Home පුවත් නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?

නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?

0
නිර්දේශ ක්‍රියාත්මක නොවුණත් අපරාධ නඩු ගැන සැක මතුකර අවසන් : දේශපාලන පළිගැනීම් කොමිසමේ අරමුණ ඉටුවුණාද?
ජනාධිපතිවරයා විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ කොමිසමේ වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමත්, ජනාධිපතිවරයා විසින් එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාගැනීමත් සිදු විය. එහෙත් එම කොමිසමේ නිර්දේශ මගින් අධිකරණ ක්‍රියාවලියට සිදුවන බලපෑම පිළිබඳ මෙතෙක් ප්‍රමාණවත් සංවාදයක් ඇති වූයේ නැත.
මේ කොමිසම පිහිටුවීමේ අරමුණ ලෙස ‘2015 ජනවාරි මස 08 වැනි දින සිට 2019 නොවැම්බර් මස 16 වැනි දිනෙන් අවසන් වූ කාලසීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවල සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදු වී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව’ යනුවෙන් දක්වා ඇත. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිත්වයෙන් පිහිටවූ මේ කොමිෂන් සභාව, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු සහ හිටපු අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලකගේ සාමාජිකත්වයෙන් සමන්විත විය.

සභාපති විනිසුරුගේ කතාව

මේ කොමිසමේ සාමාජිකයන් ලෙස අදාළ නිර්දේශ ලබාදුන්නේ කවුද, ඔවුන්ගේ සුදුසුකම් කුමන ආකාර ද යන්න සම්බන්ධයෙන් ද සංවාදයක් අවශ්‍ය ය. කොමිසමේ සභාපති ධුරය දරන ලද්දේ උපාලි අබේරත්න හිටපු විනිසුරුවරයා ය. මේ සභාපති විනිසුරු අධිකරණ සේවයේ සිටියදී නීතිය විෂමාචාර ලෙස භාවිත කිරීමේ චෝදනාවට වරදකරු වූවෙකි. ඒ 1999 වර්ෂයේදී ය. රාවය පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ලියූ නොනිමි අරගලය කෘතියේ මේ සම්බන්ධයෙන් තොරතුරු සාක්ෂි සහිතව සඳහන් ය. හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා සමඟ එක්ව මෙම විෂමාචාරය කළ බවට චෝදනා එල්ල විය. එවකට උපාලි අබේරත්න විනිසුරුවරයා කොළඹ දිසා අධිකරණයේ විනිසුරුවරයකු ලෙස කටයුතු කළේය.
වරලත් රසායන ඉංජිනේරුවකු වූ ඩබ්ලිව්.ඒ.බී. ජයසේකර සිය බිරිඳට හා සරත් නන්ද සිල්වාට එරෙහිව අනාචාර නඩුවක් කොළඹ දිසා අධිකරණය ඉදිරියේ ගොනු කළේ 1993 දෙසැම්බර් 15 දා ය. සිය බිරිඳ ඔහු අතහැර සරත් නන්ද සිල්වා සමඟ ජීවත් වන බවත්, සරත් නන්ද සිල්වා ද දික්කසාද වූ අයෙකු නොවන බැවින්, මෙය අනාචාරයක් බවත් කියමින් ඔහු කොළඹ දිසා අධිකරණය හමුවේ මේ නඩුව ගොනු කර තිබේ.

යුක්තිය ඉටුකළ අයෙක් ද?

