කම්කරු ජීවිත රැකගන්න සංවිධාන 8ක් පෙරට – එක්සත් ජාතීන් ප්‍රමුඛ ජාත්‍යන්තරය දැනුවත් කරයි !

කර්මාන්තශාලා කම්කරුවන් දස දහස් ගණනක ජීවිත රැකගැනීමට ශ්‍රී ලංකා රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට හැකි ඉක්මණින් බල කර සිටින්නැයි නිදහස් වෙළඳ කලාප (FTZ) සහ මෑන්පවර් කම්කරුවන් සමඟ වැඩ කරන සිවිල් සමාජ සංවිධාන සහ වෘත්තීය සමිති අටක් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටී.
මෙම අර්බුදය කළමනාකරණය කිරීම සඳහා ක්ෂණික පියවර ගන්නා ලෙසට සහ කම්කරුවන්ට වහාම ක්‍රියාත්මක වන ලෙස එන්නත් ලබා දෙන ලෙසට ශ්‍රී ලංකා රජයට බල කරන්නැයි ද ඔවුන් ඉල්ලා තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, ජාත්‍යන්තර වෙළඳ නාම සහ ශ්‍රී ලංකාව තුළ සිටින විදේශ දූත මණ්ඩල ඇතුළු ජාත්‍යන්තර බලධාරීන් වෙත මෙම ඉල්ලීම සිදුකර ඇත.
දාබිඳු සාමූහිකය, මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED), ශ්‍රමඅභිමානී කේන්ද්‍රය, ස්ටෑන්ඩ් අප් මූව්මන්ට් ලංකා, ශ්‍රී  ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS), ලංකා වෙළද කාර්මික හා පොදු කම්කරු සංගමය (CIWU), ඇඳුම් හා රෙදිපිළි ඇඟලුම් සේවක සංගමය (TGCWU), ශ්‍රී ලංකා ලෝහ හා සංක්‍රමණික කම්කරුවන්ගේ ජාතික සංගමය (NUMMS) යන සංවිධාන එක්ව මෙම ඉල්ලීම සිදුකරයි.
මේ සම්බන්ධයෙන් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍ය, කම්කරු කොමසාරිස් ජෙනරාල් සහ ආයෝජන මණ්ඩලය ඇතුළු වෙනත් අදාළ බලධාරීන් වෙත දැනුම්වත් කර සති දෙකක් ගතව ඇතත්, මාධ්‍යවල පවා පළ වූ එම ඉල්ලීම්වලට මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
දැනට පවතින අර්බුදය පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම සඳහා අවම වශයෙන් සති දෙකක කාලයක් සඳහා සියලුම කර්මාන්තශාලා වසා දමා පුළුල් ලෙස PCR පරීක්ෂණ සිදු කළ යුතු බව එම සංවිධාන පෙන්වා දෙයි.
එම ඉල්ලීමේ මෙසේද සඳහන් වෙයි.
” කර්මාන්තශාලා කම්කරුවන් දස දහස් ගණනක ජීවිත රැකගැනීමට ශ්‍රී ලංකා රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට ඉතා ඉක්මණින් බලපෑම් කරන ලෙස නිදහස් වෙළඳ කලාපය (FTZ) සහ මෑන්පවර් ඒජන්සි කම්හල් කම්කරුවන් සමඟ වැඩ කරන සිවිල් සමාජ සංවිධාන (CSOs) සහ වෘත්තීය සමිති වශයෙන් අපි ජාත්‍යන්තර ප්‍රජාවට ආයාචනා කිරීමට කැමැත්තෙමු.
පසුගිය වසරේ (2020) මාර්තු මස සිට රට ලොක්ඩවුන් කරන ලද කාලයන් ද ඇතුළුව මුළු කොරෝනා වසංගතය පුරාවට මෙම කම්කරුවන් ඔවුන්ගේ ජීවිත විශාල අවදානමක දමාගෙන වැඩ කරමින් සිටී.
