Home පුවත් ‘අමානුෂික නීතියෙන්’ මානුෂික රටක් ??

‘අමානුෂික නීතියෙන්’ මානුෂික රටක් ??

‘අමානුෂික නීතියෙන්’ මානුෂික රටක් ??
(ඉම්තියාස් බාකීර් මාකාර්)
විරෝධතාවන් දැක්වීම යනු සෑම පුරවැසියෙකුගේම මිනිස් අයිතිවාසිකමකි. පුරවැසියන්ගේ භාෂණයේ නිදහස භුක්තිවිඳින එක් ආකාරයක් ලෙස විරෝධතාවන් දැක්වීම පෙන්වාදිය හැකිය.
විරෝධතාවන් දැක්වීම සජීවී ප්‍රජාතන්ත්‍රවාදයක තිබිය හැකි, තිබිය යුතු කරුණකි. ඉතිහාසය පුරාම ධනාත්මක සමාජ වෙනස්වීම් සදහා විරෝධතාවන්ගෙන් ලැබී ඇති දිරිදීම් ගැන අපට කොතෙකුත් නිදසුන් පෙන්වාදිය හැක. අධිපතිවාදි පාලනයන් සහ රාජාණ්ඩු බිදවැටීම් පිළිබඳ ඉතිහාසය විමසන කල අපට මෙය හොදින් අවබෝධකරගත හැක.
විරෝධතා දැක්වීම යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ පුරවැසියන්ට සජීවී ලෙසින් ඒ සමාජයේ ප්‍රගමනය සදහා දායකවීමට ලැබෙන අවකාශයක්මය. නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තුළ මේ සදහා ඇති අවකාශය, විශේෂයෙන් යම් සමාජයක සෘජු නියෝජනත්වයකට සම්බන්ධවීමට නොහැකිව සිටින පුරවැසි කාණ්ඩයකට ඉතා වැදගත් වේ. රටක පාලනයන් මෙම විරෝධතා දැක්වීම් සදහා ඇති අයිතිය තමන්ට එල්ලවන අභියෝගයක් ලෙසින් හෝ අපහසු තත්වයන් ලෙසින් දුටුවද, ඒවා සැබැවින්ම මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂාකරගැන්ම සදහා පුරවැසියන්ට ඇති වටිනා මෙවලමක්ම වේ.
කෝවිඩ්-19 වසංගතය ලොව පුරා ව්‍යාප්තවීමට පටන් ගැනීමත් සමග එක්රැස්වීමට පුරවැසියන්ට ඇති අයිතිය ස්වභාව ධර්මය විසින් සීමා කරන ලදී. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට, සාමකාමීව රැස්වීමේ නිදහසට, සමාගමේ නිදහසට ඇති අයිතිය තහවුරු කර ඇත. අප දන්නා පරිදි   කුමන නීතිය වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉක්මවා නොයයි.
කෝවිඩ් – 19 වසංගතයත් සමග ලෝකයේ නව නීති පැනවූ අතර බොහොමයක් සෞඛ්‍ය අංශවල උපදෙස් මතත්, විශේෂඥ උපදෙස් මතත්, ගැසට් නියෝග රෙගුලාසි යනාදියට සීමා විය. ලොවපුරා මේ තත්වය අපට දැකගැනීමට හැකියාව ඇත.
නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් බවත්, එය දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා නොකළ යුතු බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මේ අතර අවධාරණය කර තිබේ. ඇපමත නිදහස් කරන ලද පුද්ගලයන්, බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමේ  ක්‍රියාවන් බලහත්කාරී සහ නීතිවිරෝධී ක්‍රියාවන් වේ. එලෙස ක්‍රියාකිරීම, එම පුද්ගලයන් ඇපමත නිදහස් කළ අධිකරණයට කරණු ලබන අපහාසයක් බවද ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසා සිටියි.
එවැනි අත්අඩංගුවට ගැනීම් හා බලහත්කාරයෙන් රඳවා තබාගැනීම් හේතුවෙන් සෞඛ්‍ය බලධාරීන්, ආරක්ෂක හමුදා හා පොලිසිය විසින් කෝවිඩ් – 19 මර්දනය කිරීම සදහා ගනු ලබන අව්‍යාජ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් අහිතකර ප්‍රතිඵල ඇති කරයි. පුරවැසියන්ට විරෝධතාවන් දැක්වීමට ඇති නිදහසට අහිතකර ලෙස බලපාන අන්දමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ භාවිතා කිරීමට ඉඩ නොදිය යුතුය. සෞඛ්‍ය රෙගුලාසි හා මාර්ගෝපදේශ, ඒවායේ අරමුණු වන කෝවිඩ් – 19 පැතිරවීම වැළැක්වීම වෙනුවෙන් පමණක් භාවිතා කරන බව තහවුරු කළ යුතුව ඇත. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ, ඇමෙරිකා එක්සත් ජනපදයේ වර්ගවාදයට සහ පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහි උද්ඝෝෂණ වැනි විරෝධතා දැක්වීම්වලට ප්‍රජාතන්ත්‍රවාදී සමාජය තුළ පවතින අවකාශයන් අපි දකින්නෙමු. විශේෂයෙන් නිරෝධායන නීතියට මුවා වී දේශපාලනඥයන්, වැඩිමණක්ම ආණ්ඩු කරවන්නන් සිය විරුද්ධවාදීන් මර්දනය කිරීමටත් විරුද්ධවාදින් නිහඬ කිරීමටත් මෙම නීති භාවිතා කරනු අපට පැහැදිලිව දක්නට තිබේ.
