තරග විභාගයක් නැතිව විදුහල්පති තනතුරු : ගුරු සංගමයේ විරෝධය

දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරී ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට තරග විභාගයක් නොමැතිව සම්මුඛ පරීක්ෂණයක් පමණක් පවත්වා ශ්‍රී ලංකා විදුහල්පති සෙවයේ III ශ්‍රේණියට පත් කිරීම සඳහා වන යෝජනාවක් ඊයේ(01) කැබිනට් මණ්ඩලයේදී අනුමත වී තිබේ.
මේ වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, II සහ III යන ශ්‍රේණිවල පුරප්පාඩු 4600ක් පමණ පවතින බවත් දැනට රට තුළ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබා දීම සඳහා වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වන බවත් නිරීක්ෂණය වී ඇතැයි කැබිනට් තීරණය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
එම තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරී ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට සහ සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් නිලධාරීන්ට ද අවස්ථාව ලබාදෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි තරග විභාගයක් පැවැත්වීම වෙනුවට ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් තෝරාගෙන ශ්‍රී ලංකා විදුහල්පති සෙවයේ III ශ්‍රේණියට පත් කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති බව ද එහි දැක්වෙයි.

යෝජනාවට ගුරු සංගමයේ විරෝධය

විදුහල්පති සේවයේ III ශ්‍රේණියට තරග විභාගයක් පැවත්වීමෙන් තොරව නිලධාරීන් බඳවා ගැනීමට තීරණය ශී‍්‍ර ලංකා විදුහල්පති සේවයේ සේවා ව්‍යවස්ථාව මුළුමනින්ම උල්ලංඝණය කිරීමක් බව ලංකා ගුරු සංගමය කියයි. නීතියේ පාලනය තහවුරු කිරීමට යයි බලයට පැමිණි රජයක් විසින් මේ ආකාරයෙන් අනීතිකව කටයුතු කිරීම බරපතල කනගාටුදායක තත්වයක් බවද එම සංගමය පවසයි.
ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින්, මේ ආකාරයෙන් කැබිනට් පති‍්‍රකාවක් මගින් පිළිකුල් සහගත ලෙස විදුහල්පති සේවයට පත්වීම් සිදු කිරීමට කටයුතු කිරීම වහා නතර කරන්නැයිද එසේ නොකර මෙම කැබිනට් තීරණය කි‍්‍රයාත්මක කිරීමට කටයුතු කරන්නේ නම් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ සියලූ පාර්ශව සමග එක්ව දැඩි වෘත්තීය කි‍්‍රයාමාර්ගවල නිරත වන බව ද එම සංගමය ප‍්‍රකාශ කර සිටී.
මේ වන විට වැඩබලන විදුහල්පතිවරුන් ලෙස කටයුතු කරන්නේ විවිධ දේශපාලන හිතවත්කම් මත විදුහල්පති තනතුරුවල වැඩබලීමට පත්වීම් ලබා සිටින ගුරු සේවයේ නිලධාරීන් බවත් අවස්ථා කිහිපයකදී ඔවුන් විදුහල්පති තනතුරුවල ස්ථානගත කිරීමට ගන්නා ලද උත්සාහයන් අසාර්ථක වීම නිසා මේ ආකාරයට විදුහල්පති සේවයේ තරග විභාගයක් පැවැත්වීමෙන් තොරව ඔවුන් පත් කර ගැනීමට උත්සාහ ගන්නා බවත් ලංකා ගුරු සංගමය පෙන්වා දෙයි.
කොවිඩ්-19 වසංගතය හමුවේ උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ වැනි ජාතික විභාග පවා පවත්වා ඇති වටපිටාවක උක්ත කැබිනට් තීරණය මගින් කෝවිඩ් වසංගත තත්ත්වය තුළ තරග විභාගය පැවැත්වීමට වසරකට වැඩි කාලයක් ගත වන බව සඳහන් වීම බරපතල හාස්‍යයක් බව පවසන එම සංගමය මෙසේ ද සඳහන් කරයි.
“කොවිඩ් වසංගත තත්ත්වය තුළ දිවයින පුරා උසස් පෙළ විභාගය පැවැත් වූ අතර, මේ වන විට සාමාන්‍ය පෙළ විභාගය ද මධ්‍යස්ථාන 4513 ක පැවැත්වෙන අතර එය දින 10 ක් පැවැත්වීමට නියමිතය. එවැනි ජාතික මට්ටමේ විභාග පැවැත්වීමට හැකියාව තිබියදී විදුහල්පතිවරු 4600ක් තෝරාගැනීමට අදාළව එක් දිනක පමණක් පැවැත්වෙන තරග විභාගයක් පැවැත්වීමට වසරකට වැඩි කාලයක් ගත වනවාය යන්න ආණ්ඩුවේ කෛරාටික බව ඉතා හොඳින් ප‍්‍රදර්ශනය කෙරෙන ප‍්‍රකාශයකි. කෝවිඩ් 19 වසංගත තත්ත්වයට මුවා වී සේවා ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පසුගිය වසරවල පැවති විදුහල්පති සේවයේ තරග විභාගවලින් තේරී පත්වීමට අසමත් වූ සුදුසුකම් රහිත වැඩබලන දේශපාලන ගැත්තන් විදුහල්පති සේවයට පත් කිරීමට කටයුතු කිරීම ආණ්ඩුවේ හෙළුව ප‍්‍රදර්ශනය කරන පිළිකුල් සහගත කි‍්‍රයාවකි.
ශී‍්‍ර ලංකා විදුහල්පති සේවා ව්‍යවස්ථාවේ 7.2.4.3.1 හි පැහැදිලිව සඳහන් වන්නේ ‘ලිඛිත පරීක්ෂණයට ලැබූ මුළු ලකුණු සංඛ්‍යාව පදනම්ව ඉහළම ලකුණු ලැබූ අනුපිළිවෙල අනුව පුරප්පාඩු සංඛ්‍යාව මෙන් දෙගුණයක් සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලැබේ. එයින් සුදුසුකම් ලබන්නන් ව්‍යුහගත පරීක්ෂණයට කැඳවනු ලැබේ.’ යනුවෙනි. ඉහත කැබිනට් තීරණය මගින් සේවා ව්‍යවස්ථාවේ මෙම වගන්තියෙහි සඳහන් ක‍්‍රමවේදය පවා මුළුමනින්ම උල්ලංඝණය වේ. දිවයිනේ පවතින 10,174 ක් වන පාසල්වලින් අඩකට ආසන්න ප‍්‍රමාණයකට 4600 ක් පමණ විදුහල්පතිවරු මේ ආකාරයෙන් අනීතිකව පත්කිරීම අධ්‍යාපන පද්ධතිය තවදුරටත් පරිහානියකට පත් කිරීමකි.
උක්ත කැබිනට් තීරණයේ සඳහන් වන්නේ දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩබලන සහ රාජකාරි ආවරණය කරන නිලධාරීන්ට අවස්ථාව ලබාදීමට මෙම තීරණය ගන්නා ලද බවයි. විදුහල්පති සේවයේ තරගය විභාගයක් අවසන් වරට පවත්වන ලද්දේ 2019 වසරේ දී ය. විදුහල්පති සේවයේ දීර්ඝ කාලයක් වැඩ බැලූ ගුරු සේවයේ නිලධාරීන්ට විභාගයට පෙනී සිට විදුහල්පති සේවයට ඇතුළත් වීමට ඒ අනුව ප‍්‍රමාණවත් තරම් අවස්ථාව තිබුණි.”

