කන්තලේ සීනි කම්හල් ඉඩමේ අනවසර ඉදිකිරීම් සහ අනවසර වගා කිරීම්

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 9/14/2020 5:37:00 PM
කන්තලේ සීනි කම්හල් ඉඩමේ අනවසර ඉදිකිරීම් සහ අනවසර වගා කිරීම්

කන්තලේ සීනි කම්හලට අයත් ඉඩමේ යම් කිසි පිරිසක් අනවසරයෙන් වගා කරන බවට ආරංචිමාර්ග පවසයි.

අදාළ පිරිස එම කම්හල් භුමියේ අනවසර ඉදිකිරීම්ද සිදුකරමින් සිටින බව ද මේ සම්බන්ධයෙන් කම්හලේ නිලධාරියකු පොලිසියට පැමිණිලි කර ඇතැයි ද  එම ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇතැයි ද එම කම්හලේ නිලධාරියකු විසින් මෙම පැමිණිල්ල සිදු කර ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය තහවුරු කළේය.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවත් ලබන 16 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන බවත් පොලිසිය පැවසීය.

මෙතෙක් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැතැයි ද පොලිස් මාධ්‍ය ⁣කොට්ඨාසය කීවේය.

අදාළ අනවසර පදිංචිකරුවන් එම ඉඩමේ පැල්පතක් මෙන් ගොඩනැගිල්ලක්ද අනවසරයෙන් ඉදිකර ඇතැයිද පොලිසිය සඳහන් කළේය.

හිටපු අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ රජය සමයේදී චෙකොස්ලෝවැකියානු රජයේ ප්‍රදානයක් ලෙස මෙම කම්හල 1960 ඔක්තෝබර් 02 වැනිදා ආරම්භ කෙරිණි.

රජයට අයත්ව තිබූ මෙම කම්හල 1993දී පෞද්ගලික සමාගමකට දුන් අතර පසුව යළි රජයට පවරා ගත්තද එය භාවිතයට නොගෙන අතහැර දැමිණි.

මෙහි අක්කර 21000⁣ට අධික උක් වගා භූමියක් සතු වූ අතර ගොඩනැගිලි විශාල සංඛ්‍යාවක් ද තිබිණි.

මෙම කම්හල පසුගිය පාලන සමයේ ඉඩම් අමාත්‍යාංශය වෙත ද පවරා තිබුණු අතර යහපාලන ආණ්ඩුවත් වර්තමාන ආණ්ඩුවත් කම්හල නැවත ආරම්භ කරන බව වරින් වර ප්‍රකාශ ක⁣ළේය.

‍මෙම සීනි කර්මාන්ත ශාලාවේ කටයුතු නැවත කඩිනමින් ආරම්භ කිරීමට පියවර ගන්නා බව කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසන්ත පුංචි නිලමේ මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

එසේ තිබියදී යම්කිසි පිරිසක් විසින් මෙලෙස අනවසරයෙන් වගා කිරීමට සහ පදිංචි වීමට උත්සහ ගනිමින් සිටින බවට එහි ආරංචිමාර්ග පවසයි.


Cover Photo : News.lk ( රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව)

Share