එම පැමිණිල්ල විභාගයට ගැනීමෙන් තොරව, පැමිණිල්ලේ අඩුපාඩු සකස් කිරීමට කිසිදු අවස්ථාවක් ලබානොදී දිසා විනිසුරු උපාලි අබේරත්න විසින් ඉවත දමන්නේය. පසුව ඔහු නැවතත් 1994 ජුනි 10 දා තවත් පැමිණිල්ලක් දිසා අධිකරණය හමුවේ ගොනු කර ඇති අතර, එහිදී උපාලි අබේරත්න විනිසුරුවරයා පැමිණිලි පාර්ශ්වයේ කිසිදු විමසීමකින් තොරව පළමු වගඋත්තරකරු වූ සරත් නන්ද සිල්වා වගඋත්තරකාර තත්ත්වයෙන් ඉවත් කරනු ලැබීය. ඉන් නොනැවතුණු විනිසුරුවරයා තමන් විසින් පනවන ලද නියෝගය සම්බන්ධයෙන් අභියාචනයකට ඉඩ නොතැබීම පිණිස පැමිණිලි පාර්ශ්වයට දින 14ක් යන තුරු නියෝගයේ පිටපතක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් ඇති කර තිබිණි. එනම්, ඔහු එම නඩු ගොනුව තමන් භාරයේ තබා ගනිමින් පැමිණිල්ල රස්තියාදු කර තිබිණි.
පැමිණිලි පාර්ශ්වය දින 14කට පසු නියෝගයේ පිටපතක් ලබාගෙන නැවත අභියාචනයක් ඉදිරිපත් කළද, දින 14කට පෙර එය ඉදිරිපත් නොකිරීමේ පදනම ඉදිරිපත් කරමින් විනිසුරුවරයා අභියාචනය ද ප්‍රතික්ෂේප කළේය. පසුව විනිසුරුවරයා පැමිණිල්ලට අපූරු යෝජනාවක්ද කර ඇත. එනම්, වගඋත්තරකාර තත්ත්වයෙන් සරත් නන්ද සිල්වා ඉවත් කර ඇති බැවින්, දැන් වගඋත්තරකරුවකු ලෙස සිටින්නේ ඔහුගේ බිරිඳ පමණක් බැවින්, දික්කසාදය ගෙන නඩුව සමථයකට පත් කර ගන්නා ලෙස ය. පැමිණිලිකාර වරලත් ඉංජිනේරුවා විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් කුපිත වී ඇති උපාලි අබේරත්න විනිසුරුවරයා විවෘත අධිකරණයේදී ඔහුට බැණවැදී තිබේ. ඉන් නොනැවතී පැමිණිල්ල ඉදිරිපත් කළ ලිඛිත විරෝධය ද සලකා බැලීම ප්‍රතික්ෂේප කරමින්, අදාළ කාන්තාවට මසකට රුපියල් 10,000ක නඩත්තු ගාස්තුවක් ද, රුපියල් 50,000ක නඩු ගාස්තුවක් ද ගෙවීමට නියම කර ඇත.
එය නඩත්තු විධාන සංග්‍රහයට පටහැනි ක්‍රියාවකි. ඔහු නීතිය අතට ගනිමින් එසේ කටයුතු කොට එවකට අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වූ සරත් නන්ද සිල්වාගේ අවශ්‍යතාවක් ඉටුකර ඇතැයි තහවුරු වී තිබේ. පසුව පැමිණිල්ලේ නීතිඥයා විසින් නඩු ගාස්තු හා නඩත්තු ගාස්තු අය කිරීමේ නියෝගයට එරෙහිව සංශෝධන නඩුවක් යළිත් ගොනු කරඇත. එහෙත් එම ප්‍රතිශෝධන ඉල්ලීමද පසෙක ලා වගඋත්තරකාරියගේ හිමිකම් චෝදනාව විභාගයට ගනිමින්, දික්කසාදයට ඇයට අවසර දී ඇති උපාලි අබේරත්න විනිසුරුවරයා ඇගේ නඩු ගාස්තු ලෙස රුපියල් ලක්ෂ 10ක වන්දියක් ද නියම කර තිබේ.

අධිකරණවල සඟවන පැත්ත

දිගින්-දිගටම තමන්ට මුහුණ දීමට සිදු වූ අසාධාරණයට එරෙහිව රසායන ඉංජිනේරුවා සිය දුක්ගැනවිල්ල අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ලෙස ඉදිරිපත් කර ඇත. අධිකරණ සේවා කොමිසම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීරණය කළ ද, ඒ වන විට අභියාචනාධිකරණ සභාපති ලෙස කටයුතු කළ සරත් නන්ද සිල්වාගේ මැදිහත්වීමෙන් එය යටපත් විය. වරලත් රසායන ඉංජිනේරු ජයසේකර 1995 ජුනි 10 දින අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කිරීමට පෙර, 1994 සැප්තැම්බර් 24 දින ද සිද්ධිය පිළිබඳව අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර තිබේ. එවකට අධිකරණ සේවා කොමිසම සමන්විත වූයේ අගවිනිසුරු හා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊළඟට සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් දෙදෙනාගෙනි.
එවකට අගවිනිසුරු ලෙස කටයුතු කළේ ජී.පී.එස්. ද සිල්වා ය. ජ්‍යෙෂ්ඨතම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වූයේ, පිළිවෙළින් තිස්ස බණ්ඩාරනායක සහ මාක් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් ය. අගවිනිසුරුවරයා ජයසේකරව පෞද්ගලිකව හඳුනන බැවින්, ඔහු උපාලි අබේරත්නට එරෙහිව ඉදිරිපත්ව ඇති පැමිණිලි විභාගයෙන් ඉවත්වූයේ, සෙසු සාමාජිකයන්ට පැමිණිල්ල විභාග කිරීමට අවස්ථාව ලබාදෙමින් ය. ජයසේකර විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලේ පිටපතක් 1994 නොවැම්බර් 08දා අධිකරණ සේවා කොමිසම විසින් උපාලි අබේරත්න විනිසුරුවරයාට යවන ලදි. පැමිණිල්ලට අදාළ නිරීක්ෂණ අධිකරණ සේවා කොමිසමට ලිඛිතව ඉදිරිපත් කරන ලෙස ද දැනුම් දී තිබේ. 1994 නොවැම්බර් 11 දින දිසා විනිසුරුවරයා සිය නිරීක්ෂණ අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳව දීර්ඝව විමර්ශනය කිරීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනා උපාලි අබේරත්නට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කර ඇත. ඔහු ඒ වන විට කුරුණෑගල දිසා විනිසුරුවරයා ලෙස කටයුතු කරමින් සිට තිබේ. විෂමාචාරයේ යෙදීම ගැන ඔබ සේවයෙන් පහ නොකිරීමට හෝ වෙනත් ආකාරයකින් ඔබට විරුද්ධව කටයුතු නොකිරීමට හෝ හේතු ඇතොත් දන්වන ලෙස එම චෝදනා පත්‍රයේ සඳහන් කර තිබේ. 1996 පෙබරවාරි 12 දින යොමු කළ එම චෝදනා පත්‍රයට අනුව දිසා විනිසුරුවරයාට හේතු දැක්වීමට මාසයක කාලයක් ලබා දී ඇත.
අභියාචනාධිකරණ සභාපති ධුරයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට පත් වූ සරත් නන්ද සිල්වා පසුව ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ සමීපතමයකු වීම මත නීතිපති ධුරයට පත්කෙරිණි. උපාලි අබේරත්න ඔහුට එරෙහිව ඉදිරිපත්ව තිබූ චෝදනාවලට පිළිතුරු දිය යුතු අවසන් දිනය වූයේ 1996 මාර්තු 12දා ය. සරත් නන්ද සිල්වා නීතිපති ලෙස පත්වූයේ 1996 මාර්තු 01 දා ය. ඒ සමඟම දිසා විනිසුරුවරයා චෝදනා පත්‍රයට පිළිතුරු දීමෙන් වැළකී සිටියා පමණක් නොව, ඔහුට එරෙහිව ආරම්භ වී අවසානයක් කරා යමින් තිබූ පරීක්ෂණ ද යටපත් විය.

