාද?

පිළිතුර : සමාජ දුරස්ථභාවය දැන් කොහොමද වෙන්නේ කිව්වොත් පොදු ප්‍රවාහන සේවා වල ඒ තත්ත්වය තියාගන්න බෑ. ලංකාවේ ඒක ප්‍රායෝගික නෑ.ඡන්ද කටයුතුවල මීටරය පරතරය නෑ. සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේ නෑ. සුපුරුදු විදියට පොරකන තත්ත්වයක් තියෙනවා.අපි ඒක දකිනවා.විශාල ආකාරයෙන් පැවැත්වුණ මළ ගෙවල් පසුගිය කාලේ දකින්න ලැබුණා.

හොඳට කොරෝනා පාලනය කරපු නවසීලන්තයේ රටේ සෞඛ්‍ය උප ඇමතිව තනතුරින් පහලට දානව කොරෝනා නීති කැඩුවා කියලා.පවුල එකුක බීච් එකට ගියා කියල.නමුත් අපේ රටේ ඉහලම නිලධාරීන් තමයි මේවා උල්ලංඝණය කරලා වැරදි ආදර්ශයක් සපයන්නේ.සමාජ දුරස්ථභාවය වගේ දේවල් නැතිවෙන්න ඒකත් හේතුවක්.

අනිත් කාරණය මේ වෙද්දි මැතිවරණ උවමනාවක් තියෙනවා රජය පැත්තෙන්.මෙතනදි අහන්න ඕනේ මැතිවරණය තියන්න පුළුවන් කාල වකවානුවක්ද මේ කියලා.

ප්‍රශ්නය : මේක ඡන්දයකට යන්න සුදුසු වෙලාවක්ද?

පිළිතුර : පැහැදිලිවම ඡන්දයට යනවානම් මේ වෙලාව කොහෙත්ම සුදුසු තත්ත්වයක් නෙමෙයි.ගිය පාර කල් ගියා වගේම දවසක් දෙකක් කල් ගියොත් වැඩක් නෑ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ. ගිය පාර වගේ අශ්වය අල්ලන්න විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙනවා.

මැතිවරණයක් තියෙනවනම් කාර්ය මණ්ඩලය පාවිච්චි කරන්න ඕනේ.ලක්ෂ ගණනක කාර්ය මණ්ඩලයක් මේකට සම්බන්ධ වෙනවා. එයාලා අසීරුතා රැසක් මැද ඉඳුම් හිටුම් පවා නැතිව සමහර විට මේකට කැප වෙන්න ඕනේ.එතකොට අත්වැරදීම් වෙන්න පුළුවන්.විශාල වශයෙන් හමුදාව පොලිසිය දාන්න වෙනවා.ඒ අය යොදවන්න පුලුවන් ද මේ තත්ත්වය මත කියන එකත් ප්‍රශ්ණයක්. දැනටත් තියෙන තත්ත්වය අනුව භාගෙට භාගයක් හමුදාවේ අය තමයි ආසාදනය වෙලා ඉන්නේ.

ප්‍රශ්නය : මේ තත්ත්වය ⁣මැතිවරණ ප්‍රචාරණවලට කොහොමද බලපාන්නේ?

පිළිතුර : එතනදි ඊළඟ කාරණය තමයි මෙි මැතිවරණ ක්‍රියාවලියට සහභාගි වී සිටින අයට වෙන බලපෑම. උදාහරණයක් විදියට මැතිවරණයට ඉදිරිපත් වෙන අපේක්ෂකයෝ. මාත් මෙවර මැතිවරණයට අපේක්ෂකයෙක් විදියට ඉදිරිපත් වෙනවා. මේ වෙලාවේ අපිට සාමාන්‍ය විදියට ප්‍රචාරණ කටයුතු කරන්න පුළුවන්ද කියන එක ගැටළුවක්.

මැතිවරණ දැනුවත් කිරීම් සඳහා ගෙයින් ගෙට යන්න නීතිමය බාධාවක් නෑ.නමුත් සදාචාරාත්මක කාරණාවක් තියෙනවා. ගේකට යනකොට සැකයෙන් බලනවද දන්නේ නෑ අපි ගැන කොරෝනා අරගෙන එනවද කියලා.තව අපි යන ගෙවල් වලින් කොරෝනා බෝ වෙලා අපි අතින් අනෙක් අයට බෝ වෙනවාද කියන එක ගැන සැකයක් ඇති වෙන්න පුළුවන් .මේ තත්ත්වය බැහැර කරන්න බෑ. මෙම තත්ත්වය මැතිවරණ ප්‍රචාරණවලට බලපාන හැටි ගැන හිතන්න ඕනේ.

ඊළඟට පොදු ජනතාවට බලපාන හැටි ගැන සලකා බලන්න ඕනේ. කොරෝනා තත්ත්වයක් රටේ ඇති වුණොත් ඒ වගේ තත්ත්වයකදී මිනිස්සු කොහොම හැසිරෙයිද කියන එක හිතන්න වෙනවා. ජීවිත අවදානමට දමාගෙන ඡන්ද පොලවල්වලට යයිද? ඉතාමත් අඩු ඡන්ද ප්‍රමාණයකින් තමයි එතකොට ආණ්ඩු පත් වෙන්නේ.