අහඹු පීසීආර් පරීක්ෂණ අනුව සිය ගණනක් කම්කරුවන්ට කොවිඩ්-19 ආසාදිත බවට තහවුරු වී ඇති අතර, කොවිඩ්-19 ආසාදිත සේවකයින් ඔවුන්ගේ නේවාසිකාගාරවල ස්වයං නිරෝධායනයකට යොමු කර හෝ අවම පහසුකම් සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ප්‍රවේශයක් නොමැති රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යවනු ලැබේ. සමහර මධ්‍යස්ථාන අපිරිසිදු හා සෞඛ්‍යාරක්ෂිත නොවන බවත්, බොහෝ මධ්‍යස්ථානවල අඩුම තරමින් විටමින් සී හෝ කොත්තමල්ලි (කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා දේශීය වශයෙන් ගනු ලබන සාමාන්‍ය ප්‍රතිකාරයක්) වැනි මූලික දෑ පවා නොමැති බවත් කම්කරුවන් පවසා ඇත.
මේ අතර, 2020 අපේ‍්‍රල් මාසයේ සිට ශ්‍රී ලංකාවේ අපනයන 183% කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි. මෙම වැඩිවීමට බොහෝ දුරට හේතු වී ඇත්තේ ඇඟලුම් අංශයයි. එහෙත්, රජය සහ කර්මාන්තශාලා හිමිකරුවන් මෙම ලාභය නෙළා ගන්නා අතරම එන්නත සඳහා ප්‍රමුඛතාවයක් හෝ නොදී ‘තමන්ට තමන් පමණක්’ වන ලෙස කම්කරුවන් අනාරක්‍ෂිතව අතහැර දමා ඇත.
අප 2021 මැයි 15 දිනැති හදිසි විවෘත ලිපියක් හා ඉල්ලීම් ලැයිස්තුවක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය, ප්‍රාථමික සෞඛ්‍ය සේවා අමාත්‍ය, කම්කරු කොමසාරිස් ජෙනරාල් සහ ආයෝජන මණ්ඩලය ඇතුළු වෙනත් අදාළ බලධාරීන් වෙත යොමු කෙරිණි. සති දෙකක් ගතව ඇතත්, මාධ්‍යවල පවා පළ වූ අපගේ ලිපියට තවමත් කිසිදු ප්‍රතිචාරයක් ලැබුණේ නැත.
කම්කරුවන්ගේ වැඩකිරීමේ, හවුල් නවාතැන් ගැනීමේ ක්‍රමවේදය සහ වෙනත් කම්කරුවන් සමඟ සමීපව සිටීමට සිදු වීම වැනි කරුණු හේතුවෙන් වෛරසය බෝවීමේ අවදානම වැඩිවීම මත අත්‍යවශ්‍ය සේවා කම්කරුවන් ලෙස පමණක් නොව, මුල් පෙළ කම්කරුවන් ලෙස සැලකිය යුතු මෙම කම්කරුවන් ආරක්ෂා කිරීමට රජයට සහ කර්මාන්තශාලා හිමියන්ට බලපෑම් කිරීම සඳහා, සුන් වූ බලාපොරොත්තු සහිතව කරන ⁣ලද මෙම ආයාචනයට අවනත වී ක්ෂණික පියවර ගන්නා ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන ලෝ ප්‍රකට වෙළඳ නාමවලට ​​සහ සුවිශාල වූ ජාත්‍යන්තර ප්‍රජාවට අපි ආයාචනා කරමු.
එබැවින් අපි පහත සඳහන් ප්‍රධාන ඉල්ලීම් හය නැවත අවධාරණය කරමු.
1.අවම වශයෙන් සති දෙකක කාලයක් සඳහා සියලුම කර්මාන්තශාලා වසා දමා, දැනට පවතින අර්බුදය පිළිබඳව නිසි තක්සේරුවක් කිරීම සඳහා පුළුල් ලෙස පීසීආර් පරීක්ෂණ සිදු කිරීම. එමගින් ලැබෙන ප්‍රතිඵල මත පදනම්ව, කම්කරුවන්, සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරි තීරණ ගත හැකිය.
