ජීවිත හෑල්ලු කරන පැණිය බිව්වොත් බේරෙයිද?

ධම්මික බණ්ඩාර නම් පුද්ගලයකු විසින් කොවිඩ් වෛරසයට එරෙහිව නිෂ්පාදනය ක‍ළේ යැයි පවසන පැණිය ලබාගැනීම සඳහා විශාල පිරිසක් පසුගිය දිනවල ඔහුගේ කෑගල්ල උඩුකුඹුරේ නිවසට පැමිණ ඇති අතර ඔවුන් නිරෝධායන නීති කඩකරමින් එහි රැදී සිට තිබේ.
ඉකුත් 25 වැනිදාත් විශාල පිරිසක් අලුයම සිට මධ්‍යහන 12.00 පමණ වනතුරු රැඳී සිට ඇති අතර එම පැණිය ලබානොදෙන බව මධ්‍යහන 12 ට පමණ දැනුම්දීමෙන් පසුව විසිර ගොස් ඇත.
ධම්මික මහතා විසින් කාලි අම්මා හීනෙන් කී වට්ටෝරුවක් අනුව සකස් කරනු ලැබූ බව කියන මෙම පැණිය සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් මේ වන විට ඇතිව තිබේ.

කොවිඩ් ප්‍රතිකාරයක් ලෙස පිළිගෙන නෑ

දේශීය වශයෙන් නිපදවා ඇති බව කියන කිසිදු පැණියක් කොවිඩ් වෛරසය සඳහා ප්‍රතිකාරයක් ලෙස මෙතෙක් පිළිගෙන නොමැති බව ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා සඳහන් කළේය.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් වෛරසය මැඩපැවැත්වීම සඳහා යැයි කියමින් නිෂ්පාදනය කළ පැණිය සඳහා ලිඛිත අවසරයක් ලබාදී ඇතැයි පළවන පුවත් සම්බන්ධයෙන් කළ විමසීමේදී හෙතෙම මේ බව පැවසීය.
ආයුර්වේද කොමසාරිස්වරයා සඳහන් කළේ එම පැණිය සඳහා ආයුර්වේද ඖෂධාගාරයක් ලියාපදිංචියට පසුගිය 23 වැනිදා ධම්මික බණ්ඩාර මහතාට ලිඛිතව අවසරය හිමිව ඇති නමුත් එම පැණිය කොවිඩ් ප්‍රතිකාරයක් ලෙස මෙතෙක් පිළිගෙන නොමැති බවත් අදාල ඖෂධය නිෂ්පාදන කාර්යය සඳහා පමණක් ලිඛිතව අවසර දුන් බවත්ය. එමෙන්ම ඖෂධීය පානයක් ලෙස පමණක් එය අනුමත කර ඇති බවද හෙතෙම කීවේය.

සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව අනුමැතියක්

එම පැණියට අදාළ සූත්‍ර කමිටුවේ අනුමැතිය සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව ලබාදී ඇතැයි ද නීතිය අනුව යම් ඖෂධයක සම්පූර්ණ සූත්‍රය සූත්‍ර කමිටුවට ලබාදිය යුතු වුවත් ධම්මික මහතා එම ඖෂධයට අදාළ සූත්‍රය සම්පූර්ණයෙන් අදාළ කමිටුවට ලබාදි නැතැයි ද පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති චමල් ආර් කුලතිලක මහතා MediaLK වෙත පැවසීය.
එම ඖෂධයේ සූත්‍රය අනිවාර්යයෙන් දිය යුතු නමුත් ‘කාලි අම්මා දුන් බව කියන’ මේ ඖෂධයේ සූත්‍රය සම්පූර්ණයෙන් ලබාදී නොමැති බවත් සූත්‍ර කමිටුවේ අවසරය දී ඇත්තේ එම සූත්‍රය නොමැතිව බවත් ඔහු කීවේය.
ඔහු මෙසේද සඳහන් කළේය.
“අපේ අධීක්ෂණයට ගිය අය ප්‍රකාශ කළේ ඔහු මුල් ද්‍රව්‍ය දාලා හදලා මැද හරියෙදි මතුරනවා කියලා විනාඩි දෙකක් විතර කට්ටිය⁣ට ඈතට වෙන්න කියනවා කියලයි එතකොට වෙන ද්‍රව්‍යයක් දානවා. නමුත් ඒ දාන්නේ මොකද්ද කියලා ඔහු කියන්නේ නෑ. එහෙමත් තියෙද්දි තමයි සම්පූර්ණ සූත්‍රය නැතුව තමයි සූත්‍ර කමිටුවේ අවසරය දීලා තියෙන්නේ.
සාමාන්‍ය ක්‍රමවේදයට පරිබාහිරව ගිහින් තමයි ඔය වැඩේ කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඖෂධයක් ලියාපදිංචි කරන විදියක් තියෙනවා.ආයුර්වේද ඖෂධයක් වේවා බටහිර ඖෂධයක් වේවා ලියාපදිංචි කිරීමක් කරන්න ඕනේ රටේ පවතින නීතිය ඇතුළේ. මෙහෙම කරන්නේ ඇත්තටම එකක් වෛද්‍ය ක්‍රමය අවභාවිත වෙන එක වළක්වගන්න. අනික් පැත්තෙන් ගත්තම ජනතාවගේ ආරක්ෂාව. අනික් එක තමයි ඒ වෛද්‍ය ක්‍රමය තුළ ඉන්න වෘත්තිකයන්ගේ වෘත්තීයභාවය වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා කරන්න තමයි මේ ඖෂධ ලියාපදිංචි කිරීමක් නියාමනය කිරීමක් කරන්නේ. එතකොට සමාජයේ වැරදි අවබෝධයක් තියෙනවා මේ ආයුර්වේද වගේ ඖෂධයක් අතුරු ආබාධ මොකුත් නෑ ඒ නිසා නියාමනය කරන්න දෙයක් නෑ පස් පංගුවට ඇයි සහතිකයක් අවශ්‍ය වගේ අදහසක් ගිහින් තියෙනවානේ සමාජේ. නමුත් එහෙම නෑ ඒ ඖෂධවල පවා වැරදි මාත්‍රාවෙන් ගත්තොත් හෝ සංස්කරණවල අවුල් නිසා විෂ සහිත තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. මොකද රස ඖෂධ පාවිච්චි කරනවා විෂ ද්‍රව්‍ය පාවිච්චි කරනවා ඖෂධ සඳහා ඒවා ගන්න ඕන මාත්‍රාවන් තියෙනවා. ප්‍රමාණයක් තියෙනවා. ප්‍රමාණය ඉක්මවා ගියොත් ඒවට ප්‍රතිවිපාක තියෙන්න පුළුවන්. ඒ නිසා නිෂ්පාදනයේදී නියමිත ක්‍රමවේදයක් අනුගමනය කරන්න ඕන. ඒ වගේම සමහර වට්ටෝරු තියෙනවා අවුරුදු තුන් හාරදාහක් පරණ වට්ටෝරු. ඒ වගේම පරම්පරාගත දේශීය ඖෂධ ක්‍රමයට අදාළ එක් එක් පරම්පරා විදියට පවත්වාගෙන ආපු ඒ ප්‍රතිකර්ම කරලා දැකලා අත්දැකීම්වලින් පරපුරුද්දෙන් නිෂ්පාදනය කරන ඖෂධ ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේවා නියාමනය කරන්න ක්‍රමවේද හඳුන්වා දීලා තියෙනවා. 1961 අංක 31 දරණ පනත මගින් මේවා නියාමනය කරන්න ක්‍රමවේද සමහරක් ඒවා හඳුන්වාදීලා තියෙනවා සමහරක් ඒවා කාලීන විදියට හදාගන්න රෙගුලාසි හදන්න පනත හදලා තියෙනවා.
