ගංජා -  දේශීයත්වය මුලා කරමින් එන බහුජාතික නැගිටීම

ගංජා -  දේශීයත්වය මුලා කරමින් එන බහුජාතික නැගිටීම

ගංජා භාවිතය නීතිගත කිරීම සඳහා ලොව පුරා අතිමහත් උත්සාහයක් ඇති බව ඒ සම්බන්ධයෙන් වන විවිධ සාක්ෂි හෙළිදරව් කිරීම්වලින් පැහැදිලිවේ.

එම උත්සාහය සාර්ථක කර ගැනීම සඳහා විවිධ රටවල විවිධ උපාය මාර්ග සහ තේමාවන් භාවිතා වේ.

නිදසුනක් වශයෙන් කැනඩාවේ දී ගංජා ප්‍රචාරණය කිරීමට භාවිතාකර ඇත්තේ මිනිසුන්ට තමන්ගේ තේරීම් අනුව ක්‍රියාකිරීමට සැමවිටම අයිතියක් තිබේ යන ලිබරල් වාදී මතයයි.

ශ්‍රී ලංකාවේදී ගංජා ප්‍රචාරණය හා නීතිගත කිරීම සාධාරණීකරනය සදහා භාවිතා කරන උපක්‍රමය වී තිබෙන්නේ ගංජා දේශීය ශාකයක් බවත් ගංජා භාවිතය දේශීය සංස්කෘතික අංගයක් බවත් විදහා දක්වීම මගිනි.  තමන් ලිබරල්වාදීන් යැයි සිතා ගන්නා අතළොස්සක් දෙනා ද මෙය ලංකාවේ නීතිගත කිරීමට අවශ්‍ය යැයි පවසමින් සිටිති. ගංජා සම්බන්ධයෙන් වෛද්‍ය දිනෙත් බණ්ඩාර සිදුකළ පැහැදිලිකිරීම් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

ගංජා සෞඛ්‍යයට හානි කරයි

ගංජා භාවිතය සෞඛ්‍යයට හානි කරන බව හොඳින් තහවුරු වී ඇත. දැනට එක් එක් රටවල ගංජා භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව සාපේක්ෂච ඉතා අල්ප බැවින් මෙම හානිය මහා පරිමාණයෙන් දැකගත හැකි නොවේ.

භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාව සහ එහි ව්‍යාප්තිය වඩාත් පුළුල් වන විට ගංජා භාවිතයේ හානි මහා පරිමාණයෙන් සිදුවනු අපට පෙනෙනු ඇත. මානසික අවපීඩනය හා භින්නෝන්මාදය වැනි මානසික රෝගත්, වෙනත් මත්ද්‍රව්‍ය භාවිතයත්, තරුණ වයසේදී මොළයේ වර්ධනය අඩාල කිරීමත්, දරුණු පෙනහළු රෝගත් මෙයට ඇතුළත් වේ.

එමෙන්ම වර්තමානයේ දක්නට නොලැබෙන සමහර බලපෑම් පවා අපට අනාගතයේදී පෙනෙනු ඇත. නිදසුනක් වශයෙන්, අප අතීතයේ මත්පැන් නිසා ඇති වන බවට හදුනාගත් රෝග ලැයිස්තුවට පිළිකා රෝග ද මේ වනවිට ඇතුලත්ව තිබේ.

ශ්‍රී ලංකාවේ විශාල පිරිසක් ගංජා සහිත නිෂ්පාදන භාවිතා කිරීමට පටන් ගතහොත් මාර්ග අනතුරු නිසා සිදුවන තුවාල හා මරණ විශාල ලෙස වැඩි වනු ඇති බව දැනටම අනාවැකි පළකර තිබේ. දැනටමත් ගංජා භාවිතය වැඩි රටවල මෙම තත්ත්වය දක්නට ලැබේ. එසේම අඩු ආදායම්ලාභීන් ගංජා සඳහා විශාල වශයෙන් මුදල් වියදම් කිරීම නිසා දරිද්‍රතාවය තව තවත් වර්ධනය වීමට පුළුවන.

ලෝකයෙන්ම රටවල් 02 යි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවල් එකසිය අනූ ගණණකට වැඩි ප්‍රමාණයකින් දැනට ගංජා භාවිතය නීතිගත කර ඇත්තේ රටවල් දෙකක් පමණි. තවත් රටවල් කිහිපයක ප්‍රාන්ත හෝ ප්‍රදේශ කිහිපයක පමණක් මෙසේ ගංජා භාවිතය නීතිගත කර ඇත.

ගංජා නීතිගත කර ඇති ස්ථානවල පෙර පැවති කුඩා පරිමාණයේ නීති විරෝධී ගංජා වෙළඳාම ජාත්‍යන්තර සම්බන්ධතා ඇති විශාල ව්‍යාපාරයක් බවට පත්ව තිබේ.  විශාල ගංජා සමාගම් දැන් රටවල් කිහිපයක නීත්‍යානුකූලව ක්‍රියාත්මක වන ආකාරයක්ද දක්නට ලැබේ.

