20න් අත්තනෝමතික බලයක් ඇති ජනපතිවරයෙක් : නීතියේ පාලනයක් නැති රටක් – ආණ්ඩුව ගේන්න කැපවූ හිමිවරු පවසති

යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ව්‍යවස්ථාදායකය හා අධිකරණය තම අණසකට යටත් කරන්නට තරම් බලයක් සහිත සහ අත්තනෝමතික ලෙස ක්‍රියා කළ හැකි ජනාධිපතිවරයකු පත් වන බව බෙංගමුවේ නාලක, මුරුත්තෙට්ටුවේ ආනන්ද, ඇල්ලේ ගුණවංශ යන හිමිවරුන් ජනපතිට ලිපියක් යොමු කරමින් දැනුම් දී තිබේ.

ඉන් දුබල අමාත්‍ය මණ්ඩලයක් පත්වන බවත් “ජනතාවගේ ආදරය දිනාගත්” මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ බලය හා ස්ථාවරත්වය හීන කරවන බවත් ඒම හිමිවරු පවසති. මෙමගින් අමාත්‍යවරුන්ව හා අමාත්‍ය බලතල තම අභිමතිය අනුව ඕනෑම වෙලාවක වෙනස් කිරීමට ජනපතිට බලය ලැබෙන බවත්, 30කට සීමා කර තිබූ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව සම්බන්ධ සීමාව ඉවත් කිරීමේ යටි අරමුණුද තිබි හැකි බවත් එම ලිපියේ සඳහන් වෙයි.

ජනාධිපතිවරයා වෙත ව්‍යවස්ථාවෙන් පවරා දී ඇති වගකීම් රැසක් ඉවත් කර ඇතැයිද ජනපතිධුරය දරන්නා විසින් කරනු ලබන ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් අධිකරණය හමුවේ අභියෝග කිරීමේ අයිතිය ද ජනතාවට අහිමි කර ඇතැයි ද එම හිමිවරුන් සඳහන් කර තිබේ.

සමස්තයක් වශයෙන් 20 මගින් නීතියේ පාලනයක් නොමැති අස්ථාවර රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි වීමට ඉඩ ඇති බව ද එහි සඳහන් වෙයි.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කර ඇත්තේ ජනපතිවරයාගේ ජයග්‍රහණය පසුපස සිටි ජාතික බලවේග හා ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් බවත්, ව්‍යවස්ථා කෙටුම්පත සකස් කිරීම සම්බන්ධ අවම දැනුමක් වත් නොමැත්තකු ගේ කතෘත්වයක් පෙන්වන මෙම කෙටුම්පත දැනටමත් අප්‍රසාදයට ලක්ව තිබෙන බවත්, එය දේශපාලන මෙන්ම සමාජමය අර්බුදධයක ඇරඹුමක් බවත් එම හිමිවරු ලිපිය මගින් පෙන්වා දෙති.

ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය පළුදු කිරීමේ කූට අරමුණින් යුතුව රටත් ජාතියත් පාවා දීමට ක්‍රියාකරන කුමන්ත්‍රණකරුවන්ගේ අදිසි හස්තයක් මෙම ක්‍රියාදාමය පිටුපස තිබේදැයි සැක මතුවන බව ද එහි සඳහන් වෙයි.

