මහජන දිනය නිසා මැතිඇමතිවරු බදාදාට පාර්ලිමේන්තු එන් නෑ - ගම්මන්පිල

නිලුක සදුන් | Author . Translate to English or தமிழ் 9/10/2020 4:23:00 PM
මහජන දිනය නිසා මැතිඇමතිවරු බදාදාට පාර්ලිමේන්තු එන් නෑ - ගම්මන්පිල

බදාදා දිනයේ මහජන දිනය තිබීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් පාර්ලිමේන්තු නොඑන බව අගමැතිවරයා නිරීක්ෂණය කර ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ජනතාව අමාත්‍යංශවලට එන නිසා අමාත්‍යවරුන් තම කාර්යාලවල සිටින බවත් පාක්ෂික ජනතාවගේ වැඩ කරගැනීම සදහා මන්ත්‍රීවරුන් අමාත්‍යවරුන්ගේ කාර්යාලවට යන බවත් මේ නිසා බදාදා දින මැතිඇමතිවරුන්ගේ පාර්ලිමේන්තු පැමිණීමේ දැවැන්ත පහත වැටීමක් සිදුව ඇති බවත් ගම්මන්පිල මහතා කීවේය.

ඒ මහතා මේ බව පැවසූවේ බදාදා දිනයට යෙදී තිබූ මහජන දිනය සදුදා දිනයට මාරු කරන බවට කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කරමිනි.

මීට ප්‍රධාන හේතුව බදාදා පාර්ලිමේන්තු දිනයක් වීම නිසා බැවින් එම දිනට නියමිත මහජන දිනය පාර්ලිමේන්තු නොපැවෙත්වෙන එකම රජයේ දිනය වන සදුදා දිනයට මාරු කරන බව ඒ මහතා සදහන් කළේය.

“වසර 60ක සිට පැවත එන දෙයක් වෙනස් කිරීමට ආණ්ඩුව තීරණය කරලා තියෙනවා.1960 සිටම මහජන දිනය ලෙස නම් කර තිබුණේ බදාදා දිනය.ඒ වෙනුවට සදුදා දිනය ප්‍රකාශයට පත් කරනවා.” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.

මහජන දිනයට අදාළ වැඩකටයුතු හැර සදුදා දිනයේ වෙනත් කිසිම රැස්වීමක් හෝ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම අමාත්‍යවරුන්ට සහ නිලධාරීන්ට තහනම් බවද ඔහු කීවේය.

“මේක සමස්ත රටටම කියන්න.නැත්නම් ලබන සදුදා ආවම අමාත්‍යවරුන් සහ ඒ නිලධාරීන් කාර්යාලයේ නොසිටීමෙන් ජනතාවට අසීරුතාවට පත්වේවි.අපිත් අසීරුතාවට පත්වෙනවා.ජනතාවට අවුරුදු 60ක් කරපු දෙයක් එක පාර වෙනස් කරගන්න වෙලා තියෙන්නේ.අද බ්‍රහස්පතින්දා ඉන්නේ දවස් කීපයයි තියෙන්නේ.මින් ඉදිරියට සදුදා දිනය තමයි මහජන දිනය වෙන්නේ” යැයි ඔහු ප්‍රකාශ කළේය.

මෙම තීරණයෙන් පසු ඇමතිවරුන්ට ඇමති රැස්වීම කියලා මහජන දින සාකච්ඡාවලින් නැගිටීමට සිදු වන්නේ නැති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.

“අමාත්‍යවරුන් මහජන දිනයේ වෙහෙස වී ඇවිත් තමයි රටේ ඉහළම තීන්දු ගන්න ඇමති මණ්ඩලයට පැමිනෙන්නේ. දැඩි වෙහෙසින් මිනිස්සු දෙතුන් සියයක් හම්බවෙලා. සමහර ඇමතිවරුන් කිව්වා දවසට 500-600ක් එනවා කියලා මහජන දිනයේදී.මේ අය හමුවෙලා  වෙහෙස වෙලා තමයි ජාතියේ වැදගත්ම තීන්දු ගන්න වාඩිවෙන්නේ.”යැයි ඒ මහතා පැවසීය.

මේ සියල්ල සලකා බැලීමෙන් අනතුරුව බදාදා උදෑසන ඇමති මණ්ඩල රැස්වීම පැවැත්වීමටත් සදුදා මහජන දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කළ බව අමාත්‍යවරයා කීවේය.