දැනටමත් ලෝකයේ විශාලතම ගංජා සමාගම් ඉතා විශාල දුම්කොළ හා මධ්‍යසාර කර්මාන්ත සතු වනු ඇති බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. ලෝකයේ විශාලතම දුම්කොළ සමාගම දැනටමත් උතුරු ඇමරිකාවේ විශාල ගංජා සමාගමක් සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇති බව දැන් හෙලිවී තිබේ. මධ්‍යසාර කර්මාන්තය ද ගංජා සමාගම් සඳහා ඩොලර් බිලියන ගණනක් ආයෝජනය කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබේ.

මත්පැන් කර්මාන්තය දැනටමත් ගංජා ඇතුළත් කළ බීර වර්ග අත්හදා බලමින් සිටින අතර රට බීම සමාගම් ද ගංජා ඇතුළත් නිෂ්පාදන අත්හදා බැලීම ආරම්භ කර ඇත. ගංජා සඳහා දුම්කොළ කර්මාන්තය දක්වන උනන්දුව කුමක්දැයි අමුතුවෙන් කිව යුතු නැති අතර දැනටමත් ඊ-සිගරට් හරහා ගංජා භාවිතය උතුරු ඇමරිකාවේ සිදුවෙමින් පවතී.

මෙම ව්‍යාපාර ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ලෝකයේ බොහෝ රටවල වගා කරන සාම්ප්‍රදායික හෝ දේශීය ගංජා භාවිතා නොකරන අතර ජානමය වශයෙන් වෙනස් කරන ලද ගංජා ප්‍රභේද හරහා එහි ක්‍රියාකාරී රසායනික සංඝටක වල ප්‍රතිශත වැඩි කර මෙම ගංජා නිෂ්පාදනය කරනු ලබයි. තම ගංජා නිෂ්පාදන භාවිතා කරන්නන් ඊට ඇබ්බැහි වන ප්‍රමාණය වැඩි කර භාවිතය දිගින් දිගටම පවත්වා ගෙන යාම ඔවුන්ගේ අරමුණ වී ඇත.

ලංකාවේ තත්ත්වය

අප රටතුළ දුම්කොළ හා මධ්‍යසාර සමාගම් සම්බන්ධයෙන් ඇති අත්දැකීම් අනුව ගංජා නීතිගත කිරීම සඳහා මත ගෙනයාමට අප වැනි රටවල් තුළ ඔවුන් භාවිතා කරනු ඇති බලය කෙසේ වේවිදැයි සිතාගත හැකියි.

බහුජාතික සමාගම් වල අරමුණ ජාන වෙනස් කළ ගංජා ශ්‍රී ලංකාවේ මෙන්ම වෙනත් රටවල වගා කිරීමයි. මෙහි  දේශීය” හෝ සාම්ප්‍රදායික කිසිවක් නැති අතර ඒ සඳහා දේශීය දේ හා දේශීය ක්‍රම අගයන සහ ඒවාට ගරු කරන්නන් රවටා ඔවුන් නොදැනම තම අතකොළු ලෙස නිර්ලජ්ජිතව භාවිතා කිරීම ශ්‍රී ලංකාවේ පවා සිදුවෙමින් පවතී. මෙහිදී දේශීය ලෙස පෙනී සිටින සමහරෙක් දැන දැනම මෙම විදේශීය න්‍යාය පත්‍රයේ කොටස්කරුවෝ වී ඇති බවද පෙනෙන්නට ඇත.

ගංජා වගාකර ගංජා ආශ්‍රිත නිෂ්පාදන පිටරට යැවීම අප්‍රමාණ ලෙස ලාභදායක බව පවසමින් රජය ඒ සඳහා දිරි ගැන්වීමද මේ වනවිට සිදුවෙමින් පවතී.  ගංජා වගාව සඳහා දැනට ඇති නීතිමය තහනම යම් දුරකට ලිහිල් කර ගැනීම මෙහි   මූළික පරමාර්ථය වේ.

ගංජා වල අඩංගු ප්‍රධාන මනෝ ක්‍රියාකාරී රසායනික ද්‍රව්‍යවල ඉහළ සාන්ද්‍රණ‍ වලින් මේ වන විට කෘතීමව නිපදවා තිබේ. මේවා ද නීතිගත කර ඇති රටවල අලෙවි කෙරෙන අතර එබැවින් ගංජා වගා කිරීමද නුදුරු අනාගතයේදී නැතිවී යනු ඇතැයි සැලකිය හැකිය.

ලොව පුරා ගංජා ආශ්‍රිත නිෂ්පාදන වලින් (බෙහෙත්) බටහිර වෛද්‍ය විද්‍යාව හරහා ප්‍රතිලාභ ලබන රෝගීන් ඉතා අල්ප ය. තවද ගංජා නිෂ්පාදන යම් ආකාරයක බලපෑමක් පෙන්නුම් කර ඇති රෝගාබාධ සඳහා වෙනත් ඖෂධ දැනටමත් බහුලව භාවිතා වේ.

