ගෝඨාගෝගම ඉවත් කරන්න පොලිසියට ඇති බලය ගැන අධිකරණය ප්‍රශ්න කරයි

නිසි නීතිමය පටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ලබන 10 වනදා තෙක් ගාලුමුවදොර ,ගෝඨා ගෝ ගම, අරගල භූමියේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමෙන් වළකින බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට අවශ්‍ය උපදෙස් කඩිනමින් ලබාදෙන බව ද නීතිපතිවරයා දැනුම් දුන්නේය. නීතිපතිවරයා වෙනුවෙන් අද අභියාචනාධිකරණයේ පෙනී සිටියේ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතාය.
ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල භූමියේ තිබෙන අනවසර ඉදිකිරීම් හා බෝග වගාවන් අද පස්වරු 5 ට පෙර ඉවත් කර ගන්නා ලෙස පොලිසිය පෙරේදා නිවේදනය කළේය. එම නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා රිට් පෙත්සම් හතරක් අභියාචනාධිකරණයේ ගොනු කර තිබුණු අතර එම පෙත්සම් අද සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන අභියාචනාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවනු ලැබීය.
මිරහවත්තේ කාශ්‍යප හිමි,  ඉරෝෂ් අල්පොන්සු, අසංක අබේරත්න සහ ලහිරු ඇන්ටන් මධුෂාන් ප්‍රනාන්දු මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබිණි.  එහි වගඋත්තරකරුවන් වශයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපති, පොලිස්පති, නාගරික සංවර්ධන  අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර ඇත.
පෙත්සම සලකා බැලීමට පෙර  අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා මෙම පෙත්සම් සියල්ල ප්‍රතික්ෂේප කරන්නැයි ඉල්ලා මූලික විරෝධතා මතු කළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවක් පෙත්සම්වල කියා තිබෙන්නේයැයි ද, මූලික අයිතිවාසිකම් කඩවීම් ගැන විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නැතැයි ද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සිය මූලික විරෝධතාවයේදී ප්‍රකාශ කළේය.
තමන් සාමකාමී විරෝධයක නිරත වන බවත්, එම ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියා කිසිවක් සිදුවී නොමැති බවත් පෙත්සම්කරුවන් සඳහන් කර ඇති කරුණ අසත්‍ය යැයි කී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා, පසුගිය කාලසීමාවේ එම ප්‍රදේශයෙන් වාර්තා වූ නීතිවිරෝධී ක්‍රියා වලට අදාල වාර්තාවක් යැයි කියන ලේඛනයක් ද ඉදිරිපත් කළේය.
පෙත්සම්කරුවන් රැඳී සිටින භූමිය නාගරික සංවර්ධන අධිකාරියට අයත් වන අතර ඔවුන් පවත්වාගෙන යන අනවසර ඉදිකිරීම් නාගරික සංවර්ධන අධිකාරි පනතට පටහැනි බවත් ඔහු කීවේය.
පෙත්සම්කාරැවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සහ ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා පෙනී සිටියහ. ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ අප්‍රේල් මස 09 වැනිදා සිට මෙම අරගල භූමිය ක්‍රියාත්මක වූ බවත්, එය සාමකාමී විරෝධතාවයක් ලෙස පොලීසිය මෙන්ම නීතිපතිවරයා ද මීට පෙර පිළිගෙන තිබුණු බවත් ය. වත්මන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ අරගල භූමියේ කටයුතු සොයා බැලීම සඳහා හිටපු අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ නායකත්වයෙන් කමිටුවක් පත් කළ බවද ජනාධිපති නීතිඥවරයා කීවේය.
පෙත්සම්කරුවන් රැඳී සිටින භූමි භාගය අරගල ස්ථානය ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබූ බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා පසුගිය මාස 04 ක කාලසීමාව තුළ පෙත්සම්කරුවන්ගේ අරගල කටයුතු වලට පොලීසිය පූර්ණ සහාය ලබා දුන් බවත් පැවසීය.
එසේ නම් මෙම අරගල භූමියේ තිබෙන ඉදිකිරීම් හදිසියේ නීති විරෝධී තත්ත්වයට පත්වූයේ කෙසේදැයි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රශ්න කළේය.
අධිකරණ නියෝගයකින් තොරව හදිසියේ අදාළ ප්‍රදේශයේ රැඳී සිටින පුද්ගලයින් හා තාවකාලික ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා පොලිසිය  ගැනීමට නියමිත පියවර නීතියට පටහැනි බවත් සාලිය පීරිස් මහතා කීවේය.
ගාලු මුවදොර අරගල භූමිය ප්‍රදේශයේ නීතිවිරෝධී ක්‍රියා වාර්තා වී ඇති බවට අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය වාර්තා කළ කරුණු සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති නීතිඥවරයා දහස් ගණනක ජනතාව රැස්වන ස්ථානයක මුදල් පසුම්බි සොරාගැනීම වැනි සුළු අපරාධ සිද්ධීන් වාර්තා වීම සාමාන්‍ය බව ද ප්‍රකාශ කළේය.
එම භූමියේ සිටින  පිරිස් ඉවත් කිරීමට පොලිසියට තිබෙන බලය කුමක්දැයි විනිසුරු සෝභිත රාජකරුණා මහතා නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දුන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා පොලිස් ආඥා පනතේ 56 වැනි වගන්තිය යටතේ මහජන සාමය කඩවීමේ හෝ මහජන පීඩාවක් සිදු වන අවස්ථාවක ඊට මැදිහත් වීමට පොලීසියට බලය තිබෙන බව සඳහන් කළේය.
නාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පොලීසිය පෙත්සම්කරුවන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට දරන උත්සාහය අනුමත කළ නොහැකි බවත්, මෙවැනි නිවේදනයක් නිකුත් කිරීමට පොලීසියට කිසිදු බලයක් නොමැති බවත් ප්‍රකාශ කළේය.
Previous articleපොලිසිය භාර ඇමැති – දේශබන්දු ගැන පොලිසියෙන්ම විමර්ශන
Next articleවැරදි නීති පෙන්වා හිරුණිකා කූඩුවට නග්ගන පොලිසියේ උත්සාහය වරදී

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here