වික්ටර් අයිවන් ප්‍රමුඛ අරගලය

අධිකරණ සේවා කොමිසම මඟින් ඒ වන විට දිසා විනිසුරුවන් දෙදෙනකුට එරෙහිව පරීක්ෂණ කොට තීන්දු ගෙන තිබූ අතර, ඔවුන් වූයේ ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න ය. නමුත් අධිකරණ සේවා කොමිසමේ තීන්දුව ක්‍රියාත්මක වීම කල්යෑමට එරෙහිව ‘රාවය’ පුවත්පත ගෙන ගිය දැඩි විරෝධය හමුවේ නීතිඥ සංගමය රැස් වී ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන්ට එරෙහි පරීක්ෂණ යළිත් ආරම්භ කළ යුතු බවට අධිකරණ සේවා කොමිසමට දැනුම්දීමට තීන්දු කළේය. ඒ අනුව යළිත් උපාලි අබේරත්න හා ලෙනින් රත්නායක යන දිසා විනිසුරුවන්ට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කිරීමට තීන්දු කෙරුණු අතර, උපාලි අබේරත්නට එරෙහි පරීක්ෂණයට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කෙරිණි. අභියාචනාධිකරණ විනිසුරු අමීර් ඉස්මයිල්ගේ සභාපතිත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් වූ හෙක්ටර් යාපා සහ පී.එදිස්සූරිය යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව පිහිටුවනු ලැබීය. දීර්ඝ විමර්ශනයකින් පසු ත්‍රිපුද්ගල කමිටුව ඔහුට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාවලට වරදකරු කර තිබේ. දිසා විනිසුරුවරයා 1999 ජනවාරි 31 දින සිට අනිවාර්ය විශ්‍රාම ගන්වා ඒ බව ඔහුට දැන්වීමට අධිකරණ සේවා කොමිසම පියවර ගෙන ඇත.
සරත් නන්ද සිල්වාගේ සමීපතම මිතුරකු වූ ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මේ පිළිබඳව අභියාචනයක් අධිකරණ සේවා කොමිසමට ඉදිරිපත් කළේ කොමිසම ගත් තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලමිනි. ඒ වෙනුවෙන් හේතු ගණනාවක් ඔහු උපාලි අබේරත්න විනිසුරුවරයා වෙනුවෙන් ඉදිරිපත් කර තිබිණි. අභියාචනය විභාගයට ගත් අධිකරණ සේවා කොමිසම අනිවාර්ය නිවාඩු ගැන්වීමට ගෙන තිබුණු තීන්දුව අත්හිටුවා ඔහුව මොනරාගලට මාරු කිරීමට පියවර ගත්තේය. අධිකරණ සේවා කොමිසම පත්කළ පරීක්ෂණ කමිටු දෙකකින් වරදකරු කළ අයකුට කොමිසම ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම එවකට ජනමාධ්‍යයේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. මේ ආකාරයට සියලු චෝදනාවලින් ගැලවී විනිසුරුවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකු දක්වා පැමිණ ඇත.