එම ලිපියේ මෙසේද දැක්වෙයි

” හදිසි පනත් කෙටුම්පත් ගෙන ඒම සදහා ප්‍රතිපාදන හඳුන්වා දීම

රටට ජාතියට වින කරන කෙටුම්පත් රාශියක් යහපාලන ආණ්ඩු සමයේ දී ගෙන එන ලැබූ විට ඒවා පරාජය කරන්නට හැකි වුයේ භික්ෂූන් වහන්සේ ඇතුළු දේශප්‍රේමී පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝග කළ හෙයිනි. එය ජනතාවට ඇති අයිතියකි. හදිසි පනත් ගෙන එනු ලබන ක්‍රියාවලියේදී එම අයිතිය ජනතාවට අහිමි වෙයි. එය ප්‍රජාතන්ත්‍ර විරොධීය. 1987දී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගෙන ආ පරිද්දෙන්ම අනාගතයේදී එම්සීසී වැනි රට පාවාදෙන නීති  හදිසි පනත් ලෙස පැනවිය හැකිය. එවැන්නක් සඳහා ඉඩකඩ විවර වීම මෙම ආණ්ඩුවෙන් හෝ ඔබතුමාගෙන් කිසිසේත්ම අපේක්ෂා නොකෙරිනි.

අමාත්‍ය මණ්ඩලය, නියෝජ්‍ය අමාත්‍යවරුන් හා කැබිනට් නොවන ඇමතිවරුන් හා ඔවුන්ගේ ලේකම්වරුන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන උපලේඛණයේ සදහන් දේශය තුළ වෙනම රාජ්‍යයක් ඇති නොකරන බවට පොරොන්දු වෙමින් ලබා දිය යුතු ප්‍රතිඥාව ව්‍යවස්ථාවේ 53 වගන්තියෙන් ඉවත් කිරීම ජාතික ආරක්ෂාවටත් ඒ්කීය රාජ්‍යයටත් සෘජු තර්ජනයක් වන මෙම සංශෝධනත් ඒ සමගම පැන නැගුණු ජනතා විරෝධය මැඩලීමට විෂයභාර අමාත්‍යවරයා විසින් ගන්නා ලද උත්සාහයන් අපි දැඩිව හෙළා දකිමු. අවසානයේදී එය හුදෙක් අතපසු වීමක් යැයි පවසා සිටීමද තවත් භයානක කරුණකි. ඊට හේතුව වන්නේ මෙම ව්‍යවස්ථා කෙටුම්පත කොතරම් නොසැළකිලිමත් බවකින් යුතුව සකසා තිබේන්නේ දැයි එමගින් තහවුරු වන හෙයිනි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වීම සඳහා පනවා ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබද බාධකය ඉවත් කිරීම

ද්විත්ව පුරවැසියෝ සෑම විටම රටවල් දෙකකට පක්ෂපාතී වෙති. යහපාලන ආණ්ඩුව පැවති කාලයේදී අප ලැබූ අත්දැකීම වන්නේ ශ්‍රී ලංතාවේ භූමිය හා සම්පත් කොල්ලකෑමේ හා රාජ්‍ය ආරක්ෂාව දුර්වල කිරීමේ ප්‍රයත්න ගණනාවක් ජාත්‍යන්තර බලවතුන් විසින් ක්‍රියාත්මක කිරීමයි. එම උපක්‍රම අතර ඔවුන්ට හිතැති නීති සම්පාදනය කිරීමේ උත්සාහයන් ද කැපී පෙනුනි. බලවත් විදේශ රටවලට පත්ෂපාති වන හා විදේශ රටවල දරු පවුල් පුරවැසිභාවය ලබා රැදී සිටින තැනැත්තන් අපගේ නීති සම්පාදකයින් කිරීමේ භයානකකම එයයි. ඔවුන් අප රටට හිතවත්ව හා පක්ෂපාතීත්වයෙන් යුතුව කටයුතු කරතැයි සහතික විය නොහැකිය. එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයක් පමණක් නොව රජයේ ඕනෑම උසස් තුනතුරක් දැරීම ද්විත්ව පුරවැසියන්ට තහනම් කළ යුතුය. එසේ තිබියදී ද්විත්ව පුරවැසියන්ට මන්ත්‍රීධුර දැරීමට ඇති තහනම ඉවත් කිරීම රාජ්‍ය ආරක්ෂාවටද ජනතා පරමාධිපත්‍ය බලයට ද තර්ජනයකි.

