තියෙන තැනින් තොරතුරු ගන්න – ග්‍රාම නිලධාරී සංගම් ජනාධිපති ලේකම්ට ලිඛිතව දන්වයි !

කොවිඩ් වසංගත අවදානම දැඩිව පවතින අවස්ථාවක ගෙයින් ගෙට ගොස් එන්නත් ලබාගත් සහ නොගත් පුද්ගලයන් පිළිබඳව ප්‍රගති ලේඛන සකස් කරන ලෙස දන්වමින් නිකුත් කර ඇති චක්‍රලේඛය සංශෝධනය කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරි සංගමය හා එක්සත් ග්‍රාම නිලධාරි සංගමය විසින් ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර වෙත ලිඛිතව දැනුම් දී ඇත.
ග්‍රාම නිලධාරි කොට්ඨාස ආවරණය කරමින් එන්නත්කරණ වැඩසටහනේ ප්‍රගතිය, වයස් කාණ්ඩ කිහිපයක් යටතේ සංඛ්‍යා ලේඛනගත කරන ලෙස දැනුම් දී ඇතැයි ග්‍රාම නිලධාරී සංගම් පවසයි. එන්නත්කරණ වැඩසටහන් බොහොමයක් සඳහා ග්‍රාම නිලධාරිවරුන්ගේ දායකත්වය ලබානොගන්නා බවත්, පහසුකම් සැපයීමේ ක්‍රියාවලිය සඳහා පමණක් ග්‍රාම නිලධාරීන්ගේ සහාය ලබාගන්නා බවත් මේ සංගම් යොමු කළ අදාළ ලිපියේ සඳහන් වේ.

ආයතන පහක ක්‍රියාකාරීත්වය

එන්නත් ලබාදෙන ඕනෑම ස්ථානයකින් එන්නත් ලබාගැනීමට පුරවැසියන්ට හැකියාව පවතින අතර, එසේ එන්නත් ලබාගන්නා පුද්ගලයන්ගේ තොරතුරු කොවිඩ් මර්දන කාර්යසාධක බලකාය, රාජ්‍ය බුද්ධි සේවය, වසංගත රෝග විද්‍යා ඒකකය, ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතනවල සහායෙන් රැස්කෙරෙන බව ද ඔවුහු පෙන්වා දෙති. මෙසේ එන්නත් ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් පැහැදිලි දත්ත තිබියදී, ග්‍රාම නිලධාරීන් වෙතින් සනාථ නොවන, සහතික නොවන දත්ත ඉල්ලා සිටීම ග්‍රාම නිලධාරීන්ගේ මවිතයට හේතු වී ඇතැයි ද අදාළ සංගම් විසින් ජනාධිපති ලේකම්වරයා වෙත යැවූ ලිපියේ දැක්වේ.

ලැබෙන්නේ නිවැරදි තොරතුරු ද?

එම නිසා මේ මොහොතේ ග්‍රාම නිලධාරීන් ගෙයින් ගෙට යෑම ආරක්ෂිත නොවන බවත්, එසේ ගියද ලබාගන්නා තොරතුරු සීයට සීයක් නිවැරදි නොවනු ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පෙන්වා දෙති. මේ අතර ග්‍රාම නිලධාරීන්ගේ ප්‍රමුඛතම රාජකාරියක් වන ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ද වසංගත තත්ත්වය නිසා වෙනත් ක්‍රම උපයෝගී කරගනිමින් සිදු කරන බව ද ඔවුහු සඳහන් කරති.
කෙසේ වෙතත් ඉහත අංශ සතුව පවතින එන්නත්ලාභීන් පිළිබඳ තොරතුරු දත්ත තමන් වෙත ලබාදෙන්නේ නම්, ඒවා ලේඛනගත කර දිය හැකි බව ද ග්‍රාම නිලධාරි සංගම් ජනාධිපති ලේකම්වරයා වෙත දැනුම් දී තිබේ. මේ තත්ත්වය සලකා අදාළ තීරණය වහාම වෙනස් කරන ලෙස ඔවුහු වැඩිදුරටත් අදාළ ලිපියේ සඳහන් කර තිබේ.

මේ තරම් තොරතුරු ඇයි?

මීට පෙර ද අවස්ථා ගණනාවකදී කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධ තොරතුරු රැස්කිරීමට බව පවසමින් විවිධ පාර්ශ්ව විසින් ගෙයින් ගෙට යමින් තොරතුරු රැස් කිරීම සිදු කළ අතර, පොලිසිවල අවශ්‍යතාව සඳහා, සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යනාදී විවිධ හේතු ඒ සඳහා දක්වන ලදි. මේ සම්බන්ධයෙන් සිවිල් සංවිධාන වෙතින් එල්ල වූ විරෝධය නිසා, එම ක්‍රියාවලිය නතර කෙරිණි. සිවිල් සංවිධාන විසින් මෙහිදී අවධාරණය කළේ ප්‍රදේශයට අදාළ සියලු තොරතුරු ග්‍රාම නිලධාරීන් සතුව පවතින බවත්, ඔවුන් මේ ක්‍රියාවලිය සිදු කරන්නේ නම් ගැටළුවක් මතු නොවන බවත් ය. කෙසේ වෙතත් පිටස්තර පාර්ශ්ව පොලිසියේ උපදෙස් මත යැයි පවසමින් මෙසේ තොරතුරු රැස් කිරීම බරපතළ ගැටළුවක් බව ද ඔවුන් එහිදී පෙන්වා දෙන ලදි.
Previous articleකොතලාවල පනත් කෙටුම්පතට විරුද්ධ වන්නේ රැල්ලට ද ?
Next articleජනපතිගේ ගැසට් පත්‍රයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහනම් නියෝගයක් : ලෝකය රැවටීමේ පොරොන්දුවලින් සිදුවන්නේ කුමක්ද?

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here