හිටපු පොලිස්පතිට එරෙහි චෝදනා පහක්

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කළ අදාළ කොමිසමේ තවත් සාමාජිකයකු වූ හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු කියන්නේ ද පොලිස්පති වීමට පෙර මෙසේ බරපතළ චෝදනා එල්ල වූ තැනැත්තෙකි. ඔහුට එරෙහිව චෝදනා ඉදිරිපත් කරමින්, ඔහු පොලිස්පති ධුරයට පත්නොකරන ලෙස එවකට ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් ඉල්ලා සිටියේ පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයයි. පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය 2004 අගෝස්තු 31 දින ජනාධිපතිනියට යැවූ ලිපියකින් හිටපු පොලිස්පතිවරයාට චෝදනා පහක් ඉදිරිපත් කර තිබිණි.
එයින් පළමු චෝදනාව වූයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස බැඳී, වැටුප් රහිත නිවාඩුවක් වසර හතරක කාලයකට ලබාගෙන, ජපානයට ගොස් වසර පහක කාලයක් එහි රැකියාවක් කොට, නැවත මෙරටට පැමිණ, ඊළඟ ශ්‍රේණියට උසස්වීමක්ද ගෙන, වැටුප් රහිත නිවාඩු කාලයට හිඟ වැටුප් ලබාගැනීම ය. දෙවැනි චෝදනාව වූයේ 1985 මැයි 05 දා යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් සිටියදී, චන්ද්‍රා ප්‍රනාන්දු යාපනය පොලිසියේ ආරක්ෂාව යටතේ යාපනය අධිකරණයට අයත් නඩු භාණ්ඩ වශයෙන් තිබූ රන් භාණ්ඩ සියල්ල කොල්ලකෑ බව ය. පැවති කලහකාරී වාතාවරණය මත යාපනය අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස තිබූ රන් ආභරණ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථානයේ සේප්පුවක තබා ඇත්තේ, ඔහු යාපනය කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා ලෙස සේවය කරද්දී බව ද අදාළ ලිපියේ සඳහන් ය. 1985 මැයි 05දා චන්ද්‍රා ප්‍රනාන්දු විසින් තමන්ගේ රියැදුරු වූ පොලිස් සැරයන් රාජරත්නම්ගේ උපකාරය ඇතිව පොරොවකින් පහර දී අදාළ සේප්පුව විවෘත කර ආරක්ෂාව සඳහා යැයි කියමින්, සියලුම රන් ආභරණ සිය භාරයට ගත් බවට චෝදනා එල්ල වී තිබේ. පොලිස් රියැදුරු රාජරත්නම් පසුව ඝාතනය විය. පසුව මේ පිළිබඳව සහකාර පොලිස් අධිකාරි එච්.එස්. ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණයක් පැවැත්වුණද, ජයසූරිය හා චන්ද්‍රා ප්‍රනාන්දු අතර තිබූ හිතවත්කම මත පරීක්ෂණ යටපත් වූ බව ද පොලිස් පරීක්ෂක සංගමය විසින් යොමුකළ ලිපියේ සඳහන් විය.

චන්ද්‍රිකා චෝදනා ඉවත දමයි

මීට අමතරව පොලිස් උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සිටිමින් පොලිස් නිලධාරීන්ගේ උසස්වීම් ලබාදීමේ තරග විභාග අක්‍රමවත් ලෙස හා විනිවිදභාවයකින් තොරව පැවැත්වීම නිසා සුදුසුකම් සහිත නිලධාරීන් රැසකට උසස්වීම් අහිමි වූ බවට ද තවත් චෝදනාවක් එල්ල වී තිබේ. එසේම ඔහු උසස් අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටිමින් සුදුසුකම් නොමැති කාන්තා පොලිස් කොස්තාපල්වරියක්, කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක ලෙස උසස් කිරීමට බලපෑම් කළේ යැයි ද චෝදනා එල්ල විය. මේ ආකාරයේ චෝදනා රැසක් අදාළ ලිපියේ සඳහන් වන අතර, ඊට අදාළ සාක්ෂි ද ඇමුණුම්වලට ඇතුළත් කර ඇත. එම නිසා ඔහු පොලිස්පතිවරයා ලෙස පත් නොකරන්නැයි ද පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලා ඇත. එහෙත් හිටපු ජනාධිපතිනිය ඔහුව පොලිස්පති ලෙස පත්කළාය.

නඩු 79ක ඉරණම

පිටු 2000කින් යුත් මේ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ හා තීරණ ඇතුළත් සාරාංශයක් ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ කැබිනට් සංදේශයට එක් කොට ඇත. එම සාරාංශයේ ඇමුණුම 1 හි නඩු 61ක් ද, ඇමුණුම 2 හි නඩු 18ක් ද ලෙස නඩු 79ක් ඉවත් කරගන්නා ලෙස නීතිපතිවරයාට දැනුම් දී ඇති අතර, එහි පැමිණිලිකරුවන්ට සහන සලසන ලෙසත්, පැමිණිලිකරුවන්ට එරෙහිව කටයුතු කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් කොමිසමෙන් නිර්දේශ කර තිබේ.  එසේම පසුගිය ආණ්ඩුව සමයේ පිහිටවූ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය, දූෂණ විරෝධී කමිටුව හා ජාතික විධායක සභාව ගැන කොමිසම දැඩි විවේචනයක් එල්ල කොට තිබෙන අතර, එම ආයතනවල නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට පාර්ලිමේන්තුවෙන් නීති සකස් කරන ලෙස ද ඉල්ලා ඇත.
දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මඟින් සිදු කළ පොදු දේපළ අවභාවිතාව සම්බන්ධයෙන් විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ පැමිණිල්ලක් කොමිසම විභාග කළේය. හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු එදා සිටි පක්ෂ, විපක්ෂ දේශපාලනඥයන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරද අදාළ පැමිණිල්ල පිළිබඳ නිර්දේශයේ වගඋත්තරකරුවන් කර තිබුණ ද, එවකට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවි වෛද්‍යලංකාර මෙහි වගඋත්තරකරුවකු කර නැත.

