පොලිස් පහරදීම : ඊළඟ සිද්ධියට පෙර කළ යුත්තේ කුමක්ද ?

(නිලූක සඳුන්)
සාමාන්‍ය පුරවැසියකුට මහරගම පොලිසියේ නිලධාරීයකු කළ අමානුෂික පහරදීම මගින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා⁣වේ 11, 12 සහ 13 වැනි වගන්ති දැඩි ලෙස උල්ලංඝනය වී ඇති බව නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා පවසයි.
රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පොලිස් ආඥා පනත ඇතුළු නීති අණ පනත් හා රෙගුලාසි මගින් ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම සඳහා පොලිසිය වෙත පැවරී ඇති බලය ජනතාවගේ උපරිම යහපතට හැරෙන්නට ජනතාවට පහරදීමට හෝ ඔවුන් හිංසාවට භාජනය කිරීමට හෝ ජනතාවට හානියක් කිරීමට භාවිත කිරීමේ කිසිම හැකියාවක් නොමැති බවද ඔහු සඳහන් කරයි.
මහරගම පන්නිපිටියේදී ලොරි රථ රියදුරකුට පොලිස් නිලධාරීයකු අමානුෂික ලෙස ඊයේ (29) පහරදී තිබිණි. ලොරි රථ රියදුරා අතින් මහරගම පොලිසියේ පොලිස් නිලධාරීයකු රිය අනතුරට ලක් වීම හේතුවෙන් ඔහු සමග සිටි අනෙක් නිලධාරීයා මෙලෙස මෙම පහරදීම සිදුකර ඇති බව පොලිසිය පවසයි .
එම පහරදීම සිදු කළ පොලිස් නිලධාරීයා මේ වන විට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් කරනු ලැබ සිටින බවද පොලිසිය කියයි .
පොලිස් නිලධාරීන් සිදුකරන පහරදීම් සහ කෘර වධහිංසා සම්බන්ධයෙන් නීතිඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා සමග කළ සම්මුඛ සාකච්ඡාවකි මේ..
පොලිසිය අතින් සිදුවන පහරදීම් සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය මොකද්ද ?
පොලිසිය තුළදී වන පහරදීම් සහ විශේෂයෙන්ම පොලිසිය තුළ සිටින සැකකරුවන් මිය යෑමේ සිද්ධීන් ඇතැම් විට අත්අඩංගුවේ සිටින පුද්ගලයන් ආයුධ පෙන්වන්න ගිහිල්ලා මරණයට පත්වුණ බවට වන සිද්ධීන් අපට ලංකාවේ නිතර අහන්න දකින්න ලැබෙනවා. එතකොට දැන් මේ වෙච්ච ආසන්නම සිද්ධිය පොලිස් නිලධාරීයෙක් පුද්ගලයෙක්ට ප්‍රසිද්ධියේ මහාමාර්ගයක පහරදෙන සිද්ධිය. පොලිසිය තුළ දී වුවත් පොලිසියේ පිටතදී වුවත් පොලිස් අත්අඩංගුවේ සිටින පුද්ගලයකුට වුණත් කිසිම විදියකින් දැනට තියෙන නීති අනුව පහරදීමක්, වධ හිංසාවන්ට පත්කිරීමට පොලිසියට කිසිම හැකියාවක් දැනට ලංකාවේ තියෙන නීතිමය රාමුවෙන් ලබාදීලා නෑ. සරලව කිව්වොත් කිසිම හේතුවක් නිසා පුද්ගලයෙක්ට පහර දෙන්න පොලිස් නිලධාරීන්ට හැකියාවක් නෑ. එතකොට ඔය සිද්ධියට අදාළව ගත්තොත් ඒ පොලිස් නිලධාරීයා සම්බන්ධයෙන් ඔහු පුද්ගලයෙක්ට ඉතාමත් අමානුෂික ලෙස පහර දෙනවා. වධ හිංසාවට පත්කරනවා.
මේ පහරදීම මගින් උල්ලංඝනය වෙලා තියෙන ව්‍යවස්ථාමය වගන්ති මොනවාද ? මේ වගේ පහරදීම්වලට ලක්වෙන පුද්ගලයන්ට තිබෙන නීතිමය සහන මොනවාද?
