ජපාන නව අගමැති - ලෝකයේ වැඩිම වැඩිහිටි ජනගහනයේ වගකීම 71 හැවිරිදි සුගා අතට

ජපාන නව අගමැති - ලෝකයේ වැඩිම වැඩිහිටි ජනගහනයේ වගකීම 71 හැවිරිදි සුගා අතට

(සාරා අත්තනායක)

දුර්වල සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් ඉල්ලා අස් වූ ෂින්සෝ අබේ වෙනුවට ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන බවට පොරොන්දු වෙමින් යොෂිහිඩ් සුගා අද (16) ජපානයේ නව අගමැතිවරයා ලෙස තේරී පත් විය.

පසුගිය සඳුදා පැවති පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකත්ව තරඟයෙන් ද ජයග්‍රහණය කළේය. 

ලෝකයේ තුන්වැනි විශාලතම ආර්ථිකය හිමි රට ජපානයයි. මේ වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා කාලයේදී එරට ආර්ථිකය සියයට 27.8 කින් වාර්තාගත ලෙස හැකිළී ඇතැයි ජපාන මාධය වාර්තා කර තිබිණි. 

කොවිඩ් 19 බලපෑම නිසා මෙසේ බරපතළ ලෙස කඩාවැටුණු එරට ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පත්වීමේ ඉඟි පළකර නැති බව ද මාධ්‍ය පෙන්වා දෙයි. ඒ අතර ලෝකයේ වැඩිම වැඩිහිටි ජනගහනය රැකබලාගැනීමේ අභියෝගයට ද ජපානය මුහුණ දී සිටී.

සුගා ජපාන අගමැති පුටුව දක්වා පැමිණියේ ඔහුගේ පූර්වගාමීන් මෙන්, වරප්‍රසාදලත් පසුබිමකින් නොවේ. ඔහු ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ බලවත් කණ්ඩායම් අතර නොවීය. ස්ට්‍රෝබෙරි ගොවියෙකුගේ පුතෙකු වන සුගා, මේ වනවිට 71 වැනි වියේ පසු වේ.

මීට වසර තුනකට පෙර එරට මාධ්‍ය වාර්තා කළ දත්තවලට අනුව ජපානයේ සමස්ත ජනගහනයෙන් සියයට 33 ක් වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයන් ය. සමස්ත ජනගහනයෙන් සියයට 25.9 ක් අවුරුදු 65 ට වැඩි පුද්ගලයන් වන අතර, සියයට 12.5 ක් අවුරුදු 75 සහ ඊට වැඩි පුද්ගලයන් වේ.

Share