ආදායම අඩුවීමත් විදෙස් ණය වැඩිවීමත් නිසා ආර්ථික අර්බුදයක්

ආදායම අඩුවීමත් විදෙස් ණය වැඩිවීමත් නිසා ආර්ථික අර්බුදයක්

කෝවිඩි වසංගතයෙන් පසුව උදාසීන වී තිබෙන ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම්  අවම වශයෙන් රුපියල් බිලියන 5000ක පමණ මුදල් ප්‍රමාණයක් ලංකාවේ ආර්ථිකයට පොම්පකළ යුතු බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසයි. 

රට මුහුණ දෙන ආර්ථික අභියෝග සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ආදායම් තත්ත්වය අඩුවීමත් විදේශ ණය විශාල ප්‍රමාණයක් ගෙවීමට තිබීමත් හේතුවෙන් මෙලෙස ආර්ථික අර්බුදයක් නිර්මාණය වී ඇති බව හෙතෙම පෙන්වා දුන්නේය.

ඒ මහතා මෙසේද පැවසීය

"රටේ ආර්ථිකය ගොඩගන්න ආර්ථිකයට යම් ආකාරයක මුදල් යෙදවීමක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ ආර්ථිකය තුළට මුදල් පොම්ප කිරීමක් සිදු කිරීමයි. ඒ තුළදී ආයෝජන විදිහට අපේ ආර්ථිකයට මුදල් යොමුකිරීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ආයෝජකයන් හරහා හෝ විදේශ ණය ගැනීම් යටතේ හෝ විදේශ ආධාර ලබා ගැනීම යටතේ හෝ ඊළඟ වර්ෂ කිහිපය තුළ ආර්ථිකයට මුදල් යෙදවීම අතිශය වැදගත් වෙනවා.

දැනට තිබෙන උදාසීන ආර්ථික තත්ත්වයෙන් රට ගොඩගැනීමට නම්  අවම වශයෙන් රුපියල් බිලියන 5000ක් පමණ ප්‍රමාණයක් ලංකාවේ ආර්ථිකයට මුදල් යෙදවීමක්, එහෙමත් නැතිනම් පොම්ප කිරීමක් සිදුකළ යුතු වෙනවා. එහෙම කළොත් සංචාරක ක්ෂේත්‍රයේ අපනයන ක්ෂේත්‍රයේ මෙන්ම රැකියා වෙළෙඳපොළ තුළද යම් පිබිදීමක් ඇති වේවි.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අභියෝග කිහිපයක් තිබෙනවා. ඒ අතරින් මම දකින ප්‍රධාන ආර්ථික අභියෝග දෙකක් තිබෙනවා. ඒ තමයි ලංකාව ලබාගෙන තිබෙන විදේශ ණය ගෙවීම සම්බන්ධයෙන් මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය සහ රජයේ ආදායම අඩුවීම.

ඉහල ණය බරක් පැවැතීම හේතුවෙන් 2024 දක්වා කාලසීමා තුළ වාර්ෂිකව ඩොලර් බිලියන 03 ක පමණ මුදල් ප්‍රමාණයක් ලංකාව ගෙවිය යුතුව තිබෙනවා. කෝවිඩ් අර්බුදය නිසා රටට ගලා එන විදේශ විනිමය විශාල වශයෙන් සීමා වී තිබෙන බැවින් මෙම තත්ත්වය ත්‍රීව්‍ර වී තිබෙනවා. රජයේ බදු ආදායමද විශාල වශයෙන් කඩා වැටෙන තත්ත්වයක් තුළදී එම අර්බුදය තවත් ත්‍රීව්‍ර වෙනවා.

ඒ වගේම රටේ සංචාරක ව්‍යාපාරය බිඳවැටිලා, අපනයන ක්ෂේත්‍රය බිඳවැටිලා දැනට තිබෙන දත්ත අනුව 2019 වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය සැසඳීමේදී 2020 ජනවාරි සිට ජුනි දක්වා කාල සීමාව තුළ අපනයන අදායම ඩොලර් බිලියන 1.6 කින් පමණ අඩුවෙලා තිබෙනවා. ඒ වගේම විදේශ ආයෝජන අඩුවෙලා තිබෙනවා. මේ සියල්ල තුළ දේශීය ආර්ථිකයේ විදේශ අංශය ඉතා ප්‍රබල ලෙස අර්බුදයකට ගිහින් තිබෙනවා. ඒ වගේම රජයේ ආදායම ගැන සලකා බලන විට රජයේ වියදම් වැඩිවෙලා තිබෙනවා. ආදායම සැලකිය යුතු ලෙස පහළ ගිහින් තිබෙනවා. ඒ වගේම බදු ආදායම පහළ ගිහින් තිබෙනවා. අපේක්ෂිත ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමට නොහැකි වීම තුළ ඇතිවෙන අර්බුදයට රට මුහුණ දෙමින් ඉන්නවා. ඒ වගේම පසුගියදා රජය ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව හරහා බිලියන 1.3ක ණය ගැනීමට අදාළව පාර්ලිමේන්තු අනුමැතියක් ලබා ගත්තා. ඒ තුළත් අපි දැක්කේ ආදායම් වියදම් අතර තිබෙන පරතය.

මේ හරහා දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වයක් මතුවෙලා තිබෙනවා. මක්නිසාද ඉදිරියටත් බදු ඉහළ දැමීම හරහා ආදායම වැඩිකර ගැනීමට රජයට හැකියාවක් නැහැ. ඒ වගේම බදු ඉහළ දැමීම හෝ වියදම පාලනය කිරීම හරහා ආදායම් වියදම් පරතරය විසඳා ගැනීමට යම් පියවරක් ගැනීමට රජයට හැකියාවක් නැහැ. එහෙම කළොත් එය ආර්ථිකයට අහිතකර තත්ත්වයක් විදිහට බලපානවා. මේ සියල්ලගේම ප්‍රතිඵලයක් විදිහට 2020 වර්ෂයේ ලංකාවේ ආර්ථිකය සෘණ ආර්ථික වර්ධනයක් අත්කර ගනිවි කියලා දැනට පුරෝකතනය කරලා තිබෙනවා.

ඒ වගේම අපි අමතක කළ යුතු නැහැ 2019 දී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 2.3 පමණ ප්‍රමාණයක්. එහි ප්‍රතිඵලයක් ලෙසත් කෝවිඩ් වාතාවරණය තුළ ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ ආදායම් උත්පාදන අංශ, රැකී රක්ෂා ලබාදීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ක්ෂේත්‍ර ආදිය යම් ආකාරයට දුර්වල වීමට තිබෙන ඉඩ වැඩිවෙයි කියලා අපිට අපේක්ෂා කරන්න පුළුවන්."


Cover Photo : Vector Stock

Share