Home පුවත් වල දැමූ ඝාතනයක් උඩට ගත් සුගීර්දරාජන් : කළු ජනවාරියේ ඝාතනය කළ තවත් මාධ්‍යවේදියෙක් සමරයි !

වල දැමූ ඝාතනයක් උඩට ගත් සුගීර්දරාජන් : කළු ජනවාරියේ ඝාතනය කළ තවත් මාධ්‍යවේදියෙක් සමරයි !

0
වල දැමූ ඝාතනයක් උඩට ගත් සුගීර්දරාජන් : කළු ජනවාරියේ ඝාතනය කළ තවත් මාධ්‍යවේදියෙක් සමරයි !
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී සුබ්‍රමනියම් සුගීර්දරාජන්ගේ 15 වැනි සැමරුම පසුගිය 24 දා මඩකලපුවේ පිහිටි නැගෙනහිර මාධ්‍යවේදීන්ගේ සංගම් ශාලාවේදී පැවැත්විණි. 2006 ජනවාරි 24 දා ත්‍රීකුණාමලයේ පිහිටි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය අසලදී ඔහුව ඝාතනය කෙරිණි.
ඝාතනය කරන විට වයස අවුරුදු 38 ක් වූ ඔහු දෙදරු පියෙක්ව සිටියේය. දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද ප්‍රබල අවධානයට යොමු වූ ත්‍රීකුණාමල ශිෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් කරන ලද අනාවරණයක් ඔහුගේ මරණයට හේතු වූ බවට සැක කෙරේ. ආණ්ඩුකාර කාර්යාලය පිහිටි එවකට අධිආරක්ෂිත කලාපයේදී මේ ඝාතනය සිදුවුවද, මෙතෙක් ඊට අදාළව කිසිවකු වරදකරු වී නැත. ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් ද පසුව ඇප මත මුදාහැර තිබේ.

පාසල් සිසු ඝාතනය

ත්‍රීකුණාමලය, ෆෙඩ්‍රික් කොටුව අසල මුහුදු වෙරළේදී 2006 වසරේ ජනවාරි 02 දා පාසල් සිසුන් 05 දෙනෙකු ඝාතනය කෙරිණි. මේ සිසුන් එල්ටීටීඊ සංවිධානයේ සාමාජිකයන් බවත්, ප්‍රහාරයක් සඳහා බෝම්බ ප්‍රවාහනය කරමින් සිටියදී ඒවා පුපුරායෑමෙන් ඔවුන් මියගිය බවත් මාධ්‍ය වාර්තාවල සඳහන් කෙරිණි. එවකට සුඩර්ඔලි සහ උදයන් පුවත්පත්වල ත්‍රීකුණාමලය ප්‍රාදේශීය මාධ්‍යවේදියා ලෙස කටයුතු කළ සුගීර්දරාජන් සිය මාධ්‍ය මිතුරෙකු වූ මොහොමඩ් සාලි ද සමග ත්‍රීකුණාමලය රෝහලේ මෘතශරීරාගාරයට ගොස් ඇත්තේ මියගිය අදාළ සිසුන්ගේ මළසිරුරු බැලීමට ය. සුගීර්දරාජන් උපුටා දක්වමින් පළකෙරුණු මාධ්‍ය වාර්තාවලට අනුව එහිදී ඔවුන් නිරීක්ෂණය කර ඇත්තේ ඉතා ආසන්නයේ සිට කරන ලද වෙඩිතැබීම්වලින් මියගිය සිරුරු ය. ඒවායේ වෙඩි උණ්ඩ සලකුණු පවා පැහැදිලිව දක්නට ලැබී ඇත.

අනාවරණයේ වැදගත්කම

සිරුරුවල අදාළ කොටස් ඡායාරූපගත කළ සුගීර්දරාජන්, ඒවා සුඩර්ඔලි පුවත්පතේ මුල් පිටුවේ පළකිරීමට අදාළ කටයුතු කරන ලදි. මේ අනාවරණය හේතුවෙන් අදාළ මරණ සම්බන්ධයෙන් එවකට පැවැති මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව සහ මාධ්‍ය පැවසූ කරුණු ආන්දෝලනාත්මක විය. අදාළ අනාවරණයෙන් පසු පැවැති ආණ්ඩුවට ද විමර්ශනයක් පැවැත්වීමට සිදු විය. එහෙත් එහි අවසාන වාර්තාවක් එළියට ආවේ නැත. සුගීර්දරාජන්ගේ අනාවරණය නිසා දේශීය මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද මේ සම්බන්ධයෙන් අවධානය යොමු කෙරිණි.

අධිආරක්ෂිත කලාපය

අදාළ අනාවරණය පුවත්පතේ පළවී සති දෙකකට පසු 2006 ජනවාරි 24 වැනි අඟහරුවාදා උදෑසන ඔහුගේ නිවස ආසන්නයේදීම යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඔහුව ඝාතනය කෙරිණි. ඒ අධිආරක්ෂිත කලාපයකදී වීම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here