කොස්තාපල්ට තොරතුරු නුදුන්නොත් තැපෑලට නඩු ; කොමිසම නියෝග කරයි

පොලිස් කොස්තාපල්වරයකු විසින් තොරතුරු පනත අනුව කරනු ලැබූ ඉල්ලීමකට නිසි කාලරාමුවට අනුව තොරතුරු ලබා නොදී, එම තොරතුරු ඉල්ලීම සම්බන්ධයෙන් කොස්තාපල් රාජකාරි කරන පොලිස් ස්ථානයෙන් කරුණු විමසූ තැපැල් දෙපාර්තමේන්තුවට වහාම අදාල තොරතුරු මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව නියෝග කළේය.
එම නියෝගය අනුව තොරතුරු මුදා හැරීම පැහැර හැරියහොත් තොරතුරු පනතේ 39 වැනි වගන්තිය අනුව නිසි මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ද කොමිෂන් සභාව තීන්දු කළේය.
ඌව පළාතට අයත් පොලිසියක පොලිස් කොස්තාපල්වරයකු පුරවැසියකු ලෙස තොරතුරු දැන ගැනීමේ පනත අනුව තැපැල් දෙපාර්තමේන්තුවෙන් තැපැල් කාර්යාලයක් උප තැපැල් කාර්යාලයක් බවට පරිවර්ථනය කිරීම සම්බන්ධයෙන් කරුණු විමසීමක් කර තිබිණි.
එම කරුණු විමසීමෙන් පසු අදාල තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වනවා වෙනුවට අදාල ඉල්ලුම්කරු සම්බන්ධයෙන් විමසමින් ඔහු සේවය කරන පොලිසියේ ස්ථානාධිපති වෙත ලිපියක් යොමු කර ඇති බව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේදී අනාවරණය විය. ඒ අනුව පනතේ ප්‍රතිපාදන අනුගමනය කරමින් පොලිස් කොස්තාපල්වරයා නම් කළ නිලධාරියාට අභියාචනයක් යොමු කළත් ඊට ද නිසි ප්‍රතිචාරයක් නොලැබීම මත තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට අභියාචනයක් යොමු කර ඇත.
එම අභියාචනය පසුගියදා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති උපාලි අබේරත්න, කොමසාරිස්වරුන් වන විනිසුරු රෝහිණී වල්ගම, නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ නීතිඥ ජයත් ලියන ආරච්චි යන මහත්ම මහත්මීන් ඉදිරියේ කැඳවන ලදී.
එහිදී අභියාචක පොලිස් නිලධාරියා වෙනුවෙන් කරුණු දක්වමින් ඔහුගේ නියෝජිතයා සඳහන් කළේ තැපැල් දෙපාර්තමේන්තුව පනත උල්ලංගණය කරමින් කටයුතු කර ඇති බවයි. සියලු ලේඛන පරීක්ෂා කර බලා සියලු කරුණු සැලකිල්ලට ගත් තොරතුරු කොමිෂන් සභාව, අදාල තොරතුරු වහාම මුදා හරින ලෙස තැපැල් දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
එලෙස මුදා හැරීම පැහැර හැරියහොත් නිසි මහේස්ත්‍රාත් අධිකරණයේ තැපැල් දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරීට සහ තැපැල් දෙපාර්තමේන්තුවට එරෙහිව නඩු පැවරීමට ද තීන්දු කළේය.
Previous articleඑක්නැලිගොඩ නඩුව පවත්වාගෙන යන්න නීතිපති තීන්දු කරයි
Next articleඋදයංගට රට යන්න අවසර නොදෙයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here