ඒ සිද්ධ්යේ වින්දිතයාට නීතිමය සහන කිහිපයක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම එකක් තමයි එම පුද්ගලයාට පහරදීලා එම පොලිස් නිලධාරීයා තමන්ගේ රාජකාරී කටයුත්තකදී කරන ලද පහරදීමක්. ඒ අනුව ඒ පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා තියෙනවා කියලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න හැකියාව තියෙනවා. පැහැදිලිව පේන්න තියෙන කාරණාව තමයි ඒ පුද්ගලයාගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මගින් තහවුරු කරලා තියෙන වධහිංසා නොවී සිටීමේ අයිතිය කෘර අවමන් සහගත සැලකීමකට භාජනය නොවී සිටීමේ අයිතිය දැඩි ලෙස උල්ලංඝනය ⁣වෙනවා කියන එක බැලූ බැල්මට පේන්න තියෙන කාරණාවක්. ඒ එක්කම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වැනි වගන්තිය මගින් ලංකාවේ අපි හැමෝටම දීලා තියෙන අයිතියක් තමයි නීතියේ රැකවරණය ලැබීමේ අයිතිය. නීතිය සමාන ලෙස ලැබීමේ අයිතිය. ඒ අනුව 12 වැනි වගන්තිය යටතේ අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා කියලත් ඒ පුද්ගලයාට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ නඩු පැවරීමේ හැකියාව තියෙනවා. ඒ එක්කම දැන් ඒ පුද්ගලයාට අත්අඩංගුවට ගැනීමක් කරලා තියෙනවානම් පහර දෙන්න කලින් පොලිස් බාරයේ සිටින පුද්ගලයාට රැකවරණය සලසන්න ඕනේ. ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමකට භාජනය නොකරන්න පොලිසිය බැඳිලා ඉන්නවා. ඒ ඔය පහරදීමට කලින් අත්අඩංගුවට ගැනීමක් කරලා තිබුණානම්.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12 වගන්තිය සහ 13 වගන්තිය උල්ලංඝනයවීමකට ලක්වෙනවා. එතකොට ඒ පහරකෑමට ලක්වූ පුද්ගලයාට පුළුවන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන්. ඒ එක්කම අගතියට පත් පුද්ගලයාට පුළුවන් පහරදීම සම්බන්ධයෙන් අදාළ පොලිස් බල ප්‍රදේශයේ ස්ථානාධිපතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. එහෙම පැමිණිල්ලක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවක පොලිසිය බැඳිලා ඉන්නවා ඒ සම්බන්ධයෙන් චෝදනාවට ලක්වෙලා තියෙන්නේ පොලිස් නිලධාරීයෙක් වුවත් ඔහුගේ තරාතිරම නොබලා ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන්න. එතකොට එහෙම පහරදීමක් වෙලා තියෙන බවට කරුණු පේන්න තියෙනවානම් එහෙම ඔහු සම්බන්ධයෙන් අපරාධ නඩුවක් මහේස්ත්‍රාත්වරයකුට කරුණු ගොනු කරලා අපරාධ නඩුවක් පැවරීමේ හැකියාව තියෙනවා. අවශ්‍යනම් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයකට ඉදිරිපත් කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ එක්කම අගතියට පත් පුද්ගලයාට පහරදීම මගින් හානියක් වෙලා තියෙනවානම් ශාරිරික වශයෙන් තුවාල හෝ පීඩාවක් වෙලා තියෙනවානම්, ඒ තුවාල නිසා රැකියාව හරි එහෙම නැත්නම් ආදායම් ඉපැයීමේ මාර්ගයක් හරියට ක්‍රියාත්මක කරගන්න බැරි වුණොත් ඔහුට යම් අලාභයක් සිද්ධ වෙනවා. එතකොට අවශ්‍යනම් ඒ අලාභය සම්බන්ධයෙනුත් සිවිල් නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට මූලික වශයෙන් ඒ පහරකෑමට ලක්වෙන පුද්ගලයෙකුට තියෙන නීතිමය සහන තමයි මේ කීව සහන. මේ කිව්ව සහනවලට අමතරව තව විශේෂ සහනයක් තියෙනවා. ශ්‍රී ලංකාව වධ හිංසාවට එරෙහි සම්මුතිය අපරානුමත කරලා වධ හිංසාවට එරෙහි සම්මුති පනතක් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරලා තියෙනවා. එතකොට ඒ පනත ප්‍රකාරව මේ පහරදීම හරහා මේ පුද්ගලයාව දැඩි හිංසාවකට කෘර අමානුෂික සැලකිල්ලකට භාජනය වෙලා තියෙනවා කියලා පේන්න තියෙනවා. එතකොට එවැනි වරදක් සම්බන්ධයෙන් මහාධිකරණයට අපරාධ නඩුවක් පවත්වාගෙන යන්න පුළුවන්..