ව්‍යවස්ථාව රකින්නන් සහ කඩන්නන්

එම පැමිණිල්ල සම්බන්ධයෙන් කොමිසම විසින් නිර්දේශ 05ක් ඉදිරිපත් කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රාජ්‍ය ව්‍යුහයට පටහැනිව පිහිටුවා ගත් ජාතික විධායක සභාවක් මඟින් කැබිනට් මණ්ඩලයට නිර්දේශ කර පිහිටුවා ගත් ඉහත කමිටුව මඟින් එපරිදිම පිහිටුවා ගත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය නමැති නිල නොවන පොලිස් කොට්ඨාසයට පැමිණිලි යොමු කරවාගෙන දේශපාලන විරුද්ධවාදීන් රඳවා තබාගැනීමෙන් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය විසින් ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා නීතියට අනුකූලව අවංකව කටයුතු කරන බවට ද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවට ද’ යනුවෙන් ලබාදී ඇති දිවුරුම කඩ කර ඇති බව කොමිසම මේ සම්බන්ධයෙන් නිකුත් කළ පළමු කරුණ ලෙස සඳහන් ය.
කොමිෂන් සභාව ඉදිරියේ විමර්ශනය කළ පැමිණිලිවලින් ඉදිරිපත් වූ සාක්ෂි අනුව රජයේ සේවකයන් වන වගඋත්තරකරුවන් විසින් දූෂණ විරෝධී කමිටුවේ සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයේ යෙදවීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බව එහි දෙවන කරුණ ලෙස දක්වා ඇත.
පත්වන ආණ්ඩුව පවරන කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීහු බැඳී සිටිති. එසේ පත්වූ ආණ්ඩුවක් ලබා දුන් නියෝග අනුව කටයුතු කිරීම වරදක් ලෙස කොමිසම තීරණය කර ඇත. මෙය කැබිනට් මණ්ඩලය ඇතුළු රජය දුන් නියෝග ක්‍රියාත්මක කිරීම වරදක් ලෙස කොමිසම තීන්දු කිරීමකි. මෙහි චෝදනාලත් රාජ්‍ය නිලධාරීන් වන්නේ පොලිසිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් කොමිසම සහ නීතිපති දෙපාර්තමේන්තුව ය. කොමිසමේ මේ තීරණය නිසා අපරාධකරුවන්, වංචාකාරයන් පිළිබඳ විමර්ශනය කිරීමට නිලධාරීන් බියවීමේ සාධාරණ අවදානමක් ඇත. ඒ නීතිය නිවැරදිව ක්‍රියාත්මක කිරීමෙන් ඊළඟ ආණ්ඩුවකදී තමන්ට දඬුවම් විඳීමට සිදුවන්නේය යන වැරදි පූර්වාදර්ශය කොමිසමෙන් දී ඇති නිසා ය.
කොමිෂන් සභාව විසින් මීට අදාළව නිර්දේශ දෙකක් ඉදිරිපත් කොට තිබේ. පළමුවැන්න ‘ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩ කිරීම සහ එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමේ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර, දඬුවම් පැමිණවීම සඳහා බලයලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම විමර්ශනය කර ඊට නියමිත දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට බලය පැවරෙන ‘විශේෂ ජනාධිපති පරික්ෂණ කොමිෂන් සභාවක් පත් කිරීමට කොමිෂන් සභාව නිදේශ කරයි’ යන්න ය. වගඋත්තරකරුවන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි සහ ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යැවීම දෙවැනි නිර්දේශය වේ.
ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව කොමිෂන් සභාව ගෙන ඇති තීරණ හා නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, පාර්ලිමේන්තුව විසින් විශේෂ ජනාධිපති කොමිසමක් පත්කර එමඟින් හෝ පාර්ලිමේන්තුව විසින් නියම කරන වෙනත් සුදුසු යන්ත්‍රණයක් ඔස්සේ හෝ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට එරෙහිව දඬුවම් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

තමන්ට එරෙහි නඩු තමන් ඇසීම

මේ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදුන් ඇමති මණ්ඩලය තුළ ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති උදය ගම්මන්පිල ද සිටී. ඔහු ද මේ දේශපාලන පළිගැනීම් විමර්ශනය කළ ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ අයෙකි. ඔහුගේ නඩුව ද ඉවත් කර ගත යුතු බවට කොමිසම නීතිපතිවරයාට නියම කර ඇති අතර, උදය ගම්මන්පිලට සහන සලසා ඔහුට එරෙහිව අධිකරණය හමුවේ නඩු පැවරූ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ද දැනුම් දී තිබේ.
උදය ගම්මන්පිල ඇමැතිවරයාට එරෙහිව නඩු පවරා ඇත්තේ ඇමැතිවරයාගේ ව්‍යාපාර සහකරුවකු වූ බ්‍රයන් ෂෙඩික් නමැති ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි. මෙය දේශපාලන පළිගැනීමක් ලෙස කොමිසම පිළිගෙන ඇත්තේ කෙසේද යන්න ගැටළුසහගත ය. ජනාධිපතිවරයා විසින් කොමිසම පත්කර ඇත්තේ රාජ්‍ය නිලධාරීන්ට වූ දේශපාලන පළිගැනීම් විමර්ශනය කිරීමට ය. අරමුණ සමග මේ පැමිණිල්ල අදාළ කරගත්තේ කෙසේද යන්න ද ගැටළුවකි.

