ජනපති මන්දිරයට ඇතුළුවීම ; තෝරාගත් පිරිසක් ගැනීම ගැන මහේස්ත්‍රාත් ප්‍රශ්න කරයි

කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරයට ඇතුළුවූ බව කියමින් තෝරාගත් පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේ කුමන පදනමකින්දැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (12) ප්‍රශ්න කළේය.
ජනාධිපති මන්දිරයට ලක්ෂ ගණනක් ඇතුළු වූ බවත්, එදින උද්ඝෝෂණ සංවිධානය කළ පිරිස් අතර වර්තමාන ජනාධිපතිවරයාගේ පාර්ශ්වයේ පිරිස් පවා සිටින බවත්, එසේ තිබියදී තෝරාගත් පිරිසක් පමණක් අත්අඩංගුවට ගන්නා බව පෙනෙන බවත් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළුවීම යැයි කියමින් ඊට ඇතුළු වූ ලක්ෂ ගණනක පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නේදැයි ප්‍රශ්න කළ මහේස්ත්‍රාත්වරයා එය ප්‍රායෝගික නොවන ක්‍රියාවක් බව පෙන්වා දුන්නේය. ජනාධිපති මන්දිරයට ඇතුළු වී යම් නීති විරෝධී කාර්යයක් කළේ නම් එලෙස කළ පිරිස් පමණක් සාක්කි අනුව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සුදුසු බව ද මහේස්ත්‍රාත්වරයා කීවේය.
කොටුව මහේස්ත්‍රාත්වරයා ඒ බව කීවේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇතුළුවීයැයි කියන සිද්ධියේ 21 වැනි සැකකරු ලෙස පොලිසිය විසින් නම් කළ ජීවන්ත පිරිස් පියනම අද (12) කොටුව මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටි අවස්ථාවේදීය.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පෙරේරා කරුණු දක්වමින් ප්‍රකාශ කළේ ජූලි නව වැනිදා ජනතාවට ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළුවීමට මෙම පියනම ආරාධනා කළ බවයි. ඔහු ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී මන්දිරයේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඇතැයි ද, එය ජාත්‍යන්තර මාධ්‍යවල පවා ගිය නිසා ශ්‍රී ලංකාවේ නමට කැළලක්යැයි ද පොලිස් පරීක්ෂකවරයා කීවේය. ජනාධිපති මන්දිරයට අයුතු ඇතුළුවීමට ආරාධනා කළ 11 දෙනකු හඳුනාගෙන ඇතැයි ද, මෙම පියනම ඉන් එක් අයකුයැයි ද පොලිසිය සඳහන් කළේය.
පියනම වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අල්සකුලරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ශිරාස් නූර්දීන්, නීතිඥ නුවන් බෝපගේ, නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ ඇතුළු නීතිඥවරු කණ්ඩායමක් පෙනී සිටියේය. ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න කරුණු දක්වමින් ප්‍රකාශ කළේ අරගලකරුවන් ජනාධිපති මන්දිරය අල්ලා ගත්තේ පස්වරු 1.30ට පමණ බවයි. මෙම පියනම ජනාධිපති මන්දිරයට ඇතුළු වූයේ පස්වරු 3.3ට පමණ බවත්, ඒ වන විට ලක්ෂ ගණනක් ජනාධිපති මන්දිරයට පැමිණ තිබුණු බවත් කී ජනාධිපති නීතිඥවරයා මෙම පියනම ජනාධිපති මන්දිරයේදී මාධ්‍යයට කතා කර මහජන දේපොළවලට හානි නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.
ජනතාවට පැමිණෙන ලෙස පියනම කළ ආරාධනාවේ වරද කුමක්දැයි ජන ගෝෂා නඩු තින්දුව ඇතුළු නඩු තීන්දු උපුටා දක්වමින් ජනාධිපති නීතිඥවරයා කළ ප්‍රශ්න කිරීමට පොලිසියෙන් පිළිතුරු නොලැබිණි.
අනතුරුව පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ සැකකරුවන් ඉදිරිපත් කරන්නේ නම් තෝරාගෙන නිශ්චිත පිරිසක් අත්අඩංගුවට නොගෙන එදින ඇතුළු වූ ලක්ෂ ගණනක පිරිස ඉදිරිපත් කළ යුතු බවත්, එසේ නැති නම් ඇතුළුවී අපරාධයක් කළ බවට සාක්කි ඇත්නම් ඒ අය පමණක් ඉදිරිපත් කළ යුතු බවත් ප්‍රකාශ කළේය.
අධිකරණයට බාර වූ ජීවන්ත පීරිස් පියනමට රුපියල් ලක්ෂ 05 බැගින් ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා හෙට දිනයේ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ගොස් ප්‍රකාශයක් ලබා දෙන්නැයි දැනුම් දුන්නේය.
ඊට අමතරව කොළඹ කොටුව පොලිසිය විසින් කරුණු වාර්තා කරනු ලැබ ඇති උද්ඝෝෂණයක් පැවැත්වීම සම්බන්ධ නඩුවකට ද පියනම සැකකරුවකු කර තිබුණු අතර එම නඩුවට ද රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරීර ඇප දෙකක් නියම කෙරිණි. එම නඩුවට අදාලව ලබන 17 වැනිදා කොටුව පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ජිවන්ත පීරිස් පියනම ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙළ සාමාජිකයෙකි. අවස්ථා ගණනාවකදී උද්ඝෝෂකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටි පීරිස් පියනම දීර්ඝ කාලයක සිය පුරවැසි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි කිතුණු පූජකයෙකි.

Previous articleඋදයංගට රට යන්න අවසර නොදෙයි
Next articleපොලිසිය කඳුළු ගෑස් ගැන තොරතුරු තවදුරටත් සඟවයි ; කොමිසමෙන් පොලිසියට අවවාද

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here