2.බටහිර පළාතේ සහ රටේ සෙසු ප්‍රදේශවල නිදහස් වෙළෙඳ කලාප සහ ඇඟලුම් සැපයුම් දාමයේ සියලුම කම්කරුවන්ට කොවිඩ්-19 එන්නත ලබා දීම සඳහා ප්‍රමුඛතාවයක් ලබාදීම හා වේගවත් කිරීම. මෙයට සාමාන්‍ය / ස්ථිර හා මෑන්පවර් සේවකයින් ඇතුළත් විය යුතුය. කලාප අසල සෞඛ්‍ය පහසුකම්වල සහ නිදහස් වෙළඳ කලාපවල ගේට්ටු අසල දැනුවත් කිරීමේ හා එන්නත් කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම. සති දෙකක කාලයක් තුළ සියලුම කම්කරුවන්ට එන්නත් ලබා දීමේ ඉලක්කයක් තබා ගැනීම.
3.ආසාදිත බවට තහවුරු වන සේවකයින් සහ ඔවුන්ගේ පළමුපෙළ ආශ්‍රිතයින් හඳුනාගැනීමට, හුදකලා කිරීමට හා නිරෝධායන මධ්‍යස්ථාන වෙත වහාම ගෙනයාමට පියවර ගැනීම.කොවිඩ්-19 ආසාදන තත්ත්වය පිළිබඳව කම්කරුවන්ට ඔවුන්ගේ කර්මාන්තශාලාවල දෛනිකව දැනුම් දිය යුතුය.
4.තම සේවා ස්ථානයේදී, සේවයට එන අතරතුර හෝ ඔවුන්ගේ නේවාසික නවාතැන්වලදී කොවිඩ්-19 වෛරසයට නිරාවරණය වීම නිසා නිරෝධායන මධ්‍යස්ථානවලට හෝ ස්වයං නිරෝධායනය වීමට බල කෙරෙන කම්කරුවන්ට නිරෝධායන දින සඳහා සම්පූර්ණ වැටුප ලබා දිය යුතු අතර පැමිණීමේ ප්‍රසාද දීමනා සහ වෙනත් ආශ්‍රිත දිරි දීමනා අඩු නොකළ යුතුය. නිරෝධායනය සම්බන්ධ ඕනෑම වියදමක් කර්මාන්තශාලා හිමියන් විසින් කම්කරුවන්ට ප්‍රතිපූරණය කළ යුතුය.
5.රජය විසින් පොරොන්දු වූ රුපියල් පන්දහසේ මාසික සහන සලාක පැකේජය හෝ දීමනාව මැතිවරණ ලැයිස්තු නොසලකා සියලුම කම්කරුවන්ට බෙදා දෙනු ලැබිය යුතු බව⁣ට සහතික කිරීම.
6.කම්කරුවන්ගේ උෂ්ණත්වය නිරන්තරයෙන් පරීක්ෂා කිරීම, කම්කරුවන් අතර නිර්දේශිත දුර පවත්වා ගෙන යාමට හැකි අයුරින් වැඩ කරන ස්ථානය සහ යන්ත්‍ර සූත්‍ර සැකසුම, යන්ත්‍ර මතුපිට සහ අමුද්‍රව්‍ය මතුපිට දිනපතා සැනිටයිසර් කිරීම, සියලුම කම්කරුවන් සඳහා පෞද්ගලික ආරක්ෂණ උපකරණ(PPE) සැපයීම, දිනපතා අත් සේදීම යනාදි සෞඛ්‍ය හා ආරක්‍ෂිත මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීමට සියලුම කර්මාන්තශාලා වග බලා ගන්නා බවට සහතික කිරීම.”
Previous articleවසංගතය පාලනයට අපි එක නීතියක්වත් සම්මත කරලා නෑ – රනිල් වික්‍රමසිංහ
Next articleඅධ්‍යාපන ලේකම්වරයාගේ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් – ලංකා ගුරු සංගමය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here