මේ වගේ දෙයක් වුණා 88 කලේ ජේවීපි කලබල කාලේ. තර්ජන මැද්දේ මිනිස්සු ඡන්දපොලට ගියේ නෑ.ඒකත් එක්ක බලයේ ඉන්න ආණ්ඩුවට විශාල වාසියක් ලැබෙනවා.මේ වගේ කාරණා සැලකිල්ලට ගන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා.කරන අය දේශපාලන පක්ෂ සිවිල් සංවිධාන මේ ගැන කතා.කරන්න ඕනේ.⁣දැනට ඒ වගේ දෙයක් වෙන්නේ නෑ.

අපි මේ ඉන්නේ ගිනි කන්දක් උඩ. කොයි වෙලේ හරි මේක පුපුරනවා කියලා හැමෝම දන්නව. නමුත් එ් කාරණය ගැන සැලකිල්ලට ගන්නැතිව මේ ගිනිකන්ද උඩ සාදයක් දාන්න සැලසුම් කරනවා

ප්‍රශ්නය : මේ ඇතිවුණ තත්ත්වයට වගකියන්න ඕනේ කවුද?

පිළිතුර : මේකේ වගකීම රජය විසින් බාරගන්න ඕනේ.

මම කලකට උඩදී මේ ගැන වැදගත් කරුණු වගයක් කිව්වා.පස් වැදෑරුම් වගකීම් ගැන.

එහි අංක එක පුද්ගලයාට තියෙන වගකීම – නිවසේ රැඳි සීටිම,
දෙවැනි එක සමාජ වශයෙන් තියෙන වගකීම – දුරස්ථභාවය රැකගැනීම,
තෙවැනියට වෘත්තිකයන් වශයෙන් සැපයුම් ජාලය පවත්වාගෙන යාම,
සිව්වැන්න මාධ්‍ය වශයෙන් රෝගින් හංවඩු නොගැසීම,
පස්වැනියට රජය හැටියට නිවැරදි තීරණ ගැනීම.

මෙි කාරණා හරියට ක්‍රියාත්මක වෙන්න ඕනේ මේක සාර්ථක වෙන්න නම්.මේකේ වගකීම හැමෝටම තියෙනවා.

වැදගත්ම වගකීම රජයට තියෙන්නේ.ඒ තමයි රජය හැම තිස්සෙම නිවැරදි තීරණ ගන්න ඕනේ.ගිය පාරත් රට වහන්න ඕනේ වෙලාවට වැහුවේ නෑ.කෙරෙන්න ඕන දේවල් වෙලාවට සිද්ධ වුණේ නෑ.විශේෂයෙන් ඇතිවුණ තත්ත්වය ගැන පසු විපරම් කළේ නෑ.පිටරටවල් වල පැතිරෙන ආකාරය ගැන මොනිටර් කළේ නෑ.

වගකිවයුතු රජයක් නම් කළින් අත්වැරද්දක් වුණානම් ඒක හදාගෙන යන්න ඕනේ.

කොරෝනා සම්බන්ධ දේවල් ගැන රජය දැනුම්වත් කරන්න ඕනේ.මෙි වේලාවෙි රජය දැනුම්වත් කරන්නේ නැති එක ප්‍රශ්නයක්.

ඉංග්‍රීසි කියමනක් තියෙනවා Intergrity of the most powerful governments is tested by the smallest organism කියලා.

උදාහරණයක් විදියට ගත්තොත් ඉතාමත්ම බලගතු රජයක ශක්තිය පරීක්ෂා කරන්නේ ඉතාමත් පුංචි ක්ෂුද්‍ර ජීවියෙක්. ඒක ඉතිහාසයේ පුරාම එහෙමයි.මැලේරියාවෙන් ශිෂ්ටාචාර නැතිවුණා.එක එක ලෙඩවලින් රාජධාන නැතිව⁣ලා ගියා.මේ පාර මුහුණ දෙනවා කොරෝනා වලට.

මේ වෛරසයේ ස්වභාවය, ව්‍යාප්තිය සහ ගන්න තියෙන පියවර සීමිතයි කියන එක දැනගන්න ඕනේ.ඖෂධ නැත්නම් එන්නත් නැත්නම් වෛරසයෙන් වැළකෙන එක තමයි කරන්න තියෙන එකම දේ කියලා දැනගන්න ඕනේ.ඒ පිළිබඳ රජය දැනුම්වත් කරන්න ඕන.නැත්නම් ආයේ මැසිවිලි ලැබෙනවා ඒ දැනුවත් කිරීම සැලකිල්ලට ගන්නෑ කියලා.ඒක සත්‍යයතාවක් නැත්තෙම නෑ.

PHI සංගමය පැහැදිලිවම කියනවා විධිවිධාන හදල ඇමතිට දීලා විශාල කාලයක් කියලා.කරන්න ඕන දේවල් ක්‍රියාත්මක කරන්න ඕනේ.

Previous articleමාතලේ ගම්මිරිස් ඉඩම සහරාන්ගේ නෙමෙයි : පත්තර බොරු දාලා
Next articleමාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතන නඩුව අවසන් – නියෝග දුන් පිරිස නිදහස් 

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here