බැසිල් – යෝෂිත

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක, බැසිල් රෝහණ රාජපක්ෂ, බන්දුල තිලකසිරි හා කිත්සිරි රණවක යන අයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල මෙන්ම කොළඹ මහාධිකරණයේ 8222/16 දරන අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන නඩුව නිෂ්ප්‍රභා කොට මෙම පිරිස සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
යෝෂිත කණිෂ්ක රාජපක්ෂට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති චෝදනා ද, කොළඹ මහාධිකරණයේ අංක 8331/16 දරන අධිචෝදනා පත්‍රයද ඉල්ලා අස්කර ගැනීමෙන් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවට ප්‍රකාශ කිරීම කොමිසම ලබාදී ඇති තවත් නිර්දේශයකි.
රාජ්‍ය ඇමති නාලක ගොඩහේවාට එරෙහිව කොළඹ අලුත්කඩේ අංක 3 මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති චෝදනා ද, කොළඹ මහාධිකරණයේ අංක 8133/15 නඩුවේ අධිචෝදනා පත්‍රය ද ඉල්ලා අස්කරගෙන ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවට ද කොමිසම නිර්දේශ කර තිබේ.

විනිසුරුවරුන් 8න් 7ක් වැරදි ද?

අරුමාදුර ලෝරන්ස් රොමෙලෝ දුමින්ද සිල්වාට එරෙහිව මහාධිකරණයේ ගොනු කර ඇති 7781/15 දරන නඩුවේ අධිචෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවටද, එම අධිචෝදනා පත්‍රයේ සඳහන් වැරැදිවලට විත්තිකරු වරදකරු කිරීම පිළිබඳ නඩු තීන්දුව පුළුල් විනිශ්චය මණ්ඩලයක් මඟින් අධිකරණ සමාලෝචනයක් සඳහා නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉල්ලීමක් කළ යුතු බවට ද කොමිසම සිය නිර්දේශ මගින් දක්වා ඇත. මහාධිකරණයෙන් දෙකයි, එක ලෙස බෙදුණු තීන්දුවකින් වැරදිකරු වී අභියාචනාධිකරණය හා ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව මහාධිකරණ තීන්දුව අනුමත කර තිබියදී, ජනාධිපතිවරයා පත්කළ කොමිසමක් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට නිර්දේශ කර තිබීම බරපතළ ගැටළුවකි.

නිර්දේශ ඉටුකිරීම අරඹයි

ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහිව මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති චෝදනා සහ මඩකලපුව මහාධිකරණයේ 3050/17 දරන අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන ඔහු නිදොස් කොට නිදහස් කිරීමට ද කොමිසම නිර්දේශ කර ඇත. පිල්ලෙයාන්ට එරෙහිව ඉදිරිපත් වූයේ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝෂප් පරරාජසිංහම් ඝාතනය පිළිබඳ චෝදනාව ය. කොමිසමේ එම නිර්දේශය නීතිපතිවරයා විසින් මේ වනවිටත් ඉටුකොට තිබේ. පිල්ලෙයාන් අදාළ ඝාතන නඩුවෙන් නිදහස් කෙරිණි.
ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු තානාපති ජාලිය චිත්‍රාන් වික්‍රමසූරියට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති චෝදනා ඉල්ලා අස්කර ගත යුතු බවටත්, ඔහුට එරෙහිව ක්‍රියාත්මක වන විදේශ ගමන් තහනම ඉවත් කිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වහාම ක්‍රියාත්මක විය යුතු බවටත් කොමිසම තවත් නිර්දේශයක් ලබා දී ඇත. ජාලිය වික්‍රමසූරිය මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්ව දැඩි කොන්දේසි මත ඇප හිමි වූ පසුව, රහසිගතව විදේශගත වූ අයෙකි. ඔහුට නැවත ලංකාවට පැමිණීමට නම්, අධිකරණය නියම කර ඇති තහනම ඉවත් කරගත යුතුය. කොමිසම කර ඇත්තේ එය ඉටු කිරීම ය.