එතකො⁣ට ඒ අනුව ඒ රෙගුලාසි අනුව 10 වැනි වගන්තියේ තියෙනවා නිෂ්පාදනාගාර බේත් ශාලා ඖෂධ ගබඩා සහ පුද්ගලික රෝහල් ලියාපදිංචි කිරීමට අදාළ රෙගුලාසි හදාගන්න. 10 වැනි වගන්තිය යටතේ තියෙන මේ ඖෂධ නිෂ්පාදනගාර සඳහා රෙගුලාසි හදාගන්න 1973 ඖෂධාගාර නියෝග කියලා රෙගුලාසි වගයක් හඳුන්වලා දීලා තියෙනවා. ගැසට් එක ඇවිල්ලා තියෙන්නේ 1976 සැප්තැම්බර් 06 වැනි සඳුදා අංක 229/03 දරණ ගැසට්ටුව. මේ ගැසට් එකෙන් හඳුන්වලා දීලා තියෙනවා ඖෂධ නිෂ්පාදනාගාර නියෝග කියලා එකක්. ඊට අමතරව 77 වගන්තියෙන් ආයුර්වේද නීති සංග්‍රහයක් හදාගන්න කියලා ඒ පනතේම. නමුත් මේ ආයුර්වේද නීති සංග්‍රහය මේ වන තෙක් සකස් කරන්න මේ පාලකයන්ට බැරි වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් නඩුවකුත් මේ වන විට විභාග වෙනවා. ඒ නඩුවේ අතුරු තීන්දුවක් දීලා තියෙනවා මේක ඉක්මණින් හදාගන්න කියලා. ඒකේ තියෙන්නේ ආයුර්වේද ද්‍රව්‍යයක් හෝ සේවාවක් හෝ භාණ්ඩයක් නිෂ්පාදනය කරනාවනම් ඒ පිළිවෙල කොහොමද ඒ සඳහා අවසරයක් දෙන්නේ කොහොමද ඒ අදාළ කරුණු තමයි ආයුර්වේද නීති සංග්‍රහයේ තියෙන්නේ. ඒක හැදිලා නෑ තාම. නමුත් නිෂ්පාදනාගාර නියෝග සඳහා රෙගුලාසි හැදිලා තියෙනවා 10 වැනි වගන්තිය යටතේ. ඒ වගන්තිය යටතේ හදපු නිෂ්පාදනාගාර නියෝග ජාතික රාජ්‍ය සභාව විසින් අනුමත කරන ලැබූ නියෝග කියලා තමා පටන් ගන්නේ. 1976 ජෝර්ජ් රාජපක්ෂ හිටපු සෞඛ්‍ය ඇමතිවරයා තමයි මේ නියෝග ඔක්කොම දීලා තියෙන්නේ. ඒ නියෝග යටතේ 20 වැනි නියෝගය විදියට තියෙනවා ඖෂධ නිෂ්පාදනාගාරයක සියලුම ඖෂධ දැඩි සත්‍යතාවක් යටතේ සකස් කළ යුතුයි කියලා. ඒ කියන්නේ නිරෝගීබාවයකින්. ඒ කියන්නේ නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරමින් හදන්න ඕන කියලා තමයි 20 වැනි නියෝගයේ තියෙන්නේ. එතකොට 21 (1) වගන්තියේ කියනවා මහජනයාට විකුණන්න තියෙන යම් ඖෂධයක සෑම සූත්‍රයක්ම ඒ කාර්යය සඳහා පත්කරන ලද සූත්‍ර කමිටුව මගින් පළමුව අනුමත කළ යුතුයි. ඔන්න ඕක තමයි දැන් මේ ප්‍රශ්නය.
යම් ඖෂධයක් ලියාපදිංචි කරනවානම් මුලින්ම නිෂ්පාදනගාර ලියාපදිංචිය ගන්න ඕන. ඊට පස්සේ නිෂ්පාදනය කරනු ලබන ඖෂධවලට සූත්‍ර කමිටුවේ අනුමැතිය තියෙන්න ඕන. ඒ අනුමත වෙච්ච ඒවා විතරයි නිෂ්පාදනය කරන්න පුළුවන්. දැනට අපේ ඖෂධ සංග්‍රහයේ තියෙන ඒවා නිෂ්පාදනාගාර විසින් නැවත අනුමත කරගන්න අවශ්‍ය නෑ මොකද ඒවා හදන ක්‍රමවේද සියල්ල තියෙනවා. ඊළඟට පාරම්පරික අය සඳහා තමන්ගේ ගෙදරට එන අයට ඔහු මෙතෙක් කල් පාරම්පරිකව හදන ඖෂධ සකස් කිරීම සඳහා කිසිම බාධාවක් නෑ. හැබැයි ඊට එහා ගිහින් වෙනත් වට්ටෝරු කවුරු හරි ගේනවනම් ඒවා අනිවාර්යයෙන් ලියාපදිංචි කළ යුතුයි. එ්ක තමයි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් නීති හදලා තියෙන්නේ. යම් කෙනෙක් කියනවානම් මේ කුහකයෝ මේවා අදිනවා කියලා… ⁣අපි හිතන්නේ එහෙනම් අපිට නෙමෙයි කුහකයෝ කියලා කියන්න ඕන… ජාතික රාජ්‍ය සභාවේ හිටපු නියෝජිත⁣යින්ට, ජෝර්ජ් රාජපක්ෂ හිටපු සෞඛ්‍ය ඇමතිවරයාට තමයි පළමුවෙනියෙන් කුහකයෝ කියන්න වෙන්නේ. නිශ්චිතව ම සඳහන් කරලා තියෙනවා.