මූලික වශයෙන් ගත්තොත් පොලිස් පහරදීම් පොලිසිය විසින් මහජනතාවට කරන හිංසා කිරීම් පීඩා කිරීම් සම්බන්ධයෙන් නිරන්තරයෙන් පොලිසිය අප දකිනවා චෝදනා එල්ල වෙනවා. එතකොට පොලිසිය මේ ක්‍රියාත්මක කරන්නේ පොලිස් නිලධාරීන් ගෙදරින් ගේන බලයක්වත් මේ නිලධාරීන් උපතින් අරන් ⁣එන බලයක්වත් නෙමෙයි. එතකොට පොලිස් නිලධාරීන් ක්‍රියාත්මක කරන්නේ ඒ පුද්ගලයන්ට මෙි රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පොලිස් ආඥා පනත ඇතුළු වෙනත් නීති අණ පනත් හා රෙගුලාසි මගින් ලබාදීලා තියෙන ජනතාවගේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බලය. ඒ නිසා ඒ ජනතාවගේ බලය ජනතාවගේ උපරිම යහපතට හැරෙන්නට ඔවුන්ට පහරදෙන්න ඔවුන්ව හිංසාවට භාජනය කරන්න ජනතාවට හානියක් කරන්න භාවිත කිරීමේ කිසිම හැකියාවක් නෑ.
මේ වගේ පහරදීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධිය පත්වුවහොත් හෝ ප්‍රසිද්ධ පුද්ගලයකුට පහරදීමක් සිදු වුවොත් පමණයි සමාජයේ කතාබහක් ඇති වෙන්නේ. අප්‍රසිද්ධියේ සිදුවෙන හිංසාවලට ජනතාව කොහොමද කතා කරන්න ඕන?
පළවෙනි එක තමයි එහෙම අප්‍රසිද්ධියේ සිදුවෙන පහරදීම්වලට සහ වධහිංසාවලට භාජනය කිරීමකට පුද්ගලයෙක් පත්වු⁣ණොත් ඒ පත්වූ වහාම ඒ පුද්ගලයාට පුළුවන් ඒ සම්බන්ධයෙන් අදාළ අංශවලට පැමිණිලි කරන්න. පොලිසිය පහරදීමක් ක⁣⁣ළොත් එහෙම ස්ථානාධිපතිවරයාට පැමිණිලි කරන්න ඕනේ. ඔහු පැමිණිල්ල බාරගන්නේ නැත්නම් පොලිසිය බාරව කටයුතු කරන සහකාර පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කරන්න පුළුවන්.. පොලිස්පතිවරයාට සෘජුව පැමිණිල්ලක් කරන්න පුළුවන්. එහෙම වධ හිංසාවට භාජනය වුවොත් පහරදීමකට ලක් වුණොත් හැකි මුල් අවස්ථාවේම ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයකට පැමිණිලි කිරීම අතිශයින් වැදගත් කාරණාවක්. ඉතාම අවශ්‍ය කාරණාවක්. එතකොට එහෙම පැමිණිල්ලක් කරලා හැකියාවක් තියෙනවානම් නීතිමය සහය ලබාගන්න පුළුවන්නම් වඩාත් හොඳයි. පහරදීම සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්නේ කියන එක සම්බන්ධයෙන් අවබෝධයක් නැති නිසා නීතිඥ සහය ලබාගන්න පුළුවන්නම් වඩාත් පහසුයි මේ සිද්ධි යටපත් නොවී තියාගන්න.
පොලිස් පහරදීම් සහ වධහිංසාවන් සම්බන්ධයෙන් රටේ යම් යම් සිවිල් සංවිධාන පවා කටයුතු කරනවා නීතිමය උපදෙස් ලබාදෙනවා. නීතිඥ සහය ලබාගන්න හැකියාවක් නැති කෙනෙක් ඉන්නවානම් එවැනි සංවිධාන හරහා තමන්ට උපදෙස් ලබාගැනීමට හැකියාව තියෙනවා තමන්ට වෙච්ච අගතිය තමන්ට වෙච්ච වධ හිංසාව සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක කරන්න. මෙහෙම දෙයක් වුණාම එවැනි නීතිමය කටයුතුවලට යොමු නොවුණහොත් දැඩි ප්‍රමාදයක් සිද්ධ වුණොත් එහෙම ඒක තමන්ට සාධාරණය ඉෂ්ට කරගැනීමේදී බලපානවා ඒ නිසා ප්‍රමාදයකින් තොරව මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙලා පැමිණිලි කරන්න අවශ්‍යයි.

පහරදීම ගැන පොලිසියේ මතය

ලොරි රථ රියදුරු අත වරදක් තිබෙන්නට හැකි නමුත් මෙම පහරදීම ශ්‍රී ලංකා පොලිසිය කිසිදු ආකාරයකින් අනුමත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුගේ සේවය අත්හිටුවා ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කළේය.
” පහරකෑමට ලක්වෙන්නේ ලොරි රථ රියදුරෙක් බවට අනාවරණය වුණා. මේ පහරදීම සිදුව තිබෙන්නේ හයිලෙවල් මාර්ගයේ පන්නිපිටියේ. මෙම පහරදීම කරන්නේ මහරගම පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයෙක් බවට අනාවරණය වුණා.