ඇමතිවරුන්ට මෙන්ම සියලුම නිලධාරීන් ද සදුදා දින කාර්යාලයේ රැදී සිටිය යුතු බවට ජනාධිපති ලේකම් විසින් චක්‍රලේඛයක් නිකුත් කරනු ලැබීමට නියමිත බව ඔහු අවධාරණය කළේය.

මහජන දිනය සදුදා ලෙසට ප්‍රකාශයට පත් කරමින් සිදු කෙරුණු යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැති ය හිමිවිය.

ආණ්ඩුවේ තීරණයට ප්‍රතිචාර

මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය මගීන් මරණ යෝජනාවක් බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

මේ වන විට සාමාන්‍ය වැඩ කරන දිනයක ද කොළඹ නගරයේ පවතින අධික මාර්ග තදබදය නගරයට දරා ගත හැක්කක් නොවන බවත් කොළඹ නගරයේ නාගරික සංචලතාවය පැයට කිලෝමීටර් 12ක් දක්වා අඩුවී ඇති බැවින් බස්නාහිර පළාතට එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් අහිමි වී තිබෙන බවත් සංගමය පෙන්වා දෙයි.

මෙවන් තත්ත්වයක් තුළ සඳුදා දිනය යනු කොළඹ නගරයේ සහ කොළඹ නගරයට පිවිසෙන මාර්ග තුළ අධිකව රථවාහන තදබදයක් පවතින දිනය බව ද මෙවන් පසුබිමක මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය හේතුවෙන් කොළඹ නගරයේ සඳුදා දිනයේ පවතින තදබදය දෙගුණ තෙගුණ වීම අනිවාර්‍ය කරුණක් බව ද එම සංගමය අවධාරණය කරයි.

මේ හේතුවෙන් මගී ජනතාවට සිදුවීමට නියමිත හිරිහැරය සළකා මහජන දිනය සඳුදා ලෙස වෙනස් කිරීමට රජය ගෙන ඇති තීරණය වෙනස් කිරීමට කටයුතු කරන ලෙස සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය ඉල්ලා සිටී.

පාර්ලිමේන්තුව පැවැත්වෙන දින

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 8(2) ප්‍රකාරව පාර්ලි‌මේන්තුව අඟහරුවාදා හා බදාදා දිනවල දී ‌ප.ව. 1.00ට ද, බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවල දී පෙ.ව. 10.30 ටද ආරම්භ වේ.

පාර්ලිමේන්තු කටයුතු සිදුවන දිනය සහ වේලාවන් පහත පරිදි වෙයි

(අඟහරුවාදා සහ බදාදා දිනවල)

ප.ව. 1.00 සිට ප.ව. 2.00 දක්වා - වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන ප්‍රශ්න
ප.ව. 2.00 සිට ප.ව. 6.30 දක්වා - සභාවේ ප්‍රධාන වැඩකටයුතු
ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා - සභාව කල් තබන අවස්ථාවේ ‌යෝජනාව 

(බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල)

පෙ.ව. 10.30 සිට පෙ.ව. 11.30 දක්ව - වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන ප්‍රශ්න
පෙ.ව. 11.30 සිට ප.ව. 12.30 දක්වා - සභාවේ ප්‍රධාන වැඩකටයුතු
ප.ව. 1.30 සිට ප.ව. 6.30 දක්වා - සභාවේ ප්‍රධාන වැඩකටයුතු
ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා - සභාව කල් තබන අවස්ථාවේ ‌යෝජනාව
(දිවා භෝජන විවේකය ප.ව. 12.30 සිට ප.ව. 1.30 දක්වා වේ)
 

මාසයක පළමු රැස්වීම් සතියේ බදාදා දිනවල අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා පහත පරිදි කාලය වෙන් කරනු ලබන බව පාර්ලිමේන්තුව සදහන් කරයි

මාසයක පළමු රැස්වීම් සතියේ බදාදා

ප.ව. 1.00 සිට ප.ව. 1.30 දක්වා අග්‍රාමාත්‍යවරයාගෙන් අසන ප්‍රශ්න (ප්‍රශ්න 4 යි)
ප.ව. 1.30 සිට ප.ව. 2.00 දක්වා වාචික පිළිතුරු අ‌පේක්ෂා කරන (ප්‍රශ්න 8 යි)

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න (පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් තීරණය කරනු ලබන දිනයක දී)

ප.ව. 6.30 සිට ප.ව. 7.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
 

 

Share