පාරම්පරික වෛද්‍යවරුන්ට තම තමන්ට ඒවා හදන්න පුළුවන් ගෙදරට බේත් ගන්න එන සීමිත පිරිසට . ඖෂධ සංග්‍රහයෙන් ඒවා නිෂ්පාදනයට කිසි ගැටළුවක් නෑ. ඒවා දැනට අනුමත කරපුවා. යම් ඖෂධයක් අලුතින් එනවානම් ඇත්තටම කවුරු හරි කියපු දෙවියෝ භූතයෝ කියලා හීනෙන් කියපු ඖෂධ වගේ ඒවා වෙළෙඳපොලට එන එක ඒවා ජනතාවට ප්‍රතිකාර කිරීම වැළැක්වීමට තමයි මේ පනත තියෙන්නේ මේ නියෝග තියෙන්නේ.. නමුත් කරුමෙට මේ වළක්වන්න ඕන එ්වා නීතිගත කරන්න මේ වගන්තිය යොදාගන්නවා.. ඒ කියන්නේ දැන් නවත්වන්න ඕන ඒවා නීතිගත කරන්න මේක යොදාගන්න හදනවා. මේ නියෝග ගෙන ආව එකේ පරමාර්ථය තමයි මේ විදියේ අවිධිමත් ඖෂධ වට්ටෝරු නිෂ්පාදන වෙළෙඳපොලට එන එක ජනතාවට එන එක වැළැක්වීමට. නමුත් අද කාලි කියනවා හරි මිත්‍යා විශ්වාස මත මොනවා හරි ද්‍රව්‍ය ටිකක් දාලා මී පැණි රත් කරද්දි ප්‍රශ්නයක් වෙනවා කියලා දැන් හොයාගෙන තියෙනවා. මේවා වළක්වන්න තියෙන නීති අද ඒවාට සුජාතභාවය දෙන්න පාවිච්චි වෙනවා. අපි ප්‍රතික්ෂේප කරනවා සංගමයක් විදියට. මේවා මේ විදියට යොදාගන්නේ සාමාන්‍ය ක්‍රමවේදයට පටහැනිව. සාමාන්‍ය ආයුර්වේද නිෂ්පාදනාගාරයක් ලියාපදිංචි කරන්න අයදුම්පත් දාලා වසර දෙක තුනක් පොලිමේ ඉන්න ඕන. දැන් මේක. සාමාන්‍ය ක්‍රමවේදය පන්නලා ගිහිල්ලා ලියාපදිංචිය දෙන්න හදන්නේ. රටේ හදිසි තත්ත්වයකට අදාළ දෙයක්නම් කමක් නෑ පොලිම කඩලා ලියාපදිංචියක් දුන්නට. නමුත් මේවා වෙන්නේ අත්භුත විදියට. සාමාන්‍යයෙන් නිෂ්පාදනාගාර ලියාපදිංචියට අවුරුදු දෙකක් විතර බලන් ඉඳලා සූත්‍ර කමිටුවේ අවසරය ගන්න තවත් වසරක් විතර ඉඳලා. සාමාන්‍යයෙන් කමිටු තීරණය තැපැලෙන් තමයි යන්නේ. නමුත් මාධ්‍ය වාර්තා කළා මේ පැණියට අදාළ තීරණය ඩිලිවරි කළා කියලා.
ඊට පස්සේ තාක්ෂණික වාර්තා කැඳවනවා. බැර ලෝහ වගේ ඒවා, අහිතකර ක්ෂුද්‍ර ජීවින් ඉන්නවාද කියලා බලන්න… ඊට අමතරව වෙනත් ගැටළු තියෙනවාද බලන්න. ඒ තාක්ෂණික වාර්තා ගන්න ජාත්‍යන්තර නිර්නායකන්ට අනුව ආයතන හතරක් තියෙනවා. සූත්‍ර කමිටුවෙන් කියනවා මේ මෙි ආයතනවලින් තමයි වාර්තා අවශ්‍ය කියලා. හැම එකක්ම ගන්නෑ. නමුත් අපට තියෙන ආරංචිමාර්ග අනුව අපට පෙනෙන්න⁣ට තියෙන්නේ මේ සඳහා ගෙනල්ල තියෙන්නේ ඒ ආයතන හතරට අයත් වාර්තාවක් නෙමෙයි. මේ ආයතන විදියට තියෙන්නේ අයිටීඅයි එක තියෙනවා, එස්ජීඑස්, බියුරෝ වෙරිටාස්, බැම්බූ බෘස් ආයතනය.. මෙහෙම ක්‍රමවේදයට බාහිරව හරි සහතිකය දුන්නාම ඒ කට්ටඩි මහත්තයා දැන් ඒක ප්‍රතික්ෂේප කරනවා. දැන් හොඳම විහිළුව ඒක. අපි දන්නේ නෑ කාගේ උවමනාවට මෙහෙම වෙනවාද කියලා…මේක ඇතුළේ හෑල්ලුවට ලක්වෙන්නේ අපේ වෛද්‍ය ක්‍රමය..අපි ඒකට විරුද්ධ වෙනවා. අපි කියන්නේ සූත්‍ර කමිටුව මේ සම්බන්ධයෙන් උත්තරයක් දිය යුතුයි. වට්ටෝරුව හරිය⁣ට දුන්නාද කියලා ගැටළුවක් තියෙනවා. සෞඛ්‍ය සේවය කොරෝනා මර්දනය කිරීම සඳහා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් හඳුන්වලා දීලා තියෙනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුව කොරෝනා මර්දනය සඳහා රැපිඩ් රෙජිස්ට්‍රේෂන් ප්‍රොසිඩියර් එකක් හඳුන්වා දීලා තියෙනවා.”