විගණකාධිපතිවරයාගේ විෂය පථයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය, අමැති ලේකම් කාර්යාලය හා රජය විසින් සියයට 50% කොටස් දරණ සමාගම් ඉවත් කිරීම

ශ්‍රී ලංකා ටෙලිකොම්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම වැනි රජය විසින් කොටස් දරණ සමාගම් සියයකට අධික සංඛ්‍යාවක් පවතී. මේවායින් බොහෝමයක්ම රටේ සම්පත් පරිහරණය කිරීම පිළිබදව සෘජු ලෙස බලපෑම් කළ හැකි ඒවාය. එම සමාගම් වල ආයෝජනය කර තිබෙන්නේ ජනතාවගේ මුදල්ය. මෙම ආයතන විගණකාධිපතිවරයාගේ අධීක්ෂණයෙන් ඉවත් කිරීමේ සෘජු ප්‍රතිඵලය වන්නේ දූෂණයට රුකුල් දීමකි. එනම් ජනතාවගේ මුදල් අවභාවිතයට පාර කැපීමකි. ජනාධිපතිගේ හා අගමැති‌ගේ ලේකම් කාර්යාලත් විගණකාධිපතිවරයාගෙ පථයෙන් ඉවත් කිරීමේ ප්‍රතිඵලය ද අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීම සදහා වූ කොමිසම, ජාතික ප්‍රසම්පාදන කොමිසම, විගණන සේවා කොමිසම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමේ ප්‍රතිඵලය ද වන්නේ දූෂණයට රුකුල් දීමක් වේ. ඔබතුමාගෙන් අප බලාපොරොත්තු වූයේ දුෂණයට ඇති ඉඩකඩ අවහිර කිරීම මිස ඒවාට තව තවත් ඉඩ ලබාදීම නොවේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් හා අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් පත් කිරීමේ අභිමතානුසාරී බලයත් ජනාධිපති වෙත ලබාදීම

මෙවැනි අසීමිත බලතල මගින් අධිකරණයේ ස්වාධීනත්වය බලවත් අනතුරට ලක්වේ. සැමෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක සිදුවිය යුත්තේ ජනාධිපතිට ඇති මෙවැනි බලතල පාර්ලිමේන්තුවේ හෝ පාර්ලිමේන්තු සභාවේ අනුමැතියට යටත් කිරීමයි. එවැනි සෑම සංවරණ හා තුලන ක්‍රමවේදයන් රාජ්‍ය යාන්ත්‍රණය තුළ ක්‍රියාත්මක විය යුතුය.

මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන උල්ලංඝණය කරන තැනැත්තන්ට එරෙහිව අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට ඇති හැකියාව ඉවත් කිරීම

මැතිවරණ කොමිෂන් සභාව විසින් හා නීතිය මගින් පනවන විධිවිධාන වලට පටහැනිව ක්‍රියා කරන තැනැත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වගන්තිය ඉවත් කිරීමේ සෘජු ප්‍රතිඵලය වන්නේ මැතිවරණ නීති කඩකරන්නන් හට ඒ සදහා අවස්ථාව ලබාදීමය. මෙය දූෂිත මැතිවරණ ක්‍රමයකට රුකුල් දෙන සංශෝධනයකි. මෙවැනි සංශෝධන අපි දැඩිව හෙලා දකිමු.

