කොරෝනා අවදානම තවමත් : පීසීආර් පරීක්ෂණයට හසු නොවන රෝගීන් සිටිය හැකියි - වෛද්‍ය සුදත් සමරවීර

Staff Writer | Author . Translate to English or தமிழ் 9/16/2020 5:29:00 PM
කොරෝනා අවදානම තවමත් : පීසීආර් පරීක්ෂණයට හසු නොවන රෝගීන් සිටිය හැකියි - වෛද්‍ය සුදත් සමරවීර

කොරෝනා අවදානම තවම පහව ගොස් නැතැයි ද පී.සී.ආර්. පරීක්‍ෂණයට හසු නොවන රෝගීන් සිටිය හැකි බව ද 
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

එවන් රෝගියෙකු සමාජගත වුවහොත් ඉන්පසු රෝගය සමාජය තුළ පැතිර යා හැකි බව ද ඒ මහතා කීවේය.

කෝවිඩ් අවදානම මෙතෙක් පහව ගොස් නොමැති බැවින් ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය බවත් මුඛ ආවරණ පැළඳීමේදී මුඛය හා නාසය වැසෙන ආකාරයට පැළඳිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ලංකාව තුළ කෝවිඩ්-19 තත්ත්වය පාලනය කර තිබුණද, ලෝකය රටවල් රැසක කෝවිඩ්-19 පැතිර යන නිසා සියලුම ජනතාව කෝවිඩ්-19ට අදාළ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බව ද හෙතෙම අවධාරණය කළේය.

කොළඹ පොත් ප්‍රදර්ශනය

ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට අතිවිශාල ජනතාවක් පැමිණෙන නිසා සියලුම ජනතාව සෞඛ්‍ය උපදෙස් පිළිපැදිය යුතු බවත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට නොහැකි පිරිස් අදාළ ප්‍රදර්ශනයට නොයන ලෙසට ඉල්ලා සිටින බවත් අධ්‍යක්‍ෂවරයා පැවසීය.

සංචාරකයින්ගේ පැමිණීම

කෝවිඩ්-19 තත්ත්වය තුළ සංචාරකයන් ගෙන්වා ගැනීමේදී අනුගමනය කළ යුතු කරුණු පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් දැනට සමාජය තුළින් කෝවිඩ්-19 රෝගීන් හමු නොවුණත් විදේශ රටවල සිට පැමිණෙන පිරිසෙන් රෝගීන් වාර්තා වන බවත් හෙතෙම සඳහන් කළේය.

විදේශගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට අමතරව මෙරටට පැමිණි විදේශකයන් කිහිපදෙනෙකුත් රෝගීන් හඳුනාගෙන ඇතැයි ද මෙම පිරිස්වලින් රෝගය සමාජයට පැතිරීම ඉතාමත් අඩු යැයි ද සුදත් සමරවීර මහතා පැවසීය.

මීටරයේ දුර

කෝවිඩ් පැතිරීම වැළැක්වීම සඳහා මීටරයේ දුර තබාගැනීම මුඛ ආවරණ පැළඳීම දෑත් සේදීම සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කළ බවත්, එහෙත් මේ වනවිට එම තත්ත්වයන් ගිලිහී යමින් තිබෙන බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

එසේම බස් රථවල ආසන ප්‍රමාණයට මගීන් රැගෙන යාම මුලින් ක්‍රියාත්මක කළත්, මේ වනවිට එම තත්ත්වය වෙනස් වී මගීන් තෙරපී ගමන් කරමින් තිබෙන බවද සුදත් සමරවීර මහතා සඳහන් කළේය.

කෝවිඩ්-19 වෛරසයක් බවත්, මේ නිසා මෙම සෞඛ්‍ය පුරුදු ජනතාව අනිවාර්යයෙන්ම තවදුරටත් පිළිපැදිය යුතු බවත් මුඛ ආවරණ පැළඳීමේදී මුඛය හා නාසය වැසෙන ආකාරයට බොහෝ අය නොපළඳින බවත් එහෙත් එය පැළඳිය යුත්තේ මුඛය හා නාසය වැසෙන ආකාරයට බවත් ඒ මහතා පවසා සිටියේය.

පී.සී.ආර්. පරීක්‍ෂණයකදී හඳුනා ගැනීමට නොහැකි වූ රෝගියෙකු සමාජගත වුවහොත් ඉන්පසු රෝගය සමාජය තුළ පැතිර යා හැකි බව ද, මේ නිසා සෞඛ්‍ය පුරුදු අනිවාර්යයෙන් අනුගමනය කළ යුතු බව ද පවසා සිටි අධ්‍යක්‍ෂවරයා නව සාමාන්‍ය ජීවිතයක් ආරම්භ කළද පැරණි ජීවිතය තවමත් ආරම්භ කළ නොහැකි බව ද පැවසීය.