ගංජාවල ඇති රසායනය අතළොස්සක් සඳහා ප්‍රතිකාර කිරීමේදී යම් බලපෑමක් ඇති බව පෙන්නුම් කිරීමෙන් අදහස් කරන්නේ ගංජා සමස්ත ජනතාවටම භාවිතා කිරීම සඳහා නීතිගත කළ යුතු බව නොවේය.

හෙරොයින් වල රසායනය බටහිර වෛදය විද්‍යාවේ  භාවිතා වන මෝෆින්ල පෙතිඩීන් ආදී ඖෂධ කිහිපයක සාමාන්‍ය නමුත් හෙරොයින් භාවිතය නීතිගත කර නොමැති අතර සෑම කෙනෙකුම මෝෆින් හෝ හෙරොයින් නිෂ්පාදනය කර භාවිතා කළ හැකිවන ලෙස නීති වෙනස් කිරීමට ඉල්ලා සිටීම කිසිවෙකු සිදු නොකිරීමද විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ ගංජා වගා කිරීම හා භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා එහි ඇති ආයුර්වේද වටිනාකම නිර්දය ලෙස භාවිතා කර ඇති බව පැහැදිලිය. වසර දහස් ගණනක් පැවත එන ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට ද මෙය නිග්‍රහයක් වන බවද පැවසිය යුතුය.  

ශ්‍රී ලංකාවේ ගංජා වගාවල නිෂ්පාදනය හා භාවිතය තහනම් කර ඇත. කෙසේ වෙතත් සමහර ආයුර්වේද ඖෂධ සඳහා ගංජා අවශ්‍ය නිසා ඖෂධීය අරමුණු සඳහා කංසා භාවිතා කිරීමට අවසර ඇත.

ආයුර්වේද වෘත්තිකයින්ට ගංජා සැපයීම සඳහා ක්‍රමවේදයක් රජය විසින් දිගු කලක සිට ස්ථාපිත කර තිබේ. මෙම ක්‍රමය දිගටම කරගෙන යාම සඳහා ගංජා හිඟයක් තිබේ නම් එවැනි අඩුපාඩුවක් සපුරාලිය හැක්කේ කෙසේදැයි සොයා බැලිමේ වගකීම ද රජය සතුය.

ගංජා වගා කිරීමට මිනිසුන් යොමු කිරීම එවැනි හිඟයකට විසඳුමක් නොවේ. හෙරොයින් සම්බන්ධ මෑත අත්දැකීම් ඉතා පැහැදිළි ලෙස පෙන්වා දී ඇති පරිදි ශ්‍රී ලංකාවේ මෙසේ ගංජා නිෂ්පාදනය කළහොත් සාමාන්‍ය මහජනයා අතට ගංජා පත්වීම නොවැළැක්විය හැකිය. දැඩි කොන්දේසි යටතේ ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආනයනය කිරීම වඩාත් පිළිගත හැකි හා ප්‍රායෝගික විසඳුමක් වනු ඇත.

ආයුර්වේද ඖෂධ සඳහා ගංජා හිඟයක් පවතින බැවින් ශ්‍රී ලංකාවේ ජනතාව මිය යන බවට කිසිවෙකු විශ්වාසදායක සාක්ෂිද ඉදිරිපත් කර නැත.

එමෙන්ම ආයුර්වේදයේ තනි ඖෂධයක් ලෙස ගංජා පමණක් භාවිතා නොකෙරෙන අතර  එහි සමහර ඖෂධ වල සංඝටකයක් ලෙස වෙනත් අමුද්‍රව්‍ය සමග ගංජා භාවිතා කෙරේ.  එසේම ආයුර්වේදයේ කිසිදු රෝගයකට ප්‍රතිකාරයක් ලෙස ගංජා ආශ්වාස කිරීම හෝ ගංජා දුම් පානය කිරීම නියම නොකරයි . පසුගිය ශතවර්ෂයේ ආරම්භයේ දී දුම්කොළ ද දැනට ගංජා පවතින අවධියේම පැවති බව අප මතක තබා ගත යුතුය. මහා පරිමාණ නිෂ්පාදනය හා අලෙවිකරණය මගින් මානව වර්ගයා විසින් නිපදවන ලද වඩාත්ම විනාශකාරී ද්‍රව්‍යයක් බවට දුම්කොළ පත්ව තිබේ. 

දුම්කොළ විසින් සෑම වසරකම මිනිසුන් ලක්ෂ හැත්තෑවක් පමණ මරාදමන අතර ගංජා සමාගම් ලාභ ලබන අතර ගංජා නිසා මිය යන ගණනද මේ ආකාරයෙන්ම වැඩිවීම වළක්වා ගැනීමට දැන්මම අප විසින් බහුජාතික සමාගම් වලින් පතුරුවන මතවාද වලට නොරැවටී පියවර ගත යුතුව ඇත.

Share