එන්නත්කරණය ගැන විගණනයක් ඉල්ලයි

ප‍්‍රදානයන් ලෙස මෙරටට ලැබුණ කොවිඩ්-19 වැළැක්වීමේ එන්නත් භාවිතා කළ ආකාරය සම්බන්ධයෙන් කඩිනම් විගණනයක් කරන ලෙස ලංකා ගුරු සංගමය විගණකාධීපතිවරයාගෙන් ඉල්ලා සිටී.
ශී‍්‍ර ලංකාව තුළ මෙතෙක් සිදුකරන ලද එන්නත් ලබාදීමේ කි‍්‍රයාවලියේ විවිධ අක‍්‍රමිකතා සිදු වී ඇති බව දිගින් දිගටම වාර්තා වූ බවද එන්නත් මුදලට විකිණීම, විවිධ දේශපාලන අනුග‍්‍රහයන් යටතේ එන්නත් ලබාදීම ආදිය ඒ තුළ වාර්තා වූ බවද එම සංගමය පෙන්වා දෙයි.
ප‍්‍රමුඛ කණ්ඩායම්වලට එන්නත් ලබානොදී එන්නත් මුදලට ලබාදීම හෝ විවිධ දේශපාලන අනුග්‍රහයන් යටතේ එන්නත් ලබාදීම සිදු වන්නේ නම් එය මහජන දේපළ අවභාවිතාවක් බව එම සංගමය අවධාරණය කරයි.
විගණකාධීපතිවරයාට ලිපියක් යොමු කරමින් ලංකා ගුරු සංගමය මේ බව සඳහන් කර තිබේ.
එම ලිපියේ මෙසේද දැක්වෙයි.
‘සෞඛ්‍ය අමාත්‍ය පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් 2021.05.24 දිනැතිව යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල පති‍්‍රකාවේ සඳහන් පරිදි ඉන්දියාවේ පරිත්‍යාගයක් ලෙස Astrazeneca එන්නත් මාත‍්‍රා 500,000 ක් ලැබී ඇති අතර, එම වර්ගයෙන්ම තවත් එන්නත් මාත‍්‍රා 500,000 ක් මිලට ගෙන ඇත.
එසේම ජාත්‍යන්තර එන්නත්කරණ ව්‍යාපෘතිය අනුව COVAX යටතේ එන්නත් මාත‍්‍රා 264,000 ක් ලැබී ඇත. චීන රජයෙන් Sinopharm එන්නත් මාත‍්‍රා 600,000 ක් ලැබී ඇති අතර, රුසියාවෙන් Sputnik එන්නත් මාත‍්‍රා 15,000 ක් ලැබී ඇත.
ශී‍්‍ර ලංකාව තුළ මෙතෙක් සිදුකරන ලද එන්නත් ලබාදීමේ කි‍්‍රයාවලියේ විවිධ අක‍්‍රමිකතා සිදු වී ඇති බව දිගින් දිගටම වාර්තා විය. එන්නත් මුදලට විකිණීම, විවිධ දේශපාලන අනුග‍්‍රහයන් යටතේ එන්නත් ලබාදීම ආදිය ඒ තුළ වාර්තා විය.
එසේම නිතර මහජනතා සමග සම්බන්ධ වන වෘත්තික කණ්ඩායම් ගණනාවක් දිගින් දිගටම තමන්ට එන්නත් ලබාදෙන ලෙස විවිධ බලපෑම් සිදුකරමින් තිබේ. පසුගිය මාර්තු මස සාමාන්‍ය පෙළ විභාගය පැවති අවස්ථාවේ විභාග කාර්යමණ්ඩල සඳහා එන්නත් ලබාදෙන ලෙස අප විසින් ද ඉල්ලා සිටි අතර, විභාග කොමසාරිස්වරයා ද විභාග කාර්යමණ්ඩල සඳහා එන්නත් ලබාදෙන ලෙස ඉල්ලා සිටින ලදී.
එහෙත් විභාග කාර්ය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම ද සිදු නොවුණි. එසේම පාසල් විවෘත කිරීමට පෙර ප‍්‍රමුඛ කණ්ඩායමක් ලෙස සලකා ගුරුවරුන්ට එන්නත් ලබාදෙන ලෙස ද අප විසින් ඉල්ලා සිටින ලදී. එහෙත් මේ දක්වා ගුරුවරුන්ට එන්නත් ලබාදීමට කටයුතු සිදු වී නැත. මෙසේ ප‍්‍රමුඛ කණ්ඩායම්වලට එන්නත් ලබානොදී ඉහත ආකාරයෙන් එන්නත් මුදලට ලබාදීම හෝ විවිධ දේශපාලන අනුග්‍රහයන් යටතේ එන්නත් ලබාදීම සිදු වන්නේ නම් එය මහජන දේපළ අවභාවිතාවකි.
මේ පිළිබඳව අවධානය යොමු කොට මෙරටට ප‍්‍රදානයන් ලෙස ලැබුණු හා මිල දී ගන්නා ලද එන්නත් භාවිතා වූ ආකාරය සම්බන්ධයෙන් කඩිනමින් විගණනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමු.’
Previous articleජුනි 15ට පෙර එන්නත්කරණයට ප්‍රමුඛතා ලේඛනයක් සකස් කරන්න – මානව හිමිකම් කොමිසම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් දෙයි !
Next articleවසංගතය පාලනයට අපි එක නීතියක්වත් සම්මත කරලා නෑ – රනිල් වික්‍රමසිංහ

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here