මේ නිසා සමාජයට යාම හැකි තරම් අඩු කර ගත යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

අධ්‍යාපන අමාත්‍යාංශයෙනුත් නිවෙිදනයක්

කොවිඩ් දෙවන රැල්ලක අවදානම මුළුමනින් පහව ගොස් නැති බවත්, යම් හෙයකින් එවන් තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන්නේ පාසල් දරුවන් බවත් මේ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට සෑම මොහොතකම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්.අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම් සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි 

කොවිඩ් හේතුවෙන් වසා තිබූ පාසල්,  සියලු ශ්‍රේණිවල දරුවන් සඳහා මේ වනවිට විවෘත කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදී ඇති නිර්දේශ හා උපදෙස් අකුරටම පිළිපදිමින් පාසල් පවත්වාගත යුතු බවට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සියලු පාසල් ප්‍රධානීන් ද දැනුවත් කර තිබේ.

එහෙත් පාසල් පරිශ්‍රය තුළ  විශබීජහරණය, දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම, පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා කිරීම ඇතුළු කොවිඩ් පාලන උපදෙස් කෙරෙහි දෙමව්පියන්, ගුරුවරුන්, සිසුදරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාව මේ වනවිට අඩු අවධානයක් යොමු කරන බවට ඇතැම් පාසල් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇත.

මේ නිසා, විශේෂයෙන් ම පාසල් ප්‍රවාහන සේවා සැපයීම, පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම ඇතුළු පාසල් දරුවන් සෘජුව සමාජයට මුදාහැරෙන සෑම අවකාශයක් තුළ ම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමේ සමාජ වගකීම පාසල් බලධාරීන් ප්‍රමුඛ පාසල් ප්‍රජාවට පැවරෙන අතර, දරුවන්ගේ අසනීප තත්ත්වයන්හිදී දැඩි අවධානය යොමුකරමින් ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂාව කෙරෙහි උපරිම ලෙස සැලකිලිමත් විය යුතු බව  අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

කොවිඩ් දෙවන රැල්ලක අවදානම මුලුමනින් ම රටෙන් පහව ගොස් නැති බවත්, යම් හෙයකින් එවන් තත්ත්වයක් මතුවුවහොත් වැඩිම බලපෑමට ලක්වන පාර්ශවය රටේ පාසල් දරුවන් බවත්, මේ නිසා නොතකා හැරීම් සහ නොසැලකිලිමත්වීම වෙනුවට සෑම මොහොතක ම පූර්ණ සෞඛ්‍යාරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේ ස්වයං විනය පවත්වාගැනීමට සියලු දෙනාම වගබලාගතයුතු බව ද මේ සම්බන්ධයෙන් අද (16) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ මැදිහත්වීමෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රට තුළ කොවිඩ් පාලනය වී ඇති බව හා ලෝකයේ සෙසු රටවල් අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව යහපත් තත්ත්වයක පසුවන නමුත් ලෝකයේ සෞඛ්‍යාරක්ෂිත රටවල් අතර තවමත් අප සිටින්නේ යහපත් මට්ටමක නොවන බව ද මෙහි දී  වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පෙන්වාදුන්නේ ය.

මේ නිසා යම් හෙයකින් කොවිඩ් 19 දෙවන රැල්ලක් මතුවුවහොත් ඒ සදහා මුහුණදීමට රටක් වශයෙන් අප සූදානම්විය යුතු බවත්, දැඩි සත්කාර ඒකකයේ මේ වනවිටත් පවත්නා ඇඳන් සංඛ්‍යාව, රට තුළ දිනකට සිදුකළ හැකි කොවිඩ් පරීක්ෂණ ප්‍රමාණය,  වෛද්‍ය කාර්ය මණ්ඩලවල හා රෝහල්වල ධාරිතාව, පාලනය සඳහා පවතින ඖෂධ සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතු බවද, අවදානමට මුහුණදීමට වඩා පෙරසූදානමකින් යුතුව අවදානම තුරන් කරගැනීම වෙනුවෙන් පියවර ගත යුතු බවද ඒ මහතා පැවසීය.

මේ සම්බන්ධ ව පාසල් ප්‍රධානීන් ඇතුළු සමස්ත ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය සහ ඉ-තක්සලාව ඇතුළු මාධ්‍යයන් ද යොදාගනිමින් විශේෂ කඩිනම් පියවර ගන්නා බව මෙම හමුවට එක් වූ අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ නීල් ගුණදාස මහතා පැවසීය. ඉ- ඉගෙනුම් හා නැණස රූපවාහිනී වැඩසටහන් ඒකකයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්.ඒ එස්. ඩබ්. විජේසූරිය මහත්මිය, අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් බුද්ධික වික්‍රමාදර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

Share