සේනාධිපති – උදයංග

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යමින්, නීති විරෝධී ගිනි අවි තබාගැනීම මෙන්ම රජයට මූල්‍ය පාඩුවක් කිරීමේ චෝදනාව එල්ල වූ ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති යාපා හෙට්ටිපතිරන්නැහැලාගේ නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කර ඇති චෝදනා සහ කොළඹ මහාධිකරණයේ ගොනු කර ඇති 25/2017 අධිචෝදනා පත්‍රය ඉල්ලා අස්කරගෙන ඔහු නිදොස් කොට නිදහස් කළ යුතු බවටද කොමිසම තීරණය කර තිබේ. එසේම ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරමින් ඔහුට සහාය දැක්වූ බවට චෝදනා එල්ල වූ එහි හිටපු අතිරේක ලේකම් සුජාතා දමයන්ති ජයරත්න  නිදහස් කිරීමට ද කොමිසම නිර්දේශ කර ඇත.
හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගමට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුව ද විකෘති කොට ඉදිරිපත් කර ඇති බැවින්, අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස්ට විරුද්ධව කටයුතු කළ යුතු බවට ද කොමිසම නිර්දේශ කර තිබේ.
මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව චෝදනා ගොනු කර ඇත්තේ දේශපාලන පළිගැනීමේ ක්‍රියාදාමයක ප්‍රතිඵලයක් ලෙස යනුවෙන් ද කොමිසම තීරණයක් ගෙන ඇත. ඊට අදාළව විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරියක වූ චිත්‍රාංගනී වාගීෂ්වරගෙන් කරුණු විමසීමට ද, රේගුවේ ඇති ඔහුගේ භාණ්ඩ අඩංගු කන්ටේනරය වහාම මුදාහැරීමට ද කොමිසම නිර්දේශ කර ඇත. තවද මිග් යානා ගනුදෙනුවට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තට නීතිපතිවරයා මැදිහත් නොවිය යුතු යැයිද, උදයංගගේ බැංකු ගිණුම් අත්හිටුවමින් නිකුත් කර ඇති නියෝගය ඉවත් කළ යුතු බවටද කොමිසම නිර්දේශ කර ඇත.
ආණ්ඩුකාර විලී ගමගේ හෙවත් විලියම් විජේසිංහ ගමගේට එරෙහිව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කළ යුතු බවටත්, ඔහුට එරෙහිව අසත්‍ය වාර්තා ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමටත් කොමිසම නිර්දේශ කර ඇත.

මල්වානේ නිවස – නාවික නඩුව අතුරුදන්

නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන ව්‍යාපාරික තිරුකුමාර් නඩේෂන්ට හා බැසිල් රාජපක්ෂ යන දෙදෙනාට එරෙහිව මල්වානේ නිවස සම්බන්ධයෙන් අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළ උපුල් කුමාර රාමවික්‍රම යන අයට එරෙහිව නඩු පැවරීමටත්, ගුණවර්ධන සහ රණසිංහ යන පොලිස් නිලධාරීන්ට එරෙහිව නඩු පවරන ලෙසත් නිර්දේශ කර ඇති කොමිසම, තිරුකුමාර් නඩේෂන්ට හා බැසිල් රාජපක්ෂට එරෙහිව ගම්පහ මහාධිකරණයේ ඇති නඩුව ඉල්ලා අස්කරගෙන ඔවුන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට ද නිර්දේශ කර තිබේ. කොළඹ ආශ්‍රිතව පදිංචිව සිටි තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති නාවික හමුදා නිලධාරීන් නිදහස් කිරීම ඇතුළු තවත් එවැනි නඩු රැසක චූදිතයන් නිදොස් කොට නිදහස් කළ යුතු බවට කොමිසම මගින් නිර්දේශ ලබාදී ඇත.

කොමිසමේ බලය

ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් පෙන්වා දෙන්නේ ජනාධිපති කොමිෂන් සභා පත්කිරීමේ අරමුණ අධිකරණවල මෙන් තීන්දු දීම නොවන බවයි. එසේ වුවද යම් නිශ්චිත කරුණක් හෝ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කොට, ජනාධිපතිවරයාට වාර්තාවක් ලබාදීමටත්, ඒ වාර්තාවට තමන්ගේ නිර්දේශ ඇතුළත් කිරීමටත් කොමිසමට බලය ඇති බව ද ඔවුහු පෙන්වා දෙති. මේ පිළිබඳව අප කළ විමසීමකදී ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ පැවසීය.
‘යම් වරදක් තියෙනවා, ඒකට මේ මේ පුද්ගලයන් වරදකරුවන් හෝ නිවැරදිකරුවන් බව පෙනීයනවා කියලා පෙනුණොත්, ඒ පිළිබඳව ජනාධිපතිට නිර්දේශ කරන්න කොමිසමට පුළුවන්. ඊට පස්සෙ ජනාධිපතිතුමා ඒක බලලා, ඉදිරි පියවර ගැනීම අවශ්‍යයි කියලා තීරණය කළොත් නීතිපතිතුමාට ඒ නිර්දේශ යොමු කරනවා. ඊට පස්සෙ නීතිපතිතුමාගෙ උපදෙස් මත අපරාධ අංශ මගින් ඉදිරි විමර්ශන කටයුතු කරන්න හැකියාව තියෙනවා.’