නෝ කොමන්ට්ස් – අධ්‍යාපන ලේකම්

මේ සම්බන්ධයෙන් විමසීම සඳහා MediaLK අධ්‍යාපන ලේකම් කපිල පෙරේරා මහතා සම්බන්ධ කරගත් අතර ඔහු පැවසූවේ මේ පිළිබඳ තමා නොදන්නා බැවින් අදහස් දැක්විය නොහැකි බවයි.

කැබිනට් තීන්දුව සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්

“මේ වන විට ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ I, II සහ III යන ශ්‍රේණිවල පුරප්පාඩු 4600ක් පමණ පවතින අතර, දැනට රට තුළ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ තරග විභාගයක් සහ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ පවත්වා විධිමත් පත්වීම් ලබා දීම සඳහා වර්ෂයකට වඩා වැඩි කාලයක් ගත වන බව නිරීක්ෂණය වී ඇත.
එම කරුණු සැලකිල්ලට ගනිමින්, දැනට දීර්ඝ කාලයක් තිස්සේ විදුහල්පති තනතුරුවල වැඩ බලන සහ රාජකාරී ආවරණය කරන ගුරු සේවයේ සුදුසුකම් ලත් නිලධාරීන්ට සහ සේවා ව්‍යවස්ථාව අනුව සුදුසුකම් සපුරන ගුරු සේවයේ අනෙකුත් නිලධාරීන්ට ද අවස්ථාව ලබාදෙමින් මේ අවස්ථාවට පමණක් සීමා වන පරිදි තරග විභාගයක් පැවැත්වීම වෙනුවට ව්‍යූහගත සම්මුඛ පරීක්ෂණයක් පවත්වා සුදුස්සන් තෝරාගෙන ශ්‍රී ලංකා විදුහල්පති සෙවයේ III ශ්‍රේණියට පත් කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.”

විදුහල්පති සේවා ව්‍යවස්ථාව (07 වන වගන්තිය)

Previous articleදේශපාලන පළිගැනීම් කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කළාද? : නීතිඥවරුන් සිව්දෙනෙක් අගවිනිසුරු හමුවට !
Next articleදීමනාත් එක්ක වතු කම්කරු වැටුප 1230ක් – කම්කරු අමාත්‍ය

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here