නිරෝධායන නීති ගැසට්ටුව පාර්ලිමේන්තුව‌ට අදාළ නෑ : සෞඛ්‍ය ඇමතිනි

නිරෝධායන නීති ගැසට්ටුව පාර්ලිමේන්තුවට අදාළ නොවන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඒ මහත්මිය මෙසේ පැවසූවේ නිරෝධායන නීති ගැසට් නිවේදනය අනුව පාර්ලිමේන්තුවේ සමාජ දුරස්ථභාවය සකස් කරන තුරු පාර්ලිමේන්තුව කල් දමන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළීතුරු දෙමිනි.එම ගැසට්ටුවේ පොදු ස්ථානය යන්න අර්ථ නිරූපනය කර ඇති බවද පොදු ස්ථානය ලෙසට හදුන්වා දී ඇති ස්ථානවලට පාර්ලිමේන්තුව ඇතුළත් නොවන බව ද ඉන් අදහස් වන්නේ පිටත ස්ථාන ගැන බව ද ඒ මහත්මිය කීවාය.

එමෙන්ම ප්‍රේමදාස මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ පාර්ලිමේන්තු රැස්වීම් අවස්ථාව තාවකාලිකව නතර කර දුරස්ථභාවය ස්ථාපනය කර ගැසට් පත්‍රයේ රෙගුලාසිවලට අනුව රැස්වීම ක්‍රියාත්මක කරන ලෙසයි. නමුත් ඊට පිළිතුරු දෙමින් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ ලන්ඩන් නුවරට බෝම්බ ප්‍රහාර එල්ල වන විටත් පාර්ලිමේන්තුව රැස්වු බවත් ඒ නිසා පාර්ලිමේන්තුව කල් නොදාන බවත්ය.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ ඇතිවූ සංවාදය

සජිත් ප්‍රේමදාස – කරුණාකර මේ රෙගුලාසිවල චක්‍රලේඛවල තිබෙන සමාජ දුරස්ථභාවය ස්ථාපනය වන ආකාරයට මේ පුටු ටික සකස් කරලා ඉන්පසුව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යමු

පවිත්‍රා වන්නිආරච්චි – කථානායකතුමනි මම ගරු විපක්ෂ නායක තුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මේ ගැසට් නිවේදනය ඔබතුමා හරියට කියවන්න. ඒකේ පොදු ස්ථානය කියන්නේ කොතනද කියන එක හරියටම ඒකේ අර්ථ නිරූපනය කරලා තියෙනවා. ඒකට පාර්ලිමේන්තුව ඇතුළත් වන්නේ නෑ.

සජිත් ප්‍රේමදාස – මම ස්තූතිවන්ත වෙනවා මුළු රට ඉදිරියේම පවිත්‍රා ඇමතිතුමිය කියනවා පාර්ලිමේන්තුව ඇතුළට එක නීතියක් එළියට එක නීතියක්.

පවිත්‍රා වන්නිආරච්චි – පොදු ස්ථානය කියන්නේ කුමක්ද කියලා එම ගැසට් පත්‍රයේ අර්ථ නිරූපනය කරල තියෙනවා. ඒ අර්ථ නිරූපනයට මේ පාර්ලිමේන්තුව වගේ තැන් ඇතුළත් වෙන්නේ නෑ එලියේ තැනුයි පොදු ස්ථාන කියලා අර්ථ නිරුපනය කරලා තියෙන්නේ.

සජිත් ප්‍රේමදාස – මෙතුමියගේ රෙගුලාසි අනුව එතකොට අපි මේවා (මුඛ ආවරණ) ඉවත් කරගෙන කතා කරන්න පුළුවන්ද?

පවිත්‍රා වන්නිආරච්චි – ඔබතූමාගේ වගකීමක් තියෙනවා මේ රටේ පුද්ගලයෙක් විදියට සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න. වගකීමකින් තොරව පිළිපදින්නේ නැත්නම් ඒක ඔබතුමාගේ රටට තියෙන ආදරය ගැන බලාගන්න තියෙන මිම්ම.

සජිත් ප්‍රේමදාස – එක අතකින් මෙතුමිය කියනවා මේ ගැසට් පත්‍රය සහ නියෝග මේ ස්ථානයට අදාළ නෑ මොකද මේක පොදු තැනක් නෙමෙයි කියලා. තවත් පැත්තකින් එතුමිය අපිට වගකීමෙන් හැසිරෙන්නලු. මොකද්ද මේ දෙබිඩි කතාව.

පවිත්‍රා වන්නිආරච්චි – ගරු කතානායකතුමනි මේ ස්ථානයට ඒ ගැසට් පත්‍රය අදාළයි. මෙතුමා ගැසට් පත්‍රය කියවන්නේ නැතුව මෙතැනට ඇවිල්ලා. ගැසට් පත්‍රයේ පොදු ස්ථානයේ අර්ථ නිරූපනය කරලා තියෙන්නේ එළියේ පරිශ්‍රයක් ඒක නිසා ඒ අර්ථ නිරූපනය හරියට කියවගන්නැතුව තේරුම් ගන්නැතුව පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන එක වැරදියි

සජිත් ප්‍රේමදාස – මම මෙයට උත්තර දෙන්න යන්නේ නෑ මොකද එතුමියගේ කොහෙද යන්නේ මල්ලේ පොල් කතාව මුළු රටම දැක්කා. මම ඔබතුමාගෙන්(කථානායකගෙන්( ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුව රැස්වීම් අවස්ථාව තාවකාලිකව නතර කරලා මේ දුරස්ථභාවය ස්ථාපනය කරලා .මේ ගැසට් පත්‍රයේ රෙගුලාසිවලට අනුව මෙ රැස්වීම ක්‍රියාත්මක කරන්න. ඒකයි අපේ ඉල්ලීම

කථානායක – විපක්ෂ නායකතුමාට මතක් කරන්න කැමතියි දෙවන ලෝක යුද්ධ සංග්‍රාමයේ ලන්ඩන් නුවරට බෝම්බ වරුසාවක් වැටෙද්දිත් පාර්ලිමේන්තුව රැස්වුණා. ඒ නිසා පාර්ලිමේන්තුව අපි කල් දාන්නේ නෑ,

රවුෆ් හකීම් – විශේෂයෙන් අපි දකිනවා ජාත්‍යන්තර වශයෙන් සෙසු පාර්ලිමේන්තුවල මෙවැනි නියෝග ක්‍රියාත්මක වෙනවා. ඔබතුමා මේක පොඩ්ඩක් ඊට වඩා ගැඹූරට සලකා බලා මේ පිළිබද මොකද අපෙන් කෙනෙකුට දැන් කොරෝනා හැදුණනම් ඔබතුමා වගකියනවාද? වගකියන්න වෙනවනේ. ඔබතුමා මේක විහිළුවට ගන්නේ නැතිව තීරණයක් ගන්න පාර්ලිමේන්තු අපේ පක්ෂ නායකවරුන්ගේ රැස්වීමේදී.

කථානායක – ඒක පක්ෂ නායක රැස්වීමේදී අපි කතා කරමු

Previous articleනීතිපති කියපු විදිහට විස්ස සංශෝධනය නොකළත්, දැන් කරන්න දෙයක් නෑ – ආචාර්ය නිහාල් ජයවික්‍රම
Next articleකදිරගාමර් ඝාතකයන් ගැන අගමැති පාර්ලිමේන්තුවට කිව්වේ ඇත්තක්ද ?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here