මහජන ආරක්ෂාව පිළිබඳ ගරු අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා විසින් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙසට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට උපදෙස් ලබා දී තිබුණා. පොලිස් කොස්තාපල්වරයා හෝ පොලිස් නිලධාරීයා යම් අාකාරයක මෙවැනි පහරදීමක් සිදුකර ඇත්නම් ඔහුගේ වැඩ තහනම් කරන නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙසට දන්වා තිබුණා. ඒ අනුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ නියෝගයක් අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වනු ලැබුවා.
එම විමර්ශනයේදී අනාවරණය වූයේ අදාළ රියදුරු ලොරි රථයකින් ඊයේ උදැසන පැමිණ ඇති බවත් එ් අවස්ථාවේදී මහරගම පොලිසියේ රථවාහන ස්ථානාධිපතිවරයා වන පොලිස් පරීක්ෂක මෛත්‍රීපාල මහා මාර්ගයේ රථවාහන රාජකාරීයේ යෙදී සිටි බවත් ලොරි රථ රියදුරුගේ නොසැලකිලිමත් ධාවනයෙන් මහාමාර්ගයේ රාජකාරී කළ මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති මෛත්‍රීපාල එම රථයේ ගැටීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් අනාවරණය වුණා. දැනට ඔහු කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. මෙහිදී මෙම ලොරි රථයේ රියදුරු වරදක් සිදුකර තිබෙනවා. නොසැලකිලිමත් සහ අපරික්ෂාරී ධාවනයක් සිදු කිරීම. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් මෙම පොලිස් නිලධාරීයා ඔහුට පහරදීමක් සිදුකර තිබෙනවා.
පොලිස් නිලධාරීයකු ලෙස එවැනි පහරදීමක් සිදුකිරීමට කිසිසේත්ම ඔහුට හැකියාවක් නෑ. ඒ වගේම එවැනි පහරදීමක් කිසිසේත්ම ශ්‍රී ලංකා පොලිසිය අනුමත කරන්නේ නෑ. අදාළ රියදුරා යම් කිසි වරදක් සිදුකර තිබේනම් ඔහුට එරෙහිව කටයුතු කිරීමේ නීත්‍යානුකූල ක්‍රමවේදයක් තිබෙනවා. එම නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් පරිබාහිරව මේ ආකාරයට පුද්ගලයන්ට පහරදීම කිසිසේත්ම අනුමත කරන්නේ නෑ. ඒ වගේම විමර්ශනයෙන් හෙළි වූ කරුණු අනුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ සේවය අත්හිටවනු ලැබුවා. ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහුට විරුද්ධව අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එක් පැත්තකින් ඔහුට පොලිස් විනය සංග්‍රහය යටතේ කටයුතු කිරීමටත් අනෙක් පැත්තෙන් අපරාධ නීතිය යටතේත් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා පොලිසිය විසින් පොලිස් නිලධාරීන්ගේ මෙවැනි නින්දිත ක්‍රියා අනුමත කරන්නේ නෑ. වෘත්තීයමය පොලිසියක් හැටියට ඉදිරියට යාම අපේ අරමුණයි.”

රජයේ ස්ථාවරය

එම පොලිස් නිලධාරියා වහාම වැඩ තහනමකට ලක් කළ බවත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා ක්ෂණිකව ක්‍රියා කළ බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ ක⁣⁣ළේය.
නීතිය රැකීමට සිටින බලධාරීන් මෙවැනි ආකාරයෙන් කටයුතු කිරීමට රජය එකහෙළා විරුද්ධ බව ඔහු කියයි. මේ සම්බන්ධයෙන් ක්ෂණිකව ක්‍රියාමාර්ග ගැනීම තුළින් ම රජය දරන මතය ඉතා හොඳින් පැහැදිලි කර දෙන බවත් ඔහු පැවසීය.
මෙවැනි සිදුවීම් ලොවපුරා සිදුවන බවත්, එවැනි දේ සම්බන්ධයෙන් රජය වගකිව යුතු නොමැති වුවද ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගතහොත් ඉන් ඇතිවන බලපෑම්වලට රජය වගකිව යුතු බවද රජය මෙවැනි දේ හෙළාදකින නිසා හැකි ඉක්මනින් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ග ගන්නා බව ද ගම්මන්පිල මහතා සඳහන් කළේය.
Previous articleපේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ආයතනයේ ලක්ෂ 500ක මූල්‍ය වංචාවක්
Next articleකවි පොතක් ලීවාට අත්අඩංගුවට ගත් තරුණයා ගැන මානව හිමිකම් කොමිසම වාර්තාවක් ඉල්ලයි

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here