එල්ලුම් ගහට නියම වූ කුට්ටිමනී 1982දී පාර්ලිමේන්තුවෙන් දොට්ට 

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 9/14/2020 9:11:00 AM
එල්ලුම් ගහට නියම වූ කුට්ටිමනී 1982දී පාර්ලිමේන්තුවෙන් දොට්ට 

මරණ දඬුවම නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වීමට අවසර ලැබුණ ද 1982දී එවකට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට නම් කරන ලද සෙල්වරාජා යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටමනීට පාර්ලිමේන්තු පැමිණීමට එදා කථානායක බාකීර් මාකර් මහතා ඉඩ දුන්නේ නැත.

කුට්ටිමනී කවුද යන්න සම්බන්ධයෙන් මීට පෙර අප පළ කළ ලිපිය මෙතැනින්...

මරණ දඬුවම හිමිවූ ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමත් සමග කතාබහට ලක් වූ කුට්ටිමනී ගැන 1982 - 1983 වසරවලදී විදෙස් මාධ්‍යවල පවා වාර්තා කර තිබිණි.

මෙම ලිපිය එම මාධ්‍ය වාර්තා සම්බන්ධයෙනි.

1982 සහ 1983 දී පළ වූ ඉන් පුවත් කිහිපයක් පහතින් (පරිවර්තනය කරන ලද)

කුට්ටිමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස නම් කරයි [ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, නොවැම්බර් 1982 | 06 වැනි පිටුව ]

පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. තිරුනාවුකරසු මහතාගේ වියෝවෙන් පසු වඩ්ඩුකෝඩ්ඩායි ඡන්ද කොට්ඨාසයේ ඇති වූ පුරප්පාඩුවට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනි) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස නම් කරනු ලැබ තිබේ. 

මීට පෙර එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස කුට්ටිමනී නම් කිරීම සඳහා එල්ල වූ පීඩනයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ සාර්ථකව මුහුණ දුන්නේය.

කුට්ටිමානි සහ ජෙගන්ට නියම වූ මරණ දඬුවම සම්බන්ධයෙන් මේ වන විට අභියාචනයක් විභාග වෙමින් පවතී.  

කුට්ටිමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කිරීමට හේතු පැහැදිලි කරමින් නිකුත් කළ නිවේදනයක එම පක්ෂය ප්‍රකාශ කර ඇති හේතු වන්නේ, 

(1) මෙම තීරණය වරින් වර පොලීසියේ සහ හමුදා නිලධාරීන් සහ එම ආයතන හරහා විශේෂයෙන් රටේ ද්‍රවිඩ තරුණයන් මත සිදුකරන රාජ්‍ය ත්‍රස්තවාදයට එරෙහි සංකේත විරෝධයකි.

(2) එම තීරණය ජූරි සභාව මගින් නඩු විභාග කිරීම ප්‍රතික්ෂේප කරන විධිවිධාන, විවිධ වධහිංසා ක්‍රියා සිදුකිරිම මගින් විත්තිකරුවන්ගෙන් පොලිසිය ලබාගත් පාපොච්චාරණ පිළිගැනීම, පිළිගත් නීතියේ සියලු මූලධර්ම නොසලකා හැරීම ඇතුළු අසාමාන්‍ය ක්‍රියා පටිපාටියක් සහිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට එරෙහි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ විරෝධතාවයේ සංකේතයකි.

(3) එය කුට්ටිමනි සහ ජෙගන්ට මරණ දඬුවම නියම කිරීමට එරෙහි විරෝධයකි.

(4) පනාගොඩ, එලිෆන්ට් පාස් සහ  ගුරුනගර්හි හමුදා කඳවුරුවලදී දෙමළ තරුණයින්ට කුරිරු හා අමානුෂික ලෙස සැලකීම හා වධහිංසා පැමිණවීමට එරෙහි විරෝධයකි.

(5) දේශපාලනික වශයෙන් නැඹුරු දෙමළ තරුණයින් ත්‍රස්තවාදීන් ලෙස විදහා දැක්වීම සහ ඔවුන්ට එරෙහිව මර්දනකාරී පියවරයන් ක්‍රියාත්මක කිරීම මෙම ගැටළුව විසඳුමක් නොවන බව රජයට පැහැදිළි කිරීම සඳහා.

කුට්ටිමනි සහ ජෙගන්ට මරණ දඬුවම හිමි විමට හේතුවූ 1971 කැරැල්ලට සහභාගී වූ සිංහල තරුණයින්ට නීතිය  ක්‍රියාත්මක කළ ආකාරය හාත්පසින්ම වෙනස් ය. ඔවුන්ට නියම වූ දඬුවම් නීතියෙන් අවලංගු කරන ලද අතර ඔවුන් නිදහස් කරනු ලැබීය.


කුට්ටිමනි මන්ත්‍රීවරයකු නොවේ: ශ්‍රී ලංකාවේ කථානායක නියම කරයි [ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, 1982 දෙසැම්බර්, 14 වැනි පිටුව]

මිනීමැරුමක් හා මංකොල්ලකෑමක් සම්බන්ධයෙන් වරදකරු වීමට එරෙහිව ඉදිරිපත් කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක තීන්දුව බලාපොරොත්තුවෙන් සිටින සිරගෙදර සිටින යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටිමනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක බාකීර් මාකර් මහතා තීන්දු කර තිබේ.  .

කුට්ටිමනි දිවුරුම් දෙන තුරු මන්ත්‍රීවරයකු ලෙස පිළිගැනීමට ලක් නොවන බව කථානායකවරයා රාජ්‍ය අමාත්‍ය ආනන්දතිස්ස ද අල්විස් මහතාට දන්වා සිටියේය.  කුට්ටිමනි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) විසින් නම් කරන ලදී.


කුට්ටිමනි - මරණ දඬුවම ජීවිතයට මාරුවෙයි [ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, පෙබරවාරි 1983, 7 වැනි පිටුව ]

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදකරු වීමෙන් පසු මරණ දඬුවම නියමව සිටින සෙල්වරාජා යෝගචන්ද්‍රන් නොහොත් කුට්ටිමනිගේ දඬුවම පෙබරවාරි 4 වැනිදා ජනාධිපති ජයවර්ධන විසින් ප්‍රකාශයට පත් කරන ලද පොදු සමාව යටතේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස වෙනස් වී තිබේ.

වරදකරුවන් වූ සිරකරුවන් 62 දෙනාටම මෙම පොදු සමාවෙන් දඬුවම් වෙනස් වනු ඇත.

[ටැමිල් ටයිම්ස්, ලන්ඩන්, පෙබරවාරි 1983, 09 වැනි පිටුව]

වඩ්ඩුකෝඩ්ඩායි ආසනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.තිරුණවුකරසු මහතාගේ මරණයෙන් පසු එම අාසනයට දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් නම් කරනු ලැබූ සෙල්වරාජා යෝගචන්ද්‍රන් (කුට්ටිමනි) මහතා එම මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

යෝගචන්ද්‍රන් මහතා මෙම මන්ත්‍රී අසුනට නම් කරන ලද්දේ සහ ඔහුගේ පත්වීම ගැසට් කරන ලද්දේ ඔහු මරණ දඬුවමට නියමව සිටියදීය. කෙසේ වෙතත් ඔහුට දිවුරුම් දීමට හෝ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට අවසර හිමි නොවීය.

 

 

Share