පනත් දෙකක්

ජනාධිපති කොමිෂන් සභා පිහිටුවීම සඳහා පනත් දෙකකින් ජනාධිපතිවරයාට බලය පවරා තිබේ. 1978 විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනත එකකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය සම්බන්ධ කරුණ විමර්ශනය කරන ලද්දේ එවැන්නකි. අනෙක 1948 ජනාධිපති විමර්ශන කොමිෂන් සභා පනත ය. මේ කොමිසම පිහිටුවීමේ ගැසට්පත්‍රයේ සඳහන් වන්නේ එය විමර්ශන කොමිෂන් සභාවක් බවයි. ඒ අනුව ඔවුන්ට රාජ්‍ය සේවයේ සිදු වූ බවට පැමිණිලි ලැබී ඇති කරුණු සම්බන්ධයෙන් සාක්ෂි, ලේඛන, පුද්ගලයන් කැඳවා විමර්ශන පැවැත්වීමට බලය ඇත.

සාධාරණ සැකයක් ඇති කළාද?

මේ කොමිසම පිහිටුවීමේ අරමුණ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් මෙසේ අදහස් දැක්වීය.
‘අපේ රටේ අලුත් ආණ්ඩුවක් බලයට පත්වුණාට පස්සෙ සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි, ඒ ආණ්ඩුවට සහාය දුන් අයට උසස්වීම් ලැබුණෙ නෑ, පළිගැනීම් කළා කියන එක. දේශපාලන හේතු නිසා අපිව ඈත පළාත්වලට මාරු කළා කියන එක. පහුගිය කාලෙම සිද්ධ වුණේ මේ වගේ කාරණා සම්බන්ධයෙන් ඒ පත්වුණු ආණ්ඩුව කමිටුවක් පත්කරලා, ඒ කමිටුවෙන් ගන්න තීරණ කැබිනට් මණ්ඩලයට දාලා අනුමත කරන එක.
ඒත් මේ ආකාරයට දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් පත්කරපු පළමු අවස්ථාව මේක. මීට කලින් කිසිම ආණ්ඩුවක් ඒ වගේ දෙයක් කරලා නෑ. මේ කොමිසමට ලැබුණු සහ කරුණු විමසූ, නිර්දේශ ඉදිරිපත් කළ පැමිණිලි දිහා බලද්දි පැහැදිලි වෙන එක තමයි, උසස්වීම් වගේ රාජකාරි දේවල්වලට වඩා අපරාධ නඩු සම්බන්ධයෙන්, අපරාධ චෝදනා සම්බන්ධයෙන් මෙතැනදි වැඩි අවධානයක් යොමුවෙලා කියන එක. මෙතැන බරපතළ නීති ප්‍රශ්නයක් තියෙනවා. ඔ්නෑම අපරාධ නඩුවකදි චූදිත පාර්ශ්වය වෙනුවෙන් පෙනීඉන්න නීතිඥ මහත්තයා කියනවා, චූදිතයා නෙමෙයි මේකට වරදකාරයා, චූදිතයා මේකට පටළවලා තියෙන්නෙ කියලා. ඒක සාමාන්‍යයෙන් උසාවිවල වෙනවා. අපරාධ නඩුවලදි සාධාරණ සැකයක් ඇති කළොත්, චූදිතයට නිදහස් වීමේ වැඩි ඉඩක් ලැබෙනවා.’
නීතිපතිවරයා විසින් ද මේ කොමිසමට දැනුම් දී තිබුණේ අධිකරණය ඉදිරියේ විභාග වන අපරාධ නඩු සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කිරීම අනුමත කළ නොහැකි බවයි. නීතිපතිවරයා ඒ බව දැනුම් දී තිබුණේ තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරීම සම්බන්ධයෙන් නාවික හමුදා සාමාජිකයන් පිරිසකට එරෙහිව පවතින නඩුව, කොමිසමේ විමර්ශන අවසන් වන තෙක් අත්හිටුවන ලෙස කරන ලද නියෝගයකට ප්‍රතිචාර දක්වමිනි. ඒ නඩුවේ චූදිතයන් නිදහස් කරන ලෙස දැන් කොමිසම නිර්දේශ කර තිබේ.

සංවාදයක් නැත්තේ ඇයි ?

මේ කොමිසමේ නිර්දේශ මෙතැනින් ඉදිරියට ගියත්-නොගියත් දැන් ඔවුන්ට අවශ්‍ය දේ කරගෙන තිබේ. එනම් ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යූසුෆ් පවසන ආකාරයට අධිකරණය ඉදිරියේ විත්තිකරුවන් පිළිබඳ සාධාරණ සැකයක් ඇතිකිරීම ය. අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ සැකයක් මතුකිරීම ය. රජයේ සහ ආණ්ඩුවට සමීප පෞද්ගලික ජනමාධ්‍ය මගින් ඊට අදාළ පසුබිම සැලසුම් සහගතව සකස් කෙරිණි. දැනටමත් ඔවුන්ගේ අරමුණේ සැලකිය යුතු ප්‍රතිශතයක් ඉටු වී අවසන් ය. එහෙත් තවමත් ඊට අදාළව නීති ක්ෂේත්‍රය තුළ හෝ සමස්ත සමාජයේ ප්‍රමාණවත් සංවාදයක් ඇති වී නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here