ඇමතිවරුන්ගේ ගණන 30කට සීමා කිරීමේ වගන්ති ඉවත් කිරීම

අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 30කටත් කැබිනට් නොවන අමාත්‍යවරන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40කටත් සීමා කිරීමේ වගන්තියක් පනවා තිබෙන්නේ වසර ගණනාවක් තිස්සේ ජනතාව ඒ සදහා කරනු ලැබූ දැඩි බලකිරීම්වල ප්‍රතිඵලයක් ලෙස වේ. අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් පත් කිරීමට තිබෙන අවකාශය ප්‍රයෝජයට ගෙන සුළු අන්තවාදී පක්ෂවලට බහුතර ජනතාවගේ ඡන්දයෙන් පත් කරන ආණ්ඩු සමග කේවල් කිරීම සදහා අවස්ථාව ලැබේ. මෙම අනිසි විපාකය වන්නේ බහුතර කැමැත්ත යටපත් කරමින් අන්තවාදී පක්ෂවලට ආණ්ඩුව මෙහෙයවීමේ අයිතිය ලැබීමයි. රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යතුමා වැනි අන්තවාදීන් මේ වන විටත් ආණ්ඩුවත් සමග සමීපව කටයුතු කිරීමට පටන්ගෙන තිබෙන්නේ අනාගතයේදි මෙවැනි සංශෝධන වල වාසිය ලබා ගැනීමේ යටි අරමුණ ඇතිව දැයි සැක පහළ වී තිබේ. එසේම අසීමිත අමාත්‍යවරුන් සංඛ්‍යාවක් සිටින හුදෙක් මුදල් නාස්තියක් පමණක් නොව විධායක යාන්ත්‍රණය අවුල් සහගත තත්ත්වයකට පත් කරන සාධකයක් බව ජනතාව හොදින්ම දනිති.

මෙම ආණ්ඩුව පත් වීමේදී ජනතාවට දුන් පොරොන්දුව වූයේ අලුත් ව්‍යවස්ථාවකි. ජනතාවගේ අපේක්ෂාව වූයේද එයයි. ව්‍යවස්ථාවට අවිධිමත් ලෙස සංශෝධන කිරීමේ ආදීනව ජනතාව විසින් අත්දැක තිබේ. කුමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක දී වුවද දැනට රට මුහුණ පා සිටින සැබෑ අර්බුද වලට විසඳුම් ලබාදීමට පියවර ගත යුතුය. ඒවා අතර ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව අත්සන් කිරීම සහතික කරන වගන්තිද නිශ්චිත ලෙස ජාතික ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කර නීතිගත කිරීම අනිවාර්ය කරන වගන්තිද උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට පහසුවන පරිදි හා සමස්ත රටටම නීති පැනවීම සදහා පාර්ලිමේන්තුවට බාධා ගෙන එමින් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හදුන්වා දී තිබෙන ප්‍රතිපාදන ඉවත් කෙරෙන වගන්තිද දේශීය සම්පත් හා භූමිය විදේශකයින්ට විකිණීම තහනම් කරන වගන්තිද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අභිනවයෙන් ඇතුළත් කළ යුතු බව අවධාරණය කර සිටිමු.

මේ වන විටත් රට තුළ ආන්දෝලනයට ලක්ව තිබෙන 20 වැනි සංශෝධනය ඉදිරිපත් කර තිබෙන ආකාරයෙන් සම්මත කරගැනීම සම්බන්ධයෙන් නැවත සිතා බැලිය යුතුව ඇත. එසේ තිබියදීත් එම සංශෝධනය සම්මත කරන්නට කටයුතු කරන්නේ නම් අවම වශයෙන් මෙහි සදහන් කර තිබෙන සංශෝධන සිදු කරන මෙන් ඔබතුමන්ව බලයට පත් කිරීම සදහා කැපවීමෙන් කටයුතු කළ භික්ෂූන් වහන්සේ ජාතික සංවිධාන ඇතුළළු දේශප්‍රේමී ජනතාව නියෝජනය කරමින් අපි ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.”

Previous articleප්‍රජා පොලිස් කමිටුවලින් තොරතුරු නැති අවස්ථා තිබුණා : සහරාන් ගැනත් තොරතුරු ලැබුණේ නෑ – පූජිත්
Next articleමාස 12ක් ඇතුළත රහස් පොලිසියේ මුල්පුටුවට හතරවැනියාත් පත් කරයි : ශානි, තිලකරත්න, අල්විස් ; දැන් සොයිසා

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here