පොලිසිය අයි.සී.සී.පී.ආර් පෙන්වා කැඳ බෙදූ පිරිස රිමාන්ඩ් කරවයි

(තරිඳු ජයවර්ධන)
මිය ගිය ඥාතීන් සිහිකළැයි අත්අඩංගුවට ගත් සාම්පූර් හතර දෙනා ලබන 27 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මුතූර් මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙම පිරිස අයි.සී.සී.පී.ආර් පනත යටතේ ගැණෙන වරදක් කර ඇත්දැයි සෙවීමට විමර්ශනය කරන හෙයින් ඔවුන් රිමාන්ඩ් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය.
පොලිසිය ඔවුන් අධිකරණයට ඉදිරිපත් කළේ උසාවි නියෝගයක් කඩ කල බව සහ පොලිස් රාජකාරියට බාධා කළ බව කියමිනි.  දණ්ඩ නීති සංග්‍රහයේ 32 වගන්තිය සමග කියවෙන 343, 314, 315, 185 සහ 486 යටතේ දඬුවම් කළ හැකි වැරදි මෙම පිරිස සිදු කළ බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.
මෙලෙස රිමාන්ඩ් කළ පිරිස අතර කාන්තාවෝ තිදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙක් සිටිති. කාන්තාවන් තිදෙනා අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක (ප්‍රවේශය අපේක්ෂිත) ද සිටින්නීය.
මෙම පිරිස ඊයේ තම මියගිය නෑදෑයන් සිහි කරමින් කැඳ බෙදා දීම හේතුවෙන් අත්අඩංගුවට ගැණිනි. අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ඊයේ රෑ පැමිණීමද විශේෂත්වයකි. පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගත්තේ කැඳ බෙදා දෙන අවස්ථාවේ නොවන අතර කැඳ බෙදාදීම අවසන්වී රාත්‍රී ඔවුන් නිවාසවලට වී සිටියදී
ඔවුන් අත්අඩංගුවට ගනිද්දී පොලිසිය ඔවුනට අඩත්තේට්ටම් කළ බව ද වාර්තා විය. කාන්තාවන්ට අඩත්තේට්ටම් කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැත.
පොලිසිය මෙය එල්ටීටීඊ සැමරුමක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර තිබුණු අතර මෙය හුදෙක් තම මිය ගිය ඥාතීන් සැමරීමක් පමණක් බවත්, මිය ගිය අය සිහිකරමින් කැඳ පානය කිරීම හෝ බෙදීම වරදක් වන්නේ කෙසේද යන්නත් ප්‍රදේශවාසීහු ප්‍රශ්න කරති.
මානව හිමිකම් ක්‍රියාධර රුකී ප්‍රනාන්දු මහතා ඊයේ (12) සටහන් රේඩියෝ සමඟ අදහස් දක්වමින් පැවසුවේ මහවිරු සැමරුම සහ මැයි 18 ආසන්නයේ සිදු කරන සිහි කිරීම් යනු  එකිනෙකට වෙනස් සිහිකරීම් දෙකක් බවයි. කෙසේ වෙතත් පොලිසිය ඒ දෙකෙහි වෙනස නොහඳුනන බව මෙම අත්අඩංගුවට ගැනීම්වලින් පෙනී යයි.
සාම්පූර්හි පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඒකපාර්ශවිකව වැරදි කරුණු වාර්තා කර අධිකරණ නියෝගයක් ලබාගෙන තිබිණි. දෙමළ ජනයාට තම මිය ගිය නෑදෑයන් සිහි කිරීමට නොදීම බරලතල මානව හිමිකම් කඩ කිරීමක් සේ සැලකිය හැකිය. පසුගිය වසර කිහිපයේම ස්ථාන රැසක මෙලෙස සාමකාමී සිහිකිරීම්වලට පොලිසිය බාධා කරන ආකාරය දක්නට ලැබිණි.
උතුරේ පමණක් නොව දකුණේ මිය ගිය පිරිස් සමරමින් අවස්ථා ගණනාවකදී සිහි කිරීම් වැඩසටහන් පැවැත්වේ. ඉල් මහ විරු සමරුව, මැයි 18 සමරුව, අරං තලා භික්ෂු ඝාතන සමරුව ඉන් කිහිපයකි.
Previous articleවීසා ගනුදෙනුවේ කතාව මුල සිට : වීඑෆ්එස් වෙනුවට වෙනත් සමාගමක්
Next articleයළිත් කොටි ගේන්න වලිකන ශ්‍රී ලංකා පොලිසිය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here