බලාපොරොත්තුව එන්නතක් හරහා පමණයි

කොවිඩ් එන්නත් සහ පැණි සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතාගෙන් කළ විමසීමකදී හෙතෙම පැවසුයේ ඖෂධයක් සම්බන්ධයෙන් බලාපොරොත්තුවක් තබාගන්නේනම් එය තබාගත හැකි වන්නේ එන්නතක් හරහා පමණක් බවය.
“ලංකාවට ගෙන්වන පළවෙනි අලුත් එන්නත මේක නෙවෙයි. මේ එන්නත් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබෙන තුරු ඉන්නවාද කියල මේ විශේෂඥ කමිටු හරියටම තීරණය කළ යුතු වෙනවා. සමස්ත ජනගහනයෙන් 60 වැඩි පිරිසක් එන්නත්කරණයට ලක්කළ යුතුයි කියන මතයේ අපි ඉන්නවා. ඒවගේම මේ පැණි සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදිය යුතුයි. දන්න තරමින් ආයුර්වේද කොමසාරිස්තුමා ඒ ගැන මුකුත් කියලා නැහැ”.

පැණි ගැන අදහස් දක්වන්න බෑ

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරසිංහ මහතා මේ සම්බන්ධයෙන් පැවසුයේ එන්නතක් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
මෙම එන්නත් තැබිය යුතු උෂ්ණත්වයට අදාල ශීතාගාර පහසුකම් ලංකාව තුළ තිබේද යන්න මෙන්ම මෙම එන්නත්වල අතුරු ආබාධ තිබේද යන්න අධ්‍යයනය කිරීමෙන් පසුව මේ සඳහා තීරණයක් ගත යුතු බව හෙතෙම පැවසීය. දේශීය පැණි සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවද හෙතෙම කීවේය.

නීතිවිරෝධීයි – ජනතාව මුලා කිරීම පාපයක්

ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.
“බටහිර වෛද්‍ය විද්‍යාවේදී කිසිම ඖෂධයක් අපිට ඕනෑ හැටියට එන්නතක් ලෙස භාවිත කරන්න බැහැ. ඒ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි විය යුතු වෙනවා. මුලින්ම ඖෂධය සඳහා පර්යේෂණ කර ඖෂධයේ සාර්ථකත්වය විද්‍යානුකූලව තහවුරුකරගත යුතුවෙනවා. අදාල ඖෂධයේ මාත්‍රාව දිය යුතු වාර ගණන අතුරු ආබාධ ආදිය පිළිබඳවත් අපි සලකා බැලිය යුතු වෙනවා. එහෙම නැතිව ඖෂධයක් රෝගියෙකුට නිර්දේශ කරන්න බැහැ. දේශීය ඖෂයක් වුණත් ආයුර්වේද වෛද්‍ය සභාවෙන් මේ ක්‍රම අනුගමනය කරලා අනුමත කරගත යුතු වෙනවා. පැණි ගැන කතාකරන පුද්ගලයින්ගේ පසුබිම ජනතාව දන්නවා. මෙවැනි දේ නිතිවිරෝධියි. ජනතාව මුලාකිරීම පාපයක්”
Previous articleපුද්ගලික සේවකයින් විශ්‍රාම යන වයස වැඩි කිරීම ගැන තවම එකඟතාවක් නෑ
Next articleනිරෝධායන නීති නොතකා යුද හමුදාපති නිලවරණ රාජකාරියේ : ආමි එක ඇතුළෙ කැන්වසින් කරන්න බෑ – යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

ඔබේ අදහස්

Please enter your comment!
Please enter your name here