මේ සම්බන්ධව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා මෙලෙස අදහස් ප්‍රකාශ කර තිබිණ.
“ කෝවිඩ් උවදුර දඩමීමා කරගනිමින් ඇතැම් රටවල වගකිවයුත්තන් ප්‍රතිවිරුද්ධ මතවාදීන් නිහඬ කිරීමට සහ මර්දනය කිරීමටත්,රජයේ නොවන සංවිධානවල වාර්තාකිරීම් සහ සියළු ක්‍රියාකාරීත්වයන් සදහා තහංචි දැමීමටත් කටයුතු කරමින් සිටීම අපි දකින්නෙමු.
”එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මේ සම්බන්ධයෙන් විශේෂ විධිවිධාන සහ වාර්තා ඉදිරිපත් කිරීම සිදුකර ඇත. ඉකුත් දින කිහිපයේදිම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්ගේ වාර්තාවේ මාර්ගෝපදේශ දඩමීමා කරගනිමින්, ශ්‍රී ලංකා ආණ්ඩුවද විරෝධතා සහ උද්ඝෝෂණ මර්දනය කිරීමට මෙන්ම රටේ පුරවැසියන් අතර මේ ක්‍රියාමාර්ග තුලින් බිය වපුරන වාතාවරණයක් ඇතිකිරීමට කටයුතු මෙහෙයවීම පැහැදිලිවම දක්නට තිබිණ.
අප රටේ සිදුවන්නේ දේශපාලන පක්ෂයේ නායකයෙකු පාර්ලිමේන්තු පැමිණීම සැමරීමට ප්‍රීතිඝෝෂා පවත්වද්දී “නීතිය” එහිදී ක්‍රියාත්මක නොවේ. එදිනම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතකට විරෝධය දක්වන පුරවැසි කණ්ඩායමකට විරුද්ධව “නීතිය” අමානුෂික ලෙසින් ක්‍රියාත්මක වේ. රටේ ක්‍රියාත්මක වන්නේ එක් නීතියක්ද නැතිනම් නිති දෙකක්ද යන්න ප්‍රහේලිකාවක්මය.
අද මුළු රටම අර්බුදවලින් වෙලාගෙන ඇත. බඩගින්න,විරැකියාව,සෞඛ්‍ය අර්බුදය, ණය අර්බුදය, පොහොර අර්බුදය, ගජමිතුරු ධනවාදය, අධිපතිවාදී ගමන මේ සියළු අර්බුද ඉදිරියේ නැගී සිටින ජනතාවගේ  අදහස් පළකිරීම් අමානුෂික ලෙසින් මර්දනය කෙරේ.
මේ අසාධාරණවූත් දෙබිඩි ක්‍රියාපිළිවෙත් පැරදවිය යුතුව ඇත. අප රටේ පුරවැසියන්ට නිදහස් අයිතීන් ඉදිරියේ ඇති මේ අභියෝග පැරදවිය යුතුව ඇත. මේ සදහා පාර්ලිමේන්තුව තුළ අරගලයක් ඇත. අධිකරණය ඉදිරියේද අරගලයක් ඇත. ජනතාව  සමගින් ප්‍රජාතන්ත්‍රවාදී ලෙසින් නැගී සිටිමින් කළ යුතු අරගලයක් ඇත.
අප සමාජයේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ඉදිරියේ ඇති මේ අනතුරු අපි  පැහැදිලිවම අවබෝධකරගත යුතුව ඇත. මේ අනතුර පරාජයට පත්කිරීම සදහා සියළු දේශපාලන සහ සිවිල් සංවිධාන ඇතුළුව සියළුම පුරවැසියන් පටු අරමුණුවලින් බැහැරව, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම ආරක්ෂාකරගැන්ම සදහා සාමූහිකව නැගී සිටිය යුතු අවස්ථාවක් එළැඹ ඇත.රටේ අනාගතය වෙනුවෙන් පළල් දැක්මකින් සහ වගකීමෙන් යුතුව ඒ භූමිකාව